කාලයක පටන් කොටස් වශයෙන් ගෙන එන මේ ලිපි පෙළ ගැන ඔයාලා වැඩිදෙනෙක් දැනටමත් දන්න නිසා අපි කෙලින්ම තවත් ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක් ගැන දැනගන්න යමු.
1. ඔක්ලහෝමා (Oklahoma)
අදටත් දේශීය ජන වර්ගවල උරුමය සක්‍රීයව පවතින ප්‍රාන්තයක් ලෙස මෙම ප්‍රාන්තය හඳුන්වන්න පුළුවන්. වාර්තා වන අන්දමට දේශීය භාෂා 25ක් පමණ සජීවීව මෙම ප්‍රාන්තය තුළ ව්‍යවහාර වෙනවා. ස්වභාවික සම්පත්වලින් අනූන ප්‍රදේශයක් වන මෙහි අතීතයේ දී ඒ මත පදනම් වූ ආර්ථිකයක් පැවැතියත්, වර්තමානය වන විට සංචාරක ව්‍යාපාරය, ගුවන්යානා හා නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර වෙත විහිදුණු ආර්ථිකයකට උරුමකම් කියනවා.
2. ඔරීගන් (Oregon)
වසර දස දහස් ගණනක් තිස්සේ දේශීය ජන වර්ගවල උරුමයක්ව පැවති මෙම ප්‍රදේශ වෙත පළමුවරට බටහිර ජාතිකයන් පැමිණියේ 16 වන සියවසේ දී පමණ වනවා. එසේ පැමිණි ස්පාඤ්ඤ ජාතිකයන් මෙම ප්‍රදේශවල පළමු වරට තාවකාලික ජනාවාස පිහිටවනු ලැබුවා. මෙම ප්‍රාන්තයේ භූගෝලීය ස්වභාවය විෂම ලක්ෂණවලින් පැවතීම නිසා අදටත් මෙහි ආර්ථිකය වැඩි වශයෙන් කෘෂිකාර්මික ස්වභාවයක් ගන්නවා. කෙසේ නමුත් සුප්‍රකට නයිකි (Nike) ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය මෙහි ස්ථාපනය කොට තිබීම පිළිබඳවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
3. පෙන්සිල්වේනියා (Pennsylvania)
මෙම ප්‍රාන්තයේ ඉතිහාසය තුළ දේශීය ජන වර්ග සමඟ සාමකාමී සබඳතාවක් පවත්වා ගැනීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ලෙස හඳුන්වන්න පුළුවන්. ආරම්භයේ සිටම ආගමික නිදහස සහ වඩාත් පාරදෘශ්‍ය පරිපාලන ක්‍රමයක් මෙම ප්‍රාන්තය තුළ පැවතුණා. වානේ නිෂ්පාදනය වැනි කාර්මික නිෂ්පාදන සඳහා මුල් කාලයේදී මෙම ප්‍රාන්තය ප්‍රසිද්ධියක් ඉසිලූ අතර ඒ වෙතට පැමිණි සංක්‍රමණික ප්‍රජාව හරහා ලාභදායී ශ්‍රම සැපයුම ලබා ගැනීමට හැකිවුණා. මෙම ප්‍රාන්තය තුළ තෙල් ළිඳක් සොයාගැනීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදය පුරා තෙල් සොයා යාමේ උන්මාදයක් ඇති වුණා.
4. රෝඩ් අයිලන්ඩ් (Rhode Island)
භූමි ප්‍රමාණයෙන් කුඩාම ප්රාන්තය වන මෙහි ජනගහණය මිලියනයකට ආසන්න ප්‍රමාණයක්. රෝඩ් අයිලන්ඩ් නම් දූපත නමින් මෙම ප්‍රාන්තය නම් කෙරී තිබුණත් එම දූපතට පරිබාහිරව පවතින ගොඩබිම් ප්‍රදේශය විශාලත්වයෙන් වැඩියි. ආගමික නිදහස පතා පලා ආ සරණාගතයකු විසින් ප්‍රදේශයේ ජීවත් වූ දේශීය ජන වර්ගවලින් මිලදී ගත් භූමියක මෙම ප්‍රාන්තය ආරම්භ කෙරුණා.
5. සවුත් කැරොලිනා (South Carolina)
උතුරු කැරොලිනාව මෙන්ම මෙම ප්‍රාන්තය ද නම් කොට ඇත්තේ එංගලන්තයේ පළමු චාල්ස් රජු අනුස්මරණය කිරීම සඳහායි. කපු වගාවෙන් සමෘද්ධිමත් වූ මෙම ප්‍රාන්තය තුළ වහල් සේවය ප්‍රශ්න නොකළ හැකි තරමට මුල් බැස ගෙන තිබුණා. මේ නිසා ඇමරිකානු සිවිල් යුද්ධයේදී මෙම ප්‍රාන්තය ද කන්ෆෙඩ්රේෂණය සමග එක් වුණා. කෙසේ නමුත් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර සමග එම ප්‍රාන්තය තුළ පැවති තත්ත්වය බොහෝ දුරට වෙනස් වුණා. සංචාරක ව්‍යාපාරය, ගුවන් යානා නිෂ්පාදනය, මෝටර් රථ නිෂ්පාදනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් තුළ පැතිර ගිය ආර්ථිකයකට අද වන විට මෙම ප්‍රාන්තය උරුමකම් කියනවා.
6. සවුත් ඩකෝටා (South Dakota)
ලකෝටා සහ ඩකෝටා යන ජනවර්ග නාමයෙන් මෙම ප්‍රාන්තය නම් කෙරුණු අතර අදටත් මෙම ප්‍රාන්ත ජනගහණයෙන් වැඩි කොටසක් මෙම ජනවර්ගවලට සහ ඔවුන්ගෙන් ප්‍රභවය වූ කණ්ඩායම්වලට අයත් වනවා. රන් සොයා පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ජාතිකයන් මෙම ප්‍රදේශයෙහි ජන වර්ග සමඟ දිගින් දිගටම ගැටුම් ඇති කර ගත්තා. අද වන විට යම් තාක් දුරකට එම ප්‍රාන්තයේ ආර්ථිකය විවිධාංගීකරණයට ලක්ව තිබුණද තවමත් කෘෂිකර්මයට නැඹුරු ආර්ථිකයක් සහ අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව දුෂ්කර ජීවිතයක් මෙම ප්‍රාන්ත වැසියන් ගෙන යනවා.
7. ටෙනිසි (Tennessee)
මේ ප්‍රාන්තය සාම්ප්‍රදායිකව හැඳින්වෙන්නේ ස්වේච්ඡා ප්‍රාන්තය යන නමින්. ඒ මේ ප්‍රාන්ත වැසියන් ස්වේච්ඡාවෙන්ම ඇමරිකානු හමුදාවේ සේවය කිරීමට එක් වීමේ සම්ප්‍රදායක් පවතින නිසයි. ඇමරිකානු සිවිල් යුද්ධයේදී අවසානයට කන්ෆෙඩ්රේෂණය සමඟ එක්වූ ප්‍රාන්තය මෙන් ම යුද්ධයෙන් පසුව නැවතත් ඇමරිකා එක්සත් ජනපදය සමග එක්වූ පළමු ප්‍රාන්තය ලෙස ද වාර්තාවක් ටෙනිසි උසුලනවා. ආරම්භයේ දී මෙහි ආර්ථිකය කෘෂිකර්මය මත පදනම් වූ අතර විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ සිට එය වේගයෙන් විවිධාංගීකරණයට ලක්වුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 2 කොටස
ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 3 කොටස
ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 4 කොටස
ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 5 කොටස
Leave a Reply