අඳුරට පෙම් බඳින්නේ මෙහෙමයි!

මේ දවස්වල ආයෙමත් කරන්ට් කපන ලයින් එකක් යනවනේ. ඉතින් අපි ෆේස්බුක් ගිහින් හෝ ගාලා ආණ්ඩුවට බණිනවා. හැබැයි මේ කරන්ට් කපන්නේ ඇත්තටම අපේ හොඳට වෙන්න බැරිද? ඒ කියන්නේ ඔය තෙල් ගන්න ඩොලර් නැති ප්‍රශ්න, තෙල් නැති ප්‍රශ්න, වතුර නැති ප්‍රශ්න වෙනයි. හැබැයි හැම වෙලාවකම මහජනතාවගේ හදගැස්ම හඳුනන, ආයෙ මහජනතාවට වුවමනාම දේ දෙන ආණ්ඩුවක් කරන්ට් එක කපන්නෙත් ඔය අනං මනං නැති හින්දා කියල හිතනවට වඩා, ඇත්තටම ඒකෙන් ජනතාවගේ ජීවිත ආයෙමත් සුවපත් කරන්න, අපේ ජීවිත වල තාක්ෂණයත් එක්ක තියෙන ප්‍රශ්න නැති කරන්න කියලා හිතන එක වඩා හොඳ නැද්ද? ආන්න ඒ නිසා අපි හිතුවා, කරන්ට් කපනවට බණින්නේ නැතුව අපේ ජීවිත තව ලස්සන කරගන්න පුළුවන් පොයින්ට්ස් කීපයක් ගැන කතා කරන්න!

1. අපේ අතීත මුතුන් මිත්තෝ!

දැන් ඔය ශ්‍රී ලංකාවට විදුලිය හඳුන්වලා දුන්නේ 1890 ගණන් වල කියලනේ කියන්නේ. එංගලන්ත කිරීටය යටතේ සුද්දෝ ලංකාව පාලනය කරනකොට, මුලින්ම ඩීසල් ජෙනරේටරේකින් කොළඹ බ්‍රිස්ටල් හෝටලේ බිලියඩ් කාමරේ විදුලි බල්බයක්ලු දැල්වුණේ. හැබැයි ඊට කලින් අපි කොහොමද ජීවත් වුණේ? අඳුරෙද? නෑ. අපිට විදුලිබලය නොතිබුණත්, අපි එදිනෙදා වැඩ පළ කරගෙන ඉන්න ඉගෙන ගෙන හිටියා. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කුස්සියේ වැඩ කරගන්න දැන් නම්  ගෑස් කුකර්, රයිස් කුකර්, ඉලෙක්ට්‍රික් කෙට්ල්, බ්ලෙන්ඩර් වගේ එව්වා තියෙන්නම ඕන වෙලා තියෙනවා. ඇත්ත, ඒවැයින් සරස් බරස් ගාලා ස්විච් එකක් දාපු ගමන් වැඩේ කෙරෙනවා තමයි. හැබැයි ඉස්සර කුස්සියට ගෑස් තියා කරන්ට් එක වත් තිබුණෙ නෑ. හැබැයි අපේ මුතුන් මිත්තෝ ලස්සනට කුස්සියේ වැඩ ටික කරගත්තා. පොල් මිරිකගත්තා ගලේ. කපන කොටන ඒවා ඔක්කොම අතින් කරගත්තා. උයන පිහන එව්වා දරලිපේ කරගත්තා. ආයෙ කෑමත් දිව්‍යලෝක රහයි. උයන පිහන එකත් එක්තරා විදියකට භාවනාවක් වගේ. ඉස්සර අපේ මුතුන් මිත්තන්ට තිබුණෙ නෑනේ ඔය කරදහිය ලිපේ දාලා වගේ ඉක්මනට උයලා අරකට දුවන්න ඕන මේකට දුවන්න ඕන කියලා. ඉතින් නිවීහැනහිල්ලේ වැඩ ටික කරගන්න තමයි තිබුණේ. ආන්න බලන්න!

2. දින චරියාව

ඉස්සර, ඒ කියන්නේ ආදි කාලේ අපේ දින චරියාවන් සකස් වෙලා තිබුණෙත් සොබාවදර්මෙත් එක්ක. දැන් වගේ තාක්ෂණය, කරන්ට් එක මත යැපුණේ නෑ. දැන් තමයි අපි දවල් වෙනකල් නිදාගෙන ඉඳලා, මහ රෑ පාන්දර වෙනකල් ලයිට් දාගෙන ඇහැරගෙන ඉන්නේ. ඉස්සර උදේරැයින් නැගිටලා, මුහුණ කට එහෙම හෝදගෙන දවසේ මූලික වැඩ කටයුතු ටික පහන් එළියෙන්ම කරගන්නවා. අන්තිමට පොළවට පළවෙනි ඉරු රැස් වැටෙනකොට දවසේ වැඩ වලින් සෑහෙන්න කොටසකුත් කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ කාලා බීලා නිවීසැනසිල්ලේ අනික් වැඩ පොළ කරන්න යන්න. ඊට පස්සේ බිං කළුවර වැටෙන කොටම නා කියාගෙන, කාලා බීලා, ගෙදර අය එක්කත් සාමීචියේ යෙදිලා, හතරවටින් කරුවළ ගලාගෙන වැටෙනකොටම නින්දට යන්නයි තියෙන්නේ. ආයෙ හොඳ වෙලාවