හොට් ඇන්ඩ් සෙක්සි ඩයල් එකක් විදියට කැමරාවකට මුහුණ දෙමුද?

ඉස්සර කාලේ නං ඉතින් කෙනෙක්ට කැමරාවක් ඉස්සරහට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන්නේ හාවා හඳ දකිනවා වගේ වැඩක් තමයි. ඒකත් ඉතින් ඔය මංගල්ලෙකට කාරිය ගියපු වෙලාවක අනික් පිරිසත් එක්ක ගල් ටික් වුණා වගේ පෝස් එකක් දීගෙන ඉන්න එක ඇරෙන්න වෙන අමුතු කාරියක් නෙවෙයි.

කොහොම කොහොම වුණත් අද වෙනකොට තත්ත්වේ සෑහෙන්න වෙනස් වෙලා. දැන් වෙන කවුරුවත් අපි ඉස්සරහට කැමරා මානගෙන එනකල් බලං ඉන්න අවශ්‍යත් නැති තරම්. ආයෙ තමන්ටම කැමරාව අරගෙන සෙල්ෆි ගහන්න තමයි තියෙන්නේ. ඒ නැතත්, දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් වුණු වෙලාවකට ෆොටෝ කෑලි ටිකක්, වීඩියෝ කෑලි ටිකක් අනිවා වදිනවාම තමයි. ඒ විතරක්යැයි. දැන් ටික් ටොක් එහෙමත් තියෙනවනේ. ආයෙ කොයි වෙලාවේ මොකෙක් හරි කැමරාවක් දික් කරලා කරන්ඩ කියයිද ෂුවර් නෑ!

දැන් ඉතින් ඔය විදියට දැන් කාලේ කැමරාව කියන එක අරුම පුදුම භාණ්ඩයක් නෙවෙයි කියමුකෝ. හැබැයි එහෙම වුණාට තාමත් සමහරු ඉන්නව නෙවද අර කැමරාවක් ඉස්සරහා හිනා පොදක් නැතුව ගල් ටික් වෙලා බලං ඉන්න. ආයෙ වීඩියෝ කරනවා කිව්වත් ඔච්චර තමයි. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, කැමරාවකට ලස්සනට, හොට් ඇන්ඩ් සෙක්සි ලුක් එකට මුහුණ දෙන විදිය ගැන පොඩි පංතියක් කරන්ඩ කියලා!

1. තැනට ගැලපෙන්න අඳිමු 

සාමාන්‍යයෙන් කැමරාවක් ඉස්සරහට යන්න වෙන්නෙ කොයි මොහොතෙද කියලා කලින් දැනගෙන ඉන්න පුළුවන් අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට ඉන්ටවීව් එකකට යනකොට. එහෙම නැතිනම් වෙඩිමකට එහෙම යනකොට. එතකොට ඉතින් කොහොමත් හොඳට ඇඳලා පැළඳල කාරියනේ යන්නේ. හැබැයි අපි වෙන වැඩකට යනකොට මගදි කවුරුහරි ටික් ටොක් තරුවක් අපිව අල්ලගෙන කැමරා කරල මොනව හරි අහන්න ගියොත්, එහෙම නැතිනම් යාළුවෙක් එක්ක හදිසියේ photo shoot එකකට එහෙම පෙනී සිටින්න සිද්ධ වුණොත්, අපි ඇඳලා ඇඳලා පැළඳලා ඉන්න විදිය සෑහෙන්න බලපානවා. ඒකට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි, කොහොමටත් තැනට ගැළපෙන විදියට අඳින පළඳින පුරුද්දක් ඇති කර ගැනීම. මේ කියන්නේ මිලාධික, සුඛෝපභෝගී ඇඳුම් පැළඳුම් හැමවෙලේම භාවිතා කරන්න කියලා නෙවෙයි. හැබැයි හැම මොහොතකම තමන්ගේ පෞරුෂත්වය ඔප්නැංවෙන විදියේ, තමන් යන තැනට ගැලපෙන විදියේ ඇඳුමක් පැළඳුමක් කරන්න හොඳ ඩ්‍රෙස් සෙන්ස් එකක් තියාගන්න එක.

අපිම දන්නවා නම් අපි හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා කියලා, ඒකෙන් අපේ ආත්ම විශ්වාසයත් තව වැඩි වෙනවා. 

2. ලුක් එක සහ ස්මයිල් එක

කැමරාවට මුහුණ දෙනවා නම් දෙනව නම් මෙන්න මේ දෙක ඉතාම වැදගත්. ඒ කියන්නේ තමන්ගේ සිනහව සහ තමන්ගේ බැල්ම. 

සිනහවෙන් පටන් ගමු. ඇත්තටම කැමරාවකට පෝස් කරද්දි, ගොඩක් අය කරන්නේ ගල් ගිල්ල වගේ ඉන්න එක. අනිත් අය කරන්නේ වොට් තිස්තුන්දාහ බල්බ් එකක් වගේ පේන්න හිනාවෙන එක. ඇත්තටම අපි කැමරාවට පෙනී ඉන්න කොට හිනා වීම වගේම හිනා නොවීමත් වැදගත්. අන්න එතැනට තමයි බැල්ම කියන එක වැදගත් වෙන්නේ. බැල්ම නැතිනම් අපි දෙන ලුක් එක අනුව අපේ සම්පූර්ණ පෞරුෂත්වයම කොයි වගේද කියලා කියලා පේන්න පුළුවන්.

අන්න ඒ නිසා මේ බැල්ම සහ සිනහව ප්‍රගුණ කරගන්න කරගන්න හොඳම තැන තමයි තමන්ගේ කාමරේ කණ්ණාඩිය ඉස්සරහ. අපිට තියෙන්න ඕන එකම විදියේ බැල්මක්, එකම සිනහවක් කියලා නියමයක් නැහැ. සමහර තැනකදී මුව පුරා හිනා වෙන එක ලස්සන වෙන්න පුළුවන්. හැබැයි තවත් තැනකදී හිනාවක් නැතුව තීක්ෂණ බැල්මකින් බලාගෙන ඉන්න එක ෆොටෝ එකකට ලස්සන වෙන්න පුළුවන්. ඒ නිසා මේ විවිධ බැල්මවල් විවිධ සිනහවල් එකට එකතු කරලා ප්‍රැක්ටිස් කරලා බලන්න. හිනා වෙන්න කෙනෙකුත් නෑනේ අපිට. අපි ඉන්නේ අපේ කාමරේ කණ්ණාඩිය ඉස්සරහා.

දැන් එහෙම අපිට ගැලපෙන ලුක් එක සහ ස්මයිල් එක සෙට් කීපයක් හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නේ ප්‍රැක්ටිස් කරන එක.

3. ඉන්න විදිය

මේකෙන් කියන්නේ අපේ ශරීරයේ නිරූපණය ගැන. ඒ කියන්නේ අපි ඡායාරූපයකට පෙනී ඉන්න කොට ශරීරය තියාගෙන ඉන්න ඕන කොහොමද? පැත්තට හැරිල හැරිලා එක කකුලක විලුඹෙන් පොඩ්ඩක් ඉස්සිලා? එහෙම නැතිනම් ඉස්සරහ බලාගෙන අත් දෙක කලිසම් සාක්කුවේ දාගෙන? ඇත්තම කතාව මේකයි. ගොඩක් දෙනෙක් කැමරාවක් ඉස්සරහදි පොඩ්ඩක් අපහසුතාවයට පත්වෙනවා. අන්න එතකොට එයාලා තමන්ගෙ ශරීරයේ නිරූපණය හදාගන්නෙත් නොදැනුවත්වම තමන්ගෙ ඉන්න අපහසුතාවයත් පිළිබිඹු වෙන විදියට. අන්න ඒ නිසා, තමන්ගේ ශරීරයට තමන්ගේ පෙනුමට අනුව ෆොටෝ ජෙනික් කියලා කියන්න පුළුවන් නිරූපණ විධි කිහිපයක් හදා ගන්න එක වටිනවා. ඕනනං ඉන්ටර්නෙට් එකේ උදව් උපකාර ලබා ගන්නත් පුළුවන් ඒ වැඩේට.

4. බොඩි ලැන්ග්වේජ්

මේ ශරීර භාෂාව කියන එක බොහොම ප්‍රබල කාරණයක්. අපි කැමරාවට මුහුණ දුන්නත් නැතත්, අපි ඉන්න විදිය අනුව, අපි නොදැනුවත්වම ශරීරයෙන් පෙන්වන සුළු සුළු තොරතුරු අනුව, අපේ සම්පූර්ණ පෞරුෂත්වයම අනික් අයට පේනවා. ඒ අය අපි ගැන අදහසක් ඇති කර ගන්න අපේ ශරීර භාෂාව නොදැනුවත්කම උපයෝගී කරගන්නවා. අන්න ඒ නිසා කැමරාවට මුහුණ දෙනකොට, තමන්ගේ body language එක ගැනත් හිතන්න ඕන. උදාහරණයක් විදිහට ඡායාරූපයකට පෙනී ඉන්න කොට, තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක වැදගත් දෙයක්. අපි ඉස්සරහට මුණගැහෙන කෙනෙක්ගේ ඇස් දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවා නම්, කැමරාවේ ලෙන්ස් එක දිහා බලලා ඡායාරූපයට පෙනී ඉන්නත් පුරුදු වෙන එක ලොකු දෙයක් නෙමෙයි. මෙන්න මේ විදියට තමන්ගේ ශරීර භාෂාව හොඳින් පාවිච්චි කරන එක කැමරාවට මුහුණ දෙනකොට වැදගත්.

5. මේ මුලු අහස මා සතුයි

අපි මේක පස්වෙනි පොයින්ට් එක විදියට ගත්තට, ඇත්තටම මේක මේ සම්පූර්ණ කතන්දරේම වැදගත්ම කෑල්ලක්. ඒ තමයි අපි කැමරාවක් ඉස්සරහට මුහුණ දෙනකොට, ඒ කැමරාව හදල තියෙන්නෙත් අපිව ෆොටෝ එකකට ගන්නම තමයි, එහෙම නැතිනම් ඒ කැමරාව හදලා තියෙන්නේ අපි ඉන්ටර්වීව් එකක් කරන්නම තමයි කියලා බලන මිනිස්සුන්ට දැනෙන විදියට ඉන්න එක.

