එක එක අයගෙ ටේස්ට් එක වෙනස්නේ. ඉතින් ජින්ජර් ටේස්ට් එකට ආස අයට ගෙනාවා අද ජින්ජර් රෙසිපි කිහිපයක්. ප්‍රතිශක්තිකරණය වඩන්න ඇඟට ගොඩක් ගුණ කෑමක්. නිතර ආහාරයට ගත්තත් කමක් නෑ. එහෙනම් ඔන්න අහගන්නකො ඉඟුරු වලින් රස රස දේවල් හදන හැටි.
1. ඉඟුරු දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය :-
- ඉඟුරු ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 500
- වතුර කෝප්ප 1
- ලුණු ටිකක්
- ඉඟුරු ටික සුද්ද කරලා පොඩි කෑලි වලට කපාගන්න. දැන් මේ ටික බ්ලෙන්ඩර් එකට දාලා සීනි මේස හැඳි 4ක් හා වතුර ටිකක් දාලා පල්ප් එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.
- මේක භාජනයකට දාලා තව වතුර කෝප්ප 1ක් වගේ දාලා සීනි ටිකත් එකතු කරලා මද ගින්නෙ පිසගන්න. රස අනුව ලුණු දාගන්න.
- අඩිය අල්ලන්න නොදී විනාඩි 10ක් විතර හැඳිගාන්න. වතුර පීරිසියකට මේකෙන් ටිකක් දාලා බලන්න. මිශ්‍රණය ගුලියක් වගේ හැදෙනවනම් පදම හරි.
- ලිපේ මිශ්‍රණය තික් වෙලා එක ගුලියට වගේ එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් තැටියකට දාලා කෑලි කපාගන්න.
2. ජින්ජර් බියර්
අවශ්‍ය ද්‍රව්‍ය :-
- ඉඟුරු ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 200
- දෙහි ගෙඩි 1
- වතුර ලීටර් 1 1/2
- යීස්ට් ග්‍රෑම් 6
- ඉඟුරු ටික සුද්ද කරලා පෙති කපාගන්න. දෙහි ගෙඩියත් පෙති කපාගන්න.
- වතුර කෝප්ප 2ක් ලිපේ තියලා මේ ටික දාලා තැම්බෙන්න තියන්න. වතුර නටනකොට සීනි ටික එකතු කරන්න. විනාඩි 5කින් විතර ලිපෙන් බාගන්න.
- වතුර කෝප්ප කාලකට සීනි මේස හැඳි 1ක් දාලා දියකරගන්න. යීස්ට් ටික වතුර මේස හැඳි 2ක් එක්ක දියකරගන්න.
- දැන් යීස්ට් වතුර හා සීනි දියකරපු වතුර එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉඟුරු තම්බා පෙරාගත් වතුර වලට මේ යීස්ට් මිශ්‍රණය දාලා කලවම් කරලා පැය 16ක් වහලා තියන්න.
- ආයෙ කලවම් කරලා දවස් 4ක් පැසවන්න තියලා පෙරාගන්න. අඩියට බැහැලා තියන යීස්ට් මිශ්‍රණය ඊළඟ ජින්ජර් බියර් ටික හදනකොට පාවිච්චි කරන්න පුළුවන්.
3. ජින්ජර් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය :-
- තලාගත් ඉඟුරු මේස හැඳි 4
- තෙල් මේස හැඳි 3
- අබ ඇට තේ හැඳි 1
- කරපිංචා ටිකක්
- තලාගත් සුදුළූණු මේස හැඳි 1
- චොප්කරගත් ළූණු මේස හැඳි 3
- කහකුඩු තේ හැඳි 1/4
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- පිසගත් බත් කෝප්ප 3
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවගන්න. මේකට කරපිංචා, තලාගත් සුදුළූණු හා ඉඟුරු දාලා කලවම් කරගන්න. ගින්දර අඩු කරගන්න.
- මේකට චොප්කරගත් ළූණු ටික දාලා ටිකකින් කහකුඩු, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ටිකකින් මේකට පිසගත් බත් ටික දාලා කලවම් කරගන්න.
- හොඳට කලවම් කරලා උඩින් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් ඉසගන්න.
4. ජින්ජර් කැන්ඩි
අවශ්‍ය ද්‍රව්‍ය :-
- ඉඟුරු ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 100
- වතුර ලීටර් 1
- ඉඟුරු ටික සෝදලා සුද්ද කරලා පෙති කපාගන්න. භාජනයකට වතුර දාගන්න. දැන් පෙති කපාගත් ඉඟුරු ටික දාලා තැම්බෙන්න තියන්න. විනාඩි 30කින් බලන්න හොඳට තැම්බිලාද කියලා.
- වතුර ටික පෙරලා ඉඟුරු කෑලි වලට සීනි දාලා හොඳට සීනි තැවරෙනකල් කලවම් කරගන්න. දැන් මේක වහලා රැයක් ෆ්‍රිජ් එකේ තියන්න.
- ඊළඟ දවසෙ මේක අරන් පෑන් එකකට දාලා ලිපේ තියන්න. අඩු ගින්දරේ විනාඩි 30ක් විතර හැඳිගාන්න. භාජනයේ වියළි ගතියක් එනකල් හැඳිගාන්න.
- ටිකක් වෙලා යනකොට සීනි වේලිලා සුදු පාටක් එනවා. ඉඟුරු කෑලි ටික වේලිලා සුදුපාටට පේනකොට ලිපෙන් බාගන්න. හුළං නොවදින්න කන්ටේනර් එකක දාලා තියන්න.
5. ඉන්ජි පුලි (ජින්ජර් කරි)
අවශ්‍ය ද්‍රව්‍ය :-
- චොප්කරගත් ඉඟුරු ග්‍රෑම් 200
- දියකරගත් සියඹලා කෝප්ප 1
- උණුවතුර ටිකක්
- තෙල් ටිකක්
- රතුළූණු ගෙඩි 15
- චොප්කරගත් අමුමිරිස් කරල් 4
- කහකුඩු තේ හැඳි 1/2
- ලුණු ටිකක්
- මිරිස්කුඩු තේ හැඳි 2
- කුඩුකරගත් හකුරු කෝප්ප 1/2
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චොප්කරගත් ඉඟුරු ටික දාගන්න. විනාඩි 10ක් විතර හොඳට කලවම් කරගන්න.
- ඊළඟට ලියාගත් ළූණු හා අමුමිරිස් ටික එකතු කරන්න. තවත් විනාඩි 5ක් විතර කලවම් කරලා ළූණු මැලවුනාම කහකුඩු, මිරිස්කුඩු හා රස අනුව ලුණු එකතු කරගන්න.
- විනාඩි 2ක් විතර හැඳිගාලා සියඹලා යුෂ ටික දාගන්න. හකුරු කුඩු ටිකත් දාලා කලවම් කරගන්න.
- විනාඩි 10ක් විතර ලිපේ තියලා පොඩ්ඩක් හිඳුනම ලිපෙන් බාගන්න. ග්‍රේවි ගතිය වැඩියෙන් ඕනෙනම් සියඹලා යුෂ වැඩි කරගන්න.
6. ජින්ජර් ගාලික් සුප්
අවශ්‍ය ද්‍රව්‍ය :-
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 2
- චොප්කරගත් සුදුළූණු බික් 8
- තෙල් ටිකක්
- චොප්කරගත් කැරට් අල 1
- වතුර කෝප්ප 2
- කෝන්ෆ්ලා මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු හා සුදුළූණු ටික දාගන්න. අඩු ගින්දරේ හැඳිගාන්න. ටිකකින් කැරට් ටික දාගන්න.
- ටිකකින් වතුර කෝප්ප 2ක් දාගන්න. කෝන්ෆ්ලා වලට වතුර ටිකක් දාලා දියකරගන්න. සුප් එකට ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් දාගන්න.
- ඊළඟට කෝන්ෆ්ලා මිශ්‍රණය දාලා හැඳිගාන්න. මිශ්‍රණය තික් වේගෙන එනකොට චොප්කරගත් කොත්තමල්ලි කොළ ටික දාගන්න.
- තව ටිකක් තික් වෙන්න තියලා ලිපෙන් බාගන්න.
7. ජින්ජර් පිකල්
අවශ්‍ය ද්‍රව්‍ය :-
- ඉඟුරු ග්‍රෑම් 200
- ලුණු ටිකක්
- විනාකිරි බෝතල් 1
- කොච්චි කරල් කිහිපයක්
- ඉඟුරු ටික සුද්ද කරලා ග්‍රේට් කරගන්න. දැන් මේ ටික ජීවාණුහරණය කළ බෝතලේකට දාලා කොච්චි ටිකත් තලලා එකතු කරන්න.
- ලුණු හා විනාකිරි ටිකත් දාලා වහලා දවසක් තියන්න.
Leave a Reply