හොඳ කොලිටි CV එකක් හදාගන්න නම්, මේ ටිප්ස් වැදගත් වේවි!

අපිට ජොබ් එකක් තිබුණත් නැතත්, ජොබ් එකක් කරන්න හරි, කරන ජොබ් එක මාරු කරන්න හරි හිතාගෙන ඉන්නවා නම්, අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි හොඳ CV එකක්. ඒකට වයස් භේදයකුත් නෑ. සමහරු හිතනවා, CV එකක් තියෙන්න ඕන ඉස්කෝලේ අධ්‍යාපනය එහෙම නැතිනම් සරසවි අධ්‍යාපනය ඉවර වෙලා රස්සාවක් හොයන මනුස්සයෙක්ට විතරයි කියලා. එහෙම නෑ. අපි කියන්නේ, තමන් කරමින් ඉන්න රස්සාව මැරෙනකල් කරනවා කියලා හිතුවත්, තමන් කා යටතේ වත් රස්සාවක් නොකර බිස්නස් එකක් කරන කෙනෙක් වුණත්, හොඳ CV එකක් අප්ඩේට් කරලා තියාගන්න කියලා තමයි. මොකද, හොඳ CV එකක් තිබීමේ අවශ්‍යතාවය ඕනම මොහොතක, අපි රැකියාවේ ඉන්නකොට පවා මතුවෙන්න පුලුවන්.

 

දැන්, අපි කලින් කියලා තියෙනවා හොඳ ආකර්ෂණීය CV එකක තියෙන්න ඕන ලක්ෂණ ගැන. ඒ වගේම, ආකර්ෂණීය CV එකක් හදාගන්න පාවිච්චි කරන්න පුලුවන් ඔන්ලයින් ටූල්ස් ගැනත් කියලා තියෙනවා. මේ ඇරෙන්න CV එකක් හදාගන්න ගියහම හිතන්න ඕන තව කාරණා තියෙනවා. නිකම්ම අපේ තොරතුරුයි, විභාග වල ප්‍රතිඵලයි, ඉස්කෝලෙ කරපු ක්‍රීඩායි ටයිප් කරලා, ඒක CV එකක් කියලා යවන එක දැන් යල් පැනලා තියෙන්නේ. ඊට වඩා, කොලිටි CV එකක් හදාගන්න එකෙන්, තමන්ගේ ප්‍රොෆෙෂනල් කම ගැන සෑහෙන්න දේවල් කියවෙනවා. අන්න ඒ නිසා, අපි බලමු, හොඳ කොලිටි CV එකකට වැදගත් වෙන තවත් කාරණා කීපයක් ගැන!

 

1. තමන් ගැන තොරතුරු හරිද?

දැන් කාලේ CV එකක් හදනකොට තියෙන ට්‍රෙන්ඩ් එකක් තමයි, තමන්ගේ කොලිෆිකේෂන් වගේම, තමන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ගැනත් ලැයිස්තුවක් එකතු කරන එක. ඇත්තටම ඒක ඉතාම හොඳ දෙයක්. මොකද, විශේෂයෙන්ම අපිට තියෙන සොෆ්ට් ස්කිල්ස් එහෙම දාන්න වෙන ක්‍රමයක් නැහැනේ. අන්න එතකොට අපිට මේ මේ කියන දක්ෂතාවයන්, හැකියාවන් තියෙනවා කියලා දාන්න පුලුවන්. පීපල්’ස් ස්කිල්ස්, කමියුනිකේෂන් ස්කිල්ස්, ලීඩර්ෂිප් කොලිටීස්, ටීම් වර්ක්… ඔන්න ඔය විදියට ලැයිස්තුව දිගට දිගට යනවා. ඇත්තටම ඕක පරණ කතන්දරේකුත් නෙවෙයි. ඉස්සර තිබුණු CV එකක වුණත් ඔයාලා දැකලා ඇති, මුලින්ම තමන් ගැන වාක්‍ය දෙකතුනක් ලියන විලාසිතාවක් තිබ්බනේ. ආන්න ඒකත් ඕකම තමයි. හැබැයි එක දෙයක්, මේ තමන්ගේ දක්ෂතාවයන්, හැකියාවන් නැතිනම් සොෆ්ට් ස්කිල්ස් කියලා දාන එකේ බොරු ලියන්න එපා. ලියන්නන් වාලේ දේවල් ලියන්න එපා. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට නායකත්වයක් අරගෙන වැඩ කරනවට වඩා පහසු තමන්ට අදාළ කාර්යය කරලා ගෙදර යන එක කියලා හිතමු. ඒකේ වැරැද්දක් නෑ, එහෙම අය ඉන්නවා. අන්න එතකොට CV එකේ දාන්න එපා ලීඩර්ෂිප් කොලිටීස් කියලා. එතකොට පැය ගණනාවක් වැඩක යෙදෙන්න අපි ආස නැතිනම්, ‘ලෝන්ග් අවර්ස් කමිටඩ්” කියලා දාන්න එපා!

 

2. අවශ්‍ය කරුණු විතරක්

මෙන්න මේක කොලිටි CV එකක් හදන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක්. දැන් අපි හිතමු අපි ආටිකල් එකක් ලියනවා කියලා. ලියලා ඉවර වුණු ගමන් ඒක අදාළ කෙනෙක්ට යවනවද? නෑනේ. ඒ වෙනුවට අපි කරන්නේ ඒකට හොඳ එඩිට් පාරක් දෙන එක. තව පාරක් කියවලා, එඩිට් කරලා, අනවශ්‍ය තැන් අයින් කරන එක සහ වෙනත් අවශ්‍ය දෙයක් තියෙනවා නම් එකතු කරන එක. CV එකක් හදනකොටත් එහෙමයි. වැඩිමනත් දේවල් එකතු කිරීමටත් වඩා, CV එකක් හදනකොට මුලින්ම ලියන්න ඕන ඔක්කොම ඇතුළත් කරලා, ඊට පස්සෙ අනවශ්‍ය දේවල් කපලා කොටලා එඩිට් කරන එක කරන්නම ඕන දෙයක්. මොකද, ගොඩක් වෙලාවට අපේ CV එකක අනවශ්‍ය දේවල් තියෙන්න 90% ක ඉඩක් තියෙනවා. උදාහරණයක් ගමු. දැන් අපි CV එකක් හදනවා තුන්වෙනි ජොබ් එකට. එතකොට ඒකට අදාළ වෙනවද අපි ඉස්කෝලෙ කාලේ කරපු ක්‍රීඩා? ඒවා අදාළ වෙන්න පුලුවන්, අපි පළවෙනි සහ දෙවෙනි ජොබ් විදියට ක්‍රීඩා අදාළ වෙන්නෙ නැති එව්වා කරලා, තුන්වෙනි ජොබ් එක විදියට ක්‍රීඩා හැකියාවන් අදාළ වෙන ජොබ් එකක් කරනවා නම්. එහෙම නැතිනම් මොකටද ඉස්කෝලේ නෙට්බෝල් ගහපු හැටි CV එකේ දාන්නේ? ඔය CV එකක් කියන්නේ කෙල්ලෙක්ගෙන් එන ලියුමක් නෙවෙයිනේ, පැයක් අරගෙන සම්පූර්ණයෙන්ම උඩ ඉඳන් යටට දෙපාරක් කියවන්න. අන්න ඒ නිසා, CV එකක් මුලින්ම හැදුවට පස්සේ අවශ්‍ය දේවල් විතරක් තියලා අනික් ඒවා අයින් කරන්න.

 

3. මොන ටයිප් CV එකක් ද?

කොලිටි CV එකක් හදනවා නම්, මුලින්ම අවබෝධ කරගන්න ඕන මොන විදියේ CV එකක්ද හදන්න අවශ්‍ය වෙන්නේ කියන එක. එක්කෝ ඇකඩමික් සහ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන්ස් කාලවකවානු අනුක්‍රමණයක් එක්ක හදන CV එකක් වෙන්න පුලුවන්. ඒක තමයි බොහොම ප්‍රකට වර්ගය. නැතිනම් functional CV එකක් හදන්න පුලුවන්. එහෙම CV එකකදී අවශ්‍ය ජොබ් එකකට වැදගත් වෙන අපේ හැකියාවන් සහ දක්ෂතාවයන් තමයි ඉස්මතු වෙන්නේ. හැබැයි ඒ ඇරෙන්න, ගොඩක් වෙලාවට වැදගත් වෙන අනික් CV වර්ගය තමයි උඩ කියපු CV වර්ග දෙකේම මිශ්‍රණයක් විදියට එකතුවෙලා හැදෙන CV එකක්. විශේෂයෙන්ම තමන් විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයනකොට, එහෙම නැතිනම් තමන්ගේ වෘත්තිය ක්ෂේත්‍රය මාරු කරනකොට එහෙම functional CV එකක් ගොඩක් ගැලපෙනවා. එහෙම නැතිනම් ඔය කියපු මික්ස් CV එකක් වුණත් ගැලපෙනවා. දැන් ඔය කියපු වර්ග ඇරෙන්න, යම් කිසි ජොබ් එකකට හරි එහෙම නැතිනම් ක්ෂේත්‍රයකට හරි ඉලක්කගත වුණු CV එකක් හදන්නත් පුලුවන්. ඒකේ වෙන කිසිම දෙයක් නෑ, අපි ඉලක්ක කරගත්තු දේට අදාළ කොලිෆිකේෂන්ස්, ස්කිල්ස් තමයි මූලික වෙන්නේ.

 

4. ඉන්ටරෙස්ට්ස් මොනවද?

දැන් කාලේ CV එකක් හදනකොට දාන්න පුලුවන් දෙයක් තමයි, තමන් ගැන පුද්ගලික විස්තර ටිකක්. ඒ කියන්නේ තමන්ගේ ඉන්ටරෙස්ට්ස් මොනවද, තමන් විවේක වෙලාවක් තියෙනකොට කරන්න කැමති දේවල් ටිකක්. හැබැයි මතක තියාගන්න, එතනදී ලියන්න ඕන “මම ෆිල්ම්ස් බලන්න ආසයි”, “පොත් කියවන්න ආසයි” වගේ දේවල් නෙවෙයි. ඊට වඩා, අපි ඉල්ලුම් කරන ජොබ් එකට ගැලපෙන විදියේ ඉන්ටරෙස්ට්ස් තියෙන්න ඕන. උදාහරණයක් විදියට අපි ලයන්ස් ක්ලබ් එකේ නැතිනම් රොටරැක්ට් ක්ලබ් එකේ සාමාජිකයෙක් නම්, එහෙම නැතිනම් ගමේ තරුණ සමිතියේ ලේකම් විදියට වැඩ කරනවා නම්, අන්න ඒක ඉන්ටරස්ට් එකක් විදියට ගලපලා ලියන්න පුලුවන්. පොදුජන වැඩ කරන්න කැමති නම්, ඒ වගේ දෙයක් වුණත් ලියන්න පුලුවන්. නිකම් ඉන්න වෙලාවට පත්තරේකට ලිපි එහෙම ලියනවා නම් ඒවත් ලියන්න පුලුවන්. මතක තියාගන්න, CV එක කියවන මනුස්සයාට අපි ගැන පර්සනල් ලෙවල් එකේදී වුණත් දැනගන්න අවශ්‍ය වෙන්නේ ජොබ් එකේ විෂයපථයට අදාළ කාරණා විතරයි.

 

5. පොඩ්ඩක් ක්‍රියේටිව්

දැන් අපි කලිනුත් කිව්වනේ ගොඩක් වෙලාවට අලුත් CV එකක තමන්ගේ හැකියාවන්, කුසලතා එහෙමත් දානවා කියලා. හැබැයි එතනදී වුණත්, CV එකේ වෙන තැනකදී වුණත් අපි ලියන වචන කොයි තරම් සුලභද කියන එකත් අපි නිකමට හිතලා බලන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, hardworking, teamplayer වගේ වචන ඕනම CV එකක හොයාගන්න පුලුවන්. හැබැයි අපිට බැරිද ඒ වගේ හරිම සුලභ, හැම CV එකකම තියෙන හින්දම මෙලෝ රහක් නැහැයි කියලා හිතෙන වචන අතඇරලා, වඩාත් නිර්මාණශීලී විදියට ඒ අදහසම ලබාදෙන්න. ඕන නම් මේකට පොඩි ගූග්ල් සර්ච් උදව්වක් ගන්නත් පුලුවන්. විශේෂයෙන්ම තමන්ගේ සැබෑ ජීවිතයේ දේවල් වලින් උදාහරණ අරගෙන දාන්නත් පුලුවන්. උදාහරණයක් විදියට කිව්වොත්, ලීඩර්ෂිප් කොලිටීස් තියෙනවා කියලා දානවට වඩා, තමන් ලියෝ ක්ලබ් එකේ ප්‍රසිඩන්ට් කියලා දාන එකේ ලොකු බරක් තියෙනවා!

 

6. ගැප් තියේද?

අපි සාමාන්‍යයෙන් නම් දිගටම ඉගෙන ගෙන, ඊට පස්සේ දිගටම රස්සාවක් හෝ රස්සා කිහිපයක් කරනවා. සමහර වෙලාවට ඉගෙන ගන්න අතරේදීත් රස්සා කරනවා. ඕකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. හැබැයි සමහර වෙලාවට අපේ ජීවිතේ කාලානුක්‍රමිකව ගත්තහම හිස්තැන්, හිදැස් තියෙන්න පුලුවන්. එක්කෝ රස්සාවක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා මාස හයක් අවුරුද්දක් හිටියා වෙන්න පුලුවන්. ඒවා වෙන්න පුලුවන් දේවල්නේ. හැබැයි CV එක හදනකොට, අන්න එහෙම ගැප් නොතියෙනවා නම් හොඳයි. මොකද, CV එක බලන මනුස්සයෙක් හිතන්නේ, අවුරුද්දක් නිකම් ඉන්නේ මේ මනුස්සයාගේ වෘත්තිය ජීවිතේ මොකක් හරි අවුලක් නිසා වෙන්න පුලුවන් කියලා. අන්න ඒ නිසා, එහෙම ගැප් තියෙනවා නම්, ඒවා වෙන විදියකට පුරවන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි කියමු, මාස්ටර්ස් එකේ ෆයිනල් එක්සෑම් තිබුණු අවුරුද්දේ ජොබ් එකක් කළේ නෑ කියලා. එතකොට අපිට ඒ අවුරුද්ද අපි සම්පූර්ණයෙන්ම ඇකඩමික්ස් වලට ෆෝකස් වෙලා හිටියා කියන එක CV එකේ අවධානයට ලක් වෙන විදියට දාන්න පුලුවන්. එහෙම නැතිනම් එහෙම හිටපු කාලෙක වෙන කුසලතාවයක් වැඩිදියුණු කරපු එකක් ගැන දාන්න පුලුවන්. 

 

7. රෙෆරන්ස්

සාමාන්‍යයෙන් අපි CV එකක් හදනකොට රෙෆරන්ස් දානවනේ. ගොඩක් වෙලාවට රෙෆරන්ස් විදියට දානවා මීට කලින් කරලා තියෙන ජොබ්ස් වල හිටපු බොස්ලගේ කන්ටැක්ට්ස් කොහොමත්. එතකොට, අපේ ජොබ් එක්ස්පීරියන්ස් ගැන දැනගන්න ඒ ජොබ් එකක බොස් කෙනෙක්ට හරි මානව සම්පත් අංශයට හරි කතා කරලා අහගන්න පුලුවන්. ඒ ඇරෙන්නත් සමහරු තව රෙෆ්රීස්ලා දෙන්නෙක්ව විතර CV එකට දානවා. ඒකේ අවුලක් නෑ. හැබැයි අපි ඇත්තටම CV එකකට රෙෆරන්ස් විදියට දාන්නේ කවුද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. සමහරු දානවා පංසලේ ලොකු හාමුදුරුවන්ව. ඒක ලොකු අවුලක් නෑ පළවෙනි ජොබ් එකට වගේ යනවා නම්, ඒ ඇරෙන්න තමන් පංසලට සම්බන්ධ ගමේ පොදු කටයුතු එහෙම කරලා තියෙනවා නම්. ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව දාන එකෙත් අවුලක් නෑ, තමන් පළවෙනි ජොබ් එකට නම් යන්නේ. හැබැයි එහෙම නැතිනම්, අපි රෙෆ්‍රීලා විදියට දාන්න ඕන, අපිට තියෙන ප්‍රොෆෙෂනල් කැපෑසිටි එක ගැන ප්‍රොෆෙෂනල් අදහසක් ලබාදෙන පුලුවන් මනුස්සයෙක්ව. එහෙම නැතුව ගමේ ඉන්න ලොකුම මුදලාලිව හරි, ගමේ ඉන්න ලොකුම ජොබ් එක කරන කෙනාව හරි CV එකට දාලා වැඩක් නැතිවෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *