තට ඇතිවුණ ක්ෂණික පීඩනය නිසාම මේ හැමදේම තාත්තට කියලා එයාලගේ උපදෙස්, උදව් ගන්න ඕන බව නිතාරා හිතුවත් තාත්තාගෙන් ලැබුණ ප්‍රතිචාරයනම් ඇය කීයටවත් හිතපු නැති විදිහේ එකක්. තාත්තා මුළු කතාවම අහගෙන හිටියේ හරිම පරිස්සමට. නිතූ හිතුවේ කතාව අහන ගමන් කල්පනා කරපු විදිහට තාත්තා මේ ගැටළුව විසඳගන්න ක්‍රමයක් හිතනවා ඇති කියලයි. ඒත් හැමදේම අහන් හිටපු තාත්තගේ පිළිතුර වුණේ නිතූ හීනෙන්වත් නොහිතපු එකක්.
“චූටි, මම මේ ඔයාට බොහොම කරුණාවෙන් කියන්නෙ. ඔය කතාව ඇහුවාම මටනම් හිතෙන්නෙ මෙන්න මෙච්චරයි. විමංග පුතා හොඳ කොල්ලෙක් බව ඇත්ත. ඒක නිසාමයි අපි මේකට ලොකු විරුද්ධත්වයක් පෙන්නුවේ නැත්තෙත්. හැබැයි මේ පවුල්වල අහක යන ප්‍රශ්න වලට ඔයා පැටලෙනවා අපිට බලාගෙන ඉන්න බෑ චූටි පුතේ. මම ඔයාවයි අක්කලාවයි හැදුවේ බොහොම පරිස්සමට. ඔයාල මේ දේවල්වලට තැලිලා පොඩිවෙලා මදි. එයාට ඒවා විසඳගන්න කියන්න. විසඳගෙන එන්න කියන්න. අපිට කිසිම බැඳීමක් නැහැනේ මේවට මැදිහත් වෙන්න”
“අනික ඔයා… මේවගෙන් අයින් වෙලා ඉන්න… මට බැහැ ඔයා ප්‍රශ්න ගොඩක් පැටලුණු තැනකට හිරවෙලා දුක් විඳිනවා බලන්න. චරිතය කොයිහැටි වුණත් හරියට අම්මෙක් තාත්තෙත් කව්ද කියල නොදන්නා ළමයෙක් ගැන මම විශ්වාස තියන්නෙ කොහොමද? එහෙම තැනකට ඔයාව බය නැතුව යවන්නෙ කොහොමද?” තාත්තා ඒ ටික කිව්වේ හරිම ස්ථිර හඬකින් බව නිතාරට හොඳටම තේරුණා.
තාත්තා කියපු හැමදේම ඇත්ත වුණත් ඒ වචනයක් ගාණේ මතක් වෙද්දී නිතාරට ඇතිවුණේ ලොකු දුකක්. තාත්තා දෙයක් කිව්වනම් ආපහු වෙනස් කරන කෙනෙක් නොවන බව නිතාර හොඳටම දැනගෙන හිටියා. කතාව කියන්න තීරණය කළේ තාත්තගේ උදව් ගන්න හිතාගෙන උනත් වෙච්ච දේ ගැන නිතාරට දැන් දැනුනේ ලොකු පසුතැවීමක්. මෙතනින් පස්සේ අඩුගානේ විමංගව හමුවෙන එක විතරක් නෙමෙයි, දුරකතනයෙන් විමංග එක්ක කතා කිරීම පවා ගෙදරට හොරෙන් කරන්න වෙයිදෝ කියන සිතුවිල්ල පවා නිතාරගේ හිතේ ලොකු බයක් ඇතිකළා. තාත්තා දෙයක් කිව්වොත් අම්මා ඒ මතයට පිටින් නොයන බවත් ඇයට හොඳටම විශ්වාසයි. නිතාරට දැනුනේ කලින් තිබුණටත් වඩා ලොකු පීඩනයක් වගේම ලොකු බයක්, කලකිරීමක්.
“අපරාදේ… මට තාත්තට නොකියා ඉන්න තිබුණා” නිතාරා විමංගට කෙටි පණිවිඩයක් යැව්වා.
අනිත් පැත්තට ක්ෂණිකව දුරකථන මුහුණතේ දිස්වුණේ විමංගගේ ඇමතුමක්…
“හ්ම්ම්…” නිතාරා ෆෝන් එක ආන්ස්වර් කළේ එහෙම.
“දැන් හිතන්න එපා බබා… කියල ඉවරනේ. හැමදේම වෙන්නෙ මට අවාසියට…” විමංග එහෙම කිව්වේ ලොකු කලකිරීමකින් බව නිතාරට හිතුණා.
“නැහැ විමංග… මම ඕන දේකට ඉන්නවා… අපි මේ ගැන හොයමු. තාත්තට හොරෙන් වුණත් මම ඔයා එක්ක නෑවිත් ඉන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳගන්න” ඒක නිතාරා අරගෙන තිබුණ ස්ථිර තීරණයක් බව ඇගේ හඬින්ම තේරුණා.
“තෑන්ක් යූ බබා” විමංග එහෙම කිව්වේ අසරණ හඬකින්.
“සුමනම්මා ආයෙත් කෝල් කළා බබා… එයා කිසිම දෙයක් කියන්නෙ නැහැ ඇහුවට. හැබැයි ලොකු බයකින් කතා කළේ. එයා ගෙදරින් යනවා කිව්වා. එහෙ ඉන්න බැහැ කිව්වා. හැබැයි සෑහෙන්න විශ්වාසෙකින් කියනවා මගේ නමට ලියුම් කිහිපයක්ම ආපු බව. අම්මා කියන්නෙම නැහැ කියලනෙ නිතූ… මට තේරෙන්නෙ නැහැ මේක ලෙහන්න පටන් ගන්නෙ කොහෙන්ද කියලා…” විමංග එක දිගට කියාගෙන ගියේ නැවතීමක්වත් නැතුව. හුස්මක් ගත්ත විමංග නැවත කතාව පටන් ගත්තා.
“මට ඇත්තටම ඔය ලියුමකින් වැඩක් නැහැ. යුනිවර්සිටි එකෙන්නම් මට ඊමේල් එනවා. ඕක අනිවාර්යයෙන් බිස්නස් එකට සම්බන්ධ දෙයක්. මේ තත්ත්වය උඩ මට ඕකට පැටලෙන්න කොහොමත්ම බැහැ. ඒත් මේ සුමනම්මා කියන්නෙම ඒක වැදගත් දෙයක්, බලන්නමයි කියලා. මට තේරෙන්නෙ නැහැ බබා” විමංග කතාව නැවැත්තුවේ ලොකු සුසුමක් පිටකරමින්.
“විමංග… අපි පෝස්ට් ඔෆිස් එකෙන් ඇහුවොත් මොකද?” නිතාරා එහෙම කිව්වේ කියපු දේ ගැන ලොකු විශ්වාසයකින් නෙමෙයි.
“හ්ම්ම්… ඒක මට හිතුණෙම නැහැ. ඒත් ඔය කියන ලියුම් ඇවිල්ලා ඉවරනම් වැඩක් නැහැනේ නිතූ”
“ඒකත් ඇත්ත… හැබැයි එක දිගට කිහිපයක්ම ආවනම් තවත් ලියුම් එන්න බැරිත් නැහැ නේද? අර කිව්වත් වගේ ආයේ ආයෙත් එවනවානම් වැදගත් දෙයක් වෙන්න ඇති විමංග ඇත්තටම”
“හරි ගිහින් බලමු එහෙනම්. ඔයා එන්න ඕන නැහැ. මම ගිහින් බලන්නම් ඒකනම්. මම නිසා ඔයාටත් සෑහෙන්න ලෙක්චර්ස් මිස් වුණා නිතූ පහුගිය ටිකේ. ඒ ටික බලලා කරගන්න. මට කොහොමටත් දැන්ම ලෙක්චර්ස් යන්න ඔළුව නිදහස් නැහැ.”
“අමා ඉන්නවනේ විමංග. එයා මට නෝට්ස් ෂෙයාර් කරනවා. ඒකෙනම් ප්‍රශ්නයක් නැහැ.” නිතාරා පිළිතුරු දුන්නේ ඇත්තටම ඒ ගැනනම් බයවෙන්න දෙයක් නැති නිසා.
“ඒක නෙමෙයි විමංග… ඔයා සුමනම්මගේ ගෙදර විස්තර දන්නවද? එයා මෙහෙන් ගිහිල්ලනම් කොහොමද ආපහු අපි එයාව හොයාගන්නෙ?” නිතාරා ආපහු ඇහුවේ ක්ෂණිකව මතක්වුණු දෙයක් නිසයි. මේ ගැන දෙයක් දන්නා කෙනෙකුට ඉන්නේ සුමනම්මා විතරයි කියලා ඇයට නිතරම හිතුණා. ගෙදර ඉන්නකොට අම්මට බයේ විස්තර නොකිව්වත් එතනින් ගියාට පස්සේ ඇගෙන් තොරතුරක් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නිතාරගේ හිතේ තිබුණා.
“ඇත්තටම දන්නෙ නැහැ බබා… පොඩිම කාලේ අප්පච්චි එක්කගෙන ගියා… ලස්සන පැත්තක් කියල විතරමයි මතක. කොහෙද කියලා කිසිම අදහසක් නැහැ. පස්සෙ පස්සෙ යන එක සම්පූර්ණයෙන් නැවතුණා. ඔය කිව්වට සුමනම්මාත් එහේ ගිහින් නැතුව ඇති අවුරුදු බර ගාණකින්”
“හ්ම්ම්… එයාට ෆෝන් නම්බර් එකක්වත් නැහැනේ තොරතුරක් දැනගන්න. මේක තවත් ගැටගැහෙනවා විතරද මන්දා විමංග” නිතාර කිව්වේ ලොකු කලකිරීමකින්.
“බලමු බබා… බැරිම උණොත් මම මේ ඔක්කොම දමල ගහලා මාස්ටර්ස් එකකට රටකට හරි යනවා. ඒකට ඇතිතරම් සල්ලිනම් අප්පච්චි මට ඉතුරු කරලා තියෙනවා. ඒ නැතත් මේ අපාර්ට්මන්ට් එකයි වෙහිකල් එකයි දුන්නත් ඇති… මට මේක මහා හිසරදයක්.” විමංග ස්ථිර හඬකින් එහෙම කිව්වේ ඇත්තටම ප්‍රශ්නය ගැන ඇතිවුණු කලකිරීමකින් කියලා නිතාරට දැනුණා.
ඊළඟ සතියට…
Leave a Reply