අන්න ඒකට පළවෙනිම අවශ්‍ය කාරණය වෙන්නේ හොඳ ආත්ම විශ්වාසයක්. අපි කලිනුත් කතා කරලා තියෙනවා හොඳ ආත්ම විශ්වාසයක් ගොඩ නංවා ගන්නෙ කොහොමද කියන කාරණාව ගැන. ඉතින් ඒ විදිහට විදිහට තමන්ට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම්, ඒක අපි පෙනී ඉන්න ඡායාරූපයෙන් හෝ වීඩියෝවෙන් අනිත් අයටත් පේන්න පටන් ගන්නවා. ඊළඟට අපි කැමරාවට මුහුණ දෙනකොට, එතන සම්පූර්ණ කේන්ද්‍රය වෙන්නේ තමන් කියන හැඟීම අපිට දැනෙන්න ඕන. අර සිංදුවක් තියෙන්නේ “මේ මුළු අහස මා සතුයි” කියලා. අන්න ඒක තමයි අපි කැමරාවට මුහුණ දෙනකොට අපිට දැනෙන්න ඕන ෆීලින් එක. අන්න එහෙම මනෝභාවයකින් කැමරාවට මුහුණ දෙනකොට, ඒ ආත්ම විශ්වාසයත් අපේ ඡායාරූපයෙන් හරි වීඩියෝවෙන් හරි පිළිබිඹු වෙනවා.

6. ශරීර සුවතා

අපි මුලින්ම කිව්ව හරියට තැනට ගැළපෙන විදියට අඳින පළඳින එක වගේම, හොඳ ශරීර සුවතාවයකින් යුතු වීමත් ඉතාම වැදගත්. ඒ කියන්නේ ලස්සන ඇඟක් තියෙන එකද? ඒකත් තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න හේතුවක් තමයි. හැබැයි ඊට වඩා අපි මෙතනදි කියන්නෙ, ඩිහයිඩ්‍රේඩ් නොවී, චූ බරේ ඇඹරෙන්නෙ නැතුව, වෙන මුකුත් ශරීර අපහසුතාවයන් නැතුව නැතිව කැමරාවට මුහුණ දෙන එක.

7. කියන්නෙ මොනවද?

දැන් උඩ කිව්ව හැමදේම පිළිපැද්දත් විශේෂයෙන්ම වීඩියෝ කැමරාවකට මුහුණ දෙනවා නම් අපිට හිතන්න වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අපි කතා කරන්නේ මොනවාද කියන එක. දැන් පාර්ටි එකක අපි ඩාන්ස් කර කර ඉන්න එකක් කවුරුහරි වීඩියෝ කරනවා වගේ දෙයක් නම් ඒක ඒක එච්චර හිතන්න දෙයක් නෙවෙයි. හැබැයි කවුරු හරි අපි දිහාට කැමරාවක් මානලා මොකක් හරි දෙයක් ගැන අපේ අදහස අහනවා නම්, අපිට මෝඩ හිනාවක් දාගෙන මෝඩ කතාවක් කියලා එතනින් මාරු වෙලා එන්න බැහැ. අන්න ඒ වෙලාවට මුලින්ම හිතලා බලන්න තමන්ගෙන් අහන්නේ මොකක් ගැනද ඒකට තමන්ට කියන්න ඕන මොකක්ද කියලා. වීඩියෝ කරන කෙනාට කියන්න විනාඩියක් දෙකක් පොඩ්ඩක් ඉන්න කියලා. ඊට පස්සේ ඒ විනාඩිය දෙක අරගෙන තමන්ට කියන්න ඕන මොනවද කියන එක හරියට හිතලා හිතේ පෙළ ගස්වා ගන්න. අන්න ඊට පස්සේ කතා කරන්න පටන් ගන්න. එහෙම නැතිනම් වෙන්නේ අපි කොච්චර හොඳට කැමරාවට පෙනුනත්, කට ඇරපු ගමන් අපි මෝඩයෙක් ගාණට වැටෙන එක.

දැන් මේ ඔක්කොම කොල්ලන්ට විතරයිද? ඔව්. අපි මේ කියන්නේ හොට් ඇන්ඩ් සෙක්සි කොල්ලෙක් විදියට කැමරාවකට මුහුණ දෙන විදිය ගැන තමයි. එතකොට කෙල්ලෝ? කෙල්ලොන්ට කැමරාවලට මුහුණ දෙන්න බැරිද? අපොයි පුළුවන්. ඒ ගේම් එකේ ඔය සූටි සූටි වෙනස්කම් තියෙන්න පුළුවන්. අන්න ඒ නිසා, හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක් විදියට කැමරාවට මුහුණ දෙන ආකාරය ගැනත් අපි ඊලඟ දවසේ පංතියක් දානවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *