ඔබ නැරඹිය යුතුම LGBTQ ශානරයේ චිත්‍රපට – 2 කො​ට​ස

අපි මීට කලින් ඔබ නැරඹිය යුතුම LGBTQ ශානරයේ චිත්‍රපට හතක් ගැන ලිපියක් පළ කළා ඔයාලට මතක ඇති. කොහොම නමුත් ඒ වගේ ලිපියක් සිනමා නිර්මාණයන් හතකට ලඝු කරන්න ඇත්තටම බැහැ. ඒ නිසාම අද අපි එවැනි තේමාවක් රැගත් තවත් නිර්මාණ හතක් ගැන තොරතුරු ඔබට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

1. Carol (2015)

මේක අපේ රටෙත් ගොඩක් ජනප්‍රිය වුණු සිනමා නිර්මාණයක්. ඇත්තටම මේ සිනමා පටයේ තියෙන්නේ 1950 දශකයේ දිග හැරෙන කතාවක්. මේ කතාවට පාදක වුණු “The Price of Salt” නම් නවකතාවත් රචනා වෙලා තියෙන්නෙ ඒ කාලයේමයි. වෙළෙඳ සැලක අලෙවි සහකාරිනියක් විදියට සේවය කරන තෙරේසා නම් තරුණියට කැරොල් නම් තවත් කාන්තාවක්ව අහම්බෙන් මුණ ගැහෙනවා. සැමියාගෙන් වෙන් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න විවාහක කාන්තාවක් වුණු කැරොල් සහ තෙරේසා අතර ඇතිවන ආදරය තමයි මේ නිර්මාණය පුරාම තියෙන්නෙ.

2. Venus (2017)

මේකත් ඇත්තටම ගොඩක් Underrated සිනමා නිර්මාණයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. කැනඩාවේ ජීවත්වන දකුණු ආසියානු සම්භවයක් සහිත සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙක්ට මුහුණ පාන්න සිද්ධ වෙන සිදුවීම් පෙළක් තමයි මේ චිත්‍රපටයේ කතාවට අන්තර්ගත වෙන්​නේ. පුරුෂයෙක් හැටියට ඉපදිලා කාන්තාවක් හැටියට වර්තමානයේ ජීවත්වෙන ඇයව සොයාගෙන එන එක් විශේෂ තැනැත්තෙක් නිසා ඇගේ ජීවිතය කණපිට පෙරළෙනවා. ඒ පුද්ගලයා කවුද? ඒ තැනැත්තාගේ ආගමනය මඟින් ඇයගේ ජීවිතයේ සිදුවන හැලහැප්පීම් මොනවාද කියලා චිත්‍රපටය නරඹලාම දැනගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. 

3. The Handmaiden (2016)

මේ අතිශය ජනප්‍රිය දකුණු කොරියානු සිනමාපටය නම් ගොඩක් අය නරඹලා ඇති කියල අපි හිතනවා. විශේෂයෙන්ම මේ චිත්‍රපට​ය ඇතු​ළේ තියෙන සුපිරිම ට්විස්ට් එක නිසා ගොඩක් අය මේ නිර්මාණය වැළ​ඳගත්තා කිව්වොත් හරි. ස්වාමි දුවක් සහ ඇයගේ මෙහෙකාරිය අතර ඇතිවන සමලිංගික ප්‍රේම​ කතාවක් සමගින් දිවය​න පළිගැනීමේ කතා පුවතක් තමයි මේ චිත්‍රපටයට අන්තර්ගත වුණේ. ඔබට අමතක නොවන සිනමා අත්දැකීමක් ගෙන දෙන්න සමත් චිත්‍රපටයක් වේවි මෙයත්.

4. Room in Rome (2010)

මේකත් සමසෙනෙහ​ස වස්තු විෂය කරගත් ස්පාඤ්​ඤ චිත්‍රපටයක්. රෑ​ක සමාජ ශාලාවකදී හමුව​න කාන්තාවන් දෙන්නෙක් තමයි මේ චිත්‍රපටයේ කතා නායිකාවන් දෙදෙනා වන්​නේ. එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වෙන මේ දෙදෙනා හෝටල් කාමරය​ක රාගයෙන් වෙළුණු රාත්‍රියක් ගත කරමින් එකිනෙකාගෙ ජීවිතවලට සමීප වෙනවා. ඔවුනොවුන්​ගේ ජීවිත වල රහස් බෙදාගන්නවා. ඒ වගේමයි මේ නිර්මාණ​යේ ටිකක් සංකීර්ණ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ටිකක් අවබෝධයෙන් බැලුවොත් මේකේ පැටළිලි ලිහා ගන්න පුළුවන් වෙයි. 

5. Love Simon (2018)

සයිමන් කියන්නේ 17 හැවිරිදි සමලිංගි​ක නව යොවුන් තරුණයෙක්​. සමලිංගිකත්වයට ප්‍රිය කළත් සයිමන් තමන්ගේ ඒ ලිංගික රැචිකත්වය හැමෝගෙන්​ම රහසක් හැටියට තමයි තබාගෙන ඉන්​නේ. නමුත් එක්තරා සිදුවීමකින් පස්​සෙ සයිමන්ගේ පාසලේ තවත් සිසුවෙක් සයිමන් සමලිංගිකයෙක් බව​ට හෙළි දරවු කරන බවට තර්ජනය කරමින් ඔහු​ව බ්ලැක්මේල් කිරීමකට ලක් කරනවා. මේ තමයි Love Simon චිත්‍රපටය​ට පාදක වෙන මූලික කතාව. තමන්ගේ ලිංගික රුචිකත්වය තේරුම් ගැනීම සහ එය පිළිගැනීම ගැන හිතට දැනෙ​න විදිහට පෙන්වන චිත්‍රපටයක්.

6. Happy Together (1997)

මේකත් LGBTQ ශානරයේ චිත්‍රපට අතුරින් ඉදිරියෙන්ම තියන්න පුළුවන් විදියේ චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන් නිර්මාණයක්. මේක ඇත්තටම හොංකොං චිත්‍රපටයක්. ආර්ජන්ටිනාවට යන හොංකොං හි ප්‍රේමවන්තයින් දෙන්නෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ. ප්‍රේමවන්තයන් හැටියට හිටියත් ක්‍රම ක්‍රමයෙන් එකිනෙකාගෙන් දුරස් වෙමින් යන පෙම්වතුන් දෙදෙනෙක් තමයි මේ දෙදෙනා. මේ අලුත් රටේ ජීවිතය තුළ ඔවුන්​ගේ සබඳතාවයේ ඉරණම කෙසේ විසඳේවිද කියන එකට පිළිතුර චිත්‍රපටය නරඹා දැනගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

7. Ammonite (2020)

හොලිවුඩය තු​ළ අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙක් වන කේට් වින්ස්ලට් සහ සයිරෝස් රොනෑන් තමයි මේ නිර්මාණය තු​ළ රංගනයෙන් දායක වෙන්නෙ. ඒ නිසා ටිකක් ආන්දෝලනාත්මක නිර්මාණයක් කියලත් කියන්න පුළුවන්. සත්‍ය කතාවකින් ආභාෂය ලබපු මේ චිත්‍රපට කතාවට පාදක වෙන්​නේ කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන සමසෙනෙහස් බැඳීමක්. ෆොසිල එකතු කර විකු​ණන තැනැත්තියක් ව​න මේරිට අමතර මුදලක් සොයාගැනීමට රාජකාරියක් පැවරෙනවා. ඒ අසනීපයෙන් පසුවන විවාහක කාන්තාවක්ව බලා කියා ගන්න. අසාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඒ තැනැත්තිය සහ මේරි අතර ඇතිවන බැඳීම තමයි මේ චිත්‍රපට කතාව තුළින් අපිට දකින්න ලැබෙන්නේ. 

ඉතින් ඔයා මේ නිර්මාණයන් අතරින් බලපු නිර්මාණ ගැන අපිට කියන්නත් නොබලපු නිර්මාණ නරඹන්නත් මේ තොරතුරු යාලුවො එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

 

ඔබ නැරඹිය යුතුම LGBTQ ශානරයේ සිනමාපට හතක්

ශශින් ප්‍රබෝද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *