හිමි අහිමි – 23 කොට​ස

කාලය ගෙවෙමින් ගියේ හිතුව කිසිම දෙයක් ගැන හරි තොරතුරක් දැනගන්න නිතාරටවත්, විමංගටවත් කිසිම ඉඩක් නොතියා. සුමනම්මා ගෙදරින් ගිය බව කිව්වට පස්සේ ගෙදරට යන්න විමංගට තිබුනේ ලොකු දෙගෙඩියාවක්. ගෙදරට ගිහින් අරගෙන එන්න තරම් බඩුවක්වත්, කියන්න තරම් හේතුවක්වත් නැති නිසාම විමංග ඒ ගැන උනන්දු උනෙත් නැහැ. නමුත් අන්තිම වතාවට ගෙදර ගිහින් ආපු දවසේ ඉඳලම අම්මගේ වචන මහා බරට විමංගගේ පපුවට නොදැනුන දවසක් නැති තරම්. 

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ හිටපු නිසාම නිතාරත්, විමංගත් දෙන්නම තීරණය කලා ඉස්සරහට එන විභාග වලට අවධානය යොමුකරන්න. මුල්ම දවස්වල මේ ප්‍රශ්නයේ අගක් මුලක් ලෙහාගන්න කොයි විදිහකින් හරි හෝඩුවාවක් හොයාගන්න උත්සහ කරලම දෙන්නම හිටියේ හෙම්බත් වෙලා. ඔක්කොටම වඩා කට ඉස්සරකරගත්ත නිසා නිතූගේ ගෙදරින් මේ දෙන්නට එන විරෝධය දරාගන්න දෙන්නටම හරිම අපහසු උනා. නිතූගෙ තාත්තා කවදාවත් නැති තරම් නිතූව මුරකරන්නත්, එක එක නීති දාන්නත් පටන්ගෙන තිබුණා. 

ඔය ඔක්කොම හේතු නිසාම විමංග තීරණය කරල තිබුණා ෆයිනල් එක්සෑම් එකෙන් පස්සෙ මාස්ටර්ට්ස් එකකට රට යනවා කියලා. ටික කාලයකට නිතූගෙන් ඈත් වෙන්න උනත් ඒ හැමදේම ඉවර කරගෙන ලංකාවට ආපු ගමන් මේ ප්‍රශ්නය හොඳ විදිහකට විසඳගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් විමංගට තිබුණා. 

ඔය අතරේ තමයි කැම්පස් එකේ ෆයිනල් ඉයර් ඉවෙන්ට් එක විදිහට කට්ටිය ක්‍රිකට් මැච් එකක් සංවිධානය කලේ. මාස ගානක් තිස්සේ හිතේ තිබුන පීඩනය නැතිවෙන්නත් එක්ක විමංග ලොකුවටම වැඩේට බැහැලා උදව් කලා. ඒ වගේම එයාලගේ ටීම් එකේ ඕපන් ප්ලේ කරන්න හිටපු නිසාම දිනපතා ප්‍රැක්ටිස් යන්නත් වුණා.

මේ හැමදේකට බිසී වුන නිසා විමංග ප්‍රශ්න අමතක කරල සැහැල්ලුවෙන් ඉන්න එක ගැන නිතූට තිබුණේ කියාගන්න බැරි තරම් සතුටක්. විමංග රට යන තීරණය ගැන හිතේ ලොකු බරක් තිබුණත් වෙන්න තියෙන හොඳම විදිහට හැමදේම වෙයි කියලා නිතූ විශ්වාස කලා.

                                        ***********************************************

කැම්පස් එකේ අන්තිමට තිබුන ඉවෙන්ට් එක ඉවරවෙලත් අවුරුද්දකට වඩා ගතවෙලා තිබුන නිසා කොල්ලෝ, කෙල්ලෝ සෙට් එක මැච් එකට ආවේ ලොකු උද්යෝගයකින්. නිතූත් කාලෙකින් හිතේ නොතිබුන ලොකු සැහැල්ලුවකින් යාළුවො සෙට් එකත් එක්කම ග්‍රවුන්ඩ් එකට ආවා. ගර්ල්ස් ටිම්ස් කිහිපයක් වෙනම සෙල්ලම් කලත් ඒවට සහභාගී උනේ නැති නිතූලට තිබුන ලොකුම රාජකාරිය තමයි විමංගලගෙ ටීම් එකට චියර් කරන එක. 

“ඒ මේ.. තාත්ත බාල්දිය දැම්මෙ නැද්ද උබ අද එනවට?” උදේ නිතූ ව දැක්ක ගමන් අමා ඇහුවේ ඒක

“මටත් එනකම්ම ෂුවර් එකක් තිබ්බේ නෑ අමා. මං කිව්වෙ උබට ඊයේ රෑ.. ඉස්කෝලේ යනකොටවත් මෙහෙම මුර කලේ නෑ බං මාව” නිතූ කිව්වේ සැහැල්ලුවෙන් හිනාවෙන ගමන්.. තාත්තගේ මුර කිරීම නිතූට වදයක් වෙලා තිබුනත් අද මැච් ඒකට එන්න ලැබුණ එක නිසාම ඇය හිටියේ හරිම සතුටෙන්, සැහැල්ලුවෙන්. 

“කෝ කොල්ලා.. උබ කතා කලාද?” එහෙම ඇහුවෙත් අමා..

“උදේ කෝල් කළා.. එයාල පාන්දර ඉඳලම ග්‍රවුන්ඩ් එකේ කිව්වා. යමුද බලන්න අර පැත්තට?” නිතූ ඇහුවේ විමංගලා ඉන්න පැත්තට යන ගමන්මයි. 

ඈත ඉඳලා අත වැනුවට විමංගට කතා කරන්නනම් දැන්ම ලඟට යන්න බැරිවෙයි කියලා නිතූ හිතුවා. කැම්පස් එකත් එක්ක එකතුවෙලා වැඩේ මූලිකම සංවිධාන කටයුතු කලේ කොල්ලො සෙට් එක. 

“ඒ.. වැඩේ නම් සුපිරී නෙ අමා? කොල්ලො ටික ලස්සනට වැඩේ කරලා.. ක්‍රිකට් කිව්වම උන්ට කොහොමත් පිස්සු වගේනේ.” නිතූ කිව්වේ ඇත්තටම සතුටෙන්

“ක්‍රිකට් කිව්වම අපිටත් පිස්සු තමා උබට නැතුවට..” අමා කිව්වේ නිතූගේ දිහාවට දිව දික්කරමින් හිනාවෙලා.. “වැඩේ ඇත්තටම ලස්සනයි තමා බං. අර ස්පොන්සර්ස්ලා එහෙම බලන්නකෝ. මම හිතුවෙම නැහැ..” 

හැමෝම හිටියේ වැඩේ ලස්සන බලලා සතුටු වෙමින්..

                                    ********************************************

හවස් වෙද්දී දවසම කෑගහලා, දඟලලා තිබුන මහන්සියටත් වඩා හැමෝගෙම හිතේ තිබුණේ පුදුමාකාර සතුටක්. පිට්ටනිය පුරාවට ළමයි ඔක්කොම ටික කෑගහමින් නැටුවේ එයාලම සුදානම් කරගෙන තිබුන DJ එකට.

නිතූ හිටියේ අනිත් හැමෝටම වඩා සතුටෙන්. විමංගලාගේ ටීම් එක ටූනමන්ට් එක දිනුවා විතරක් නෙමෙයි, විමංග තරඟාවලියේ වීරයා විදිහට නම්වෙච්ච එකත් නිතූට පුදුමාකාර සතුටක් වුණා. ටිකක් රෑ වෙලත් නිසා ගෙදර යන්න පරක්කුයි කියල හිතුණත් එක දවසකට බැනුම් ඇහුවත් මොකද කියලා හිතමින් නිතූ කට්ටිය එක්ක නටමින් විනෝද වුණා. 

“අම්මේ මේකිගේ මූණේ පෙම් හිනාව” කොල්ලො විහිලු කලේ එහෙම කියමින්. කට්ටියම හිටියේ එක ගොඩේ කෑගසමින් නටමින්..

“ආ.. ඇයි මොකෝ.. පෙම් පාටයි තමා. උබලට ඉරිසියිද?” නිතූට සපෝර්ට් ඒකට එහම කතා කලේ හැමදාම වගේ අමා.

“වැඩේමැයි.. අපේ කොල්ලනේ..” විහිලුවට උනත් කොල්ලො ටික කතාකලේම ගේමට..

“අපි ලියාගෙන ඉවරයි.. දැන් උබලට අයිති නෑ.. දැන් අපේ කෙල්ලගේ” නිතූගේ දිහාවට ඇහැක් ගහමින් අමා එහෙම පිළිතුරු දුන්නා..

විමංගයි, නිතූයි දෙන්නම කලේ ඔවුන් කියන දේවල් වලට හිනාවෙන එක විතරමයි.

කොහොමවුණත් නිතූ හිටියේ විමංග සතුටින් ඉන්න එක ගැන හිතේ ලොකු සැනසිමකින්. පහුගිය දවස්වල සිදුවුණ දේවල් එක්ක විමංගගේ මූණේ හිනාවක් දකින එකත් නිතූට ලොකු සතුටක්. ඒත් ඉස්සරහට, බොහොම ළඟදීම ඒ ප්‍රශ්න ආයෙමත් මුල ඉඳලා එලියට ඇදලා ගන්න වෙන සිදුවීමක් සිදුවෙන්න මේ විඳින මොහොත හේතුවක් වෙයි කියලානම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් යන්තමටවත් හිතුවේ නැහැ.

 

හිමි අහිමි – 1 කොටස

 

 

 

 

හිමි අහිමි – 2 කොට​ස

 

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

 

 

හිමි අහිමි – 8 කොට​ස

 

හිමි අහිමි – 9 කොටස

 

හිමි අහිමි – 10 කොට​ස

 

හිමි අහිමි – 11 කොට​ස

 

හිමි අහිමි – 12 කොට​ස

 

 

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

 

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

 

හිමි අහිමි – 17 කොට​ස

 

හිමි අහිමි – 18 කොට​ස

 

හිමි අහිමි – 19 කොට​ස

 

හිමි අහිමි – 20 කොට​ස

 

හිමි අහිමි – 21 කොට​ස

 

හිමි අහිමි – 22 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *