මිලානෝ නුවර රවුමක් යමු!

ඉතාලියේ ධනවත්ම නගරය ගැන ඔබ දන්නවාද? බොහෝ දෙනෙක් කනාවට  වගේ රෝමය  කියලා කියයි. ඒත් නිවැරදි උත්තරේ තමයි මිලානෝ. මිලානෝ  නුවර සැළකිය යුතු ලාංකික ප්රජාවකුත් ජීවත් වෙනවා. අද වෙනකොට යුරෝපයේ වගේම ලෝකයේ ධනවත්ම නගරයක් බවට මිලානෝ පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කලා සහ විලාසිතා ක්ෂේත්රයේ අගනුවරක් විදිහට මිලානෝ නගරය සැළකෙනවා. අපි අද ඔබට කියන්නේ යම් දවසක ඔබට මිලානෝ නගරයේ සංචාරයක යෙදෙන්න අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන කිහිපයක් පිළිබඳවයි.

 

1. Duomo, Cathedral of Milano

මේ මහා කලාගාරයක් බඳු වූ දේවස්ථානය ඇතැම් අය හඳුන්වන්නේ කිරිගරුඬවලින්  සැකැසුණු වනාන්තරයක් ලෙසයි. 1386 දී මෙහි වැඩ කටයුතු ආරම්භ වූ අතර එය නිම වීමට වර්ෂ 500 පමණ කාලයක් ගත වුණා. සඳහා මූලික වූයේ මිලාන් හි ආදිපාදවරයා වන අතර ඔහුගේ බලාපොරොත්තුව වූයේ නගරයේ විශිෂ්ටත්වය නිරූපණය වන සංකේතයක් බවට මෙම දේවස්ථානය පත් කිරීමයි. අද මෙම දේවස්ථානය දකින ඕනෑම අයෙකුට ඔහුගේ එම බලාපොරොත්තුව ඉෂ්ට වී ඇති ආකාරය අත්දකින්න පුළුවන්.

 

2. Castello Sforzesco

මෙම සුවිශේෂී ගොඩනැගිල්ල ඉතිහාසය තුළ බලකොටුවක්, රජ මාළිගයක් සහ හමුදා කඳවුරක් ලෙස භාවිතාව තිබෙනවා. අද වන විට මෙය  කෞතුකාගාරයකට  සහ කලා නිර්මාණ එකතු කීපයකට සෙවණ ලබා දෙනවා. කලක් මෙම ගොඩනැගිල්ල වඩාත් සුන්දර ස්ථානයක් කිරීමට ලියනාඩෝ ඩාවින්චි සේවය කොට තිබෙනවා. එනිසා ලියනාඩෝ ඩාවින්චි පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ අය මෙම මාළිගා සංකීර්ණය මග හරින්නේ නැහැ. නැතත් මෙම කෞතුකාගාරය තුළ ඉතාලියේ සහ ලෝකප්රකට ශිල්පීන්ගේ නිර්මාණ රැසක් දකින්නට ලැබෙනවා.

 

3. Galleria Vittorio Emanuele II

ඉතාලියේ පවතින පැරණිතම වෙළඳ සංකීර්ණය ලෙස මෙය හැඳින්වෙනවා කෙසේ නමුත් මිලාන් වැසියන් එලෙස හඳුන්වනවාට වඩා තම නගරයේ හදවත ලෙස මෙම වෙළඳ සංකීර්ණය හැඳින්වීමට රුචිකත්වයක් දක්වනවා. ගෘහ නිර්මාණ ශිල්පීය වශයෙන් සහ කලාත්මක වශයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉතා ඉහළ අගයක් ගන්නා අතර මෙහි සිදුවන්නේ වෙළඳාම පමණක්ම නොවේ. විධ කලා ශිල්පීන් මෙන්ම ව්යාපාරිකයන් හමුවන කේන්ද්රස්ථානයක් බවටද මෙය පත්ව තිබෙනවා.

 

4. The Fashion District – Quadrilatero della Moda

විලාසිතා පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන් අතර මිලානෝ නගරයේ මෙම කොටස අතිශයින්ම ප්‍රසිද්ධයි. ‍ප්රධාන  වීදි හතරකින් සහ ඊට එක්වන අනුකුඩා වීදි රැසකින් මෙම ප්රදේශය සමන්විත වනවා. සියළු වීදි විවිධ විලාසිතාගාර සහ තම විලාසිතා  නිර්මාණ විකිණීමට පැමිණෙන විලාසිතාකරුවන්ගෙන් පිරී පවතිනවා.

 

5. Brera Art Gallery

ක්රිස්තු පූර්ව 4 වැනි සියවසේ සිට අද දක්වාම නම් දන්නා නොදන්නා කලාකරුවන් රැසකගේ කලා නිර්මාණ දැක බලා ගැනීමට මෙම කලාගාරය තුළදී ඔබට අවස්ථාව ලැබෙනවා. අතීතයේ දී කන්යාරාමයක් පැවැති මෙම ගොඩනැගිල්ල වෙනස්කම් රැසකට භාජනය කිරීමෙන් අනතුරුව කලාගාරයක් බවට පරිවර්තනය කොට තිබෙනවා. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ කලා නිර්මාණවලට අමතරව සංගීතය රස විඳීම සඳහා ඉඩකඩ ලැබී තිබීමයි. ඊට අමතරව පුස්තකාලයකින් සහ පැරණි තාරකා නිරීක්ෂණාගාරයකින් මේ සංකීර්ණය සමන්විත වනවා.

 

6. Teatro alla Scala

මෙම දැවැන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ගතව තිබෙන්නේ වසර දෙකක් පමණයි. එතැන් පටන් ඉතිහාසය තුළ විවිධ කටයුතු  සඳහා මෙම ගොඩනැගිල්ල භාවිතාව තිබෙනවා උදාහරණයක් ලෙස එක්තරා කාලපරිච්ඡේදයක මිලාන් ධනපති පන්තිය සුදු ක්රීඩාවේ නිරත වන ස්ථානයක් ලෙසට මෙය භාවිතාව තිබෙනවා. කෙසේ නමුත් අද වන විට ලෝකයේම ගෞරවාදරයට පත්ව තිබෙන ඔපෙරා ශාලාව බවට මෙය පත්ව තිබෙනවා. විශේෂයෙන්ම ඔපරාවේ භාෂාව ඉතාලි භාෂාව වීම නිසා මෙහි නිතිපතා පැරණි සහ නූතන ඔපෙරා ශිල්පීන්ගේ නිර්මාණ රස විඳීමට රසිකයන්ට අවස්ථාව උදා වනවා. කෙසේ නමුත් මෙය මිල අධික අත්දැකීමක් බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

7. Navigli 

අතීතයේදී මෙම  ප්රදේශය වැනිසිය බඳුව පැවතුණු බව සඳහන් වනවා. අද වන විට එම බොහෝ ඇළ මාර්ග මහා මාර්ග බවට පරිවර්තනය වී තිබෙනවා. නමුත් ඉතිරිව ඇති ඇල පද්ධතිය නිසි පරිදි නඩත්තු කෙරෙන අතර මිලානෝ නගරයේ සංචාරය කරන බොහෝ අය මෙම ඇළ මාර්ග හරහා ගමන් කරමින් නගරයේ සිරිය නැරඹීමට වැඩි ප්රියතාවයක් දක්වනවා. ඊට අමතරව මිලානෝ නගරයේ රාත්රිය සංචාරයක යෙදෙනවා නම් සුදුසුම ප්රදේශය වන්නේමෙයයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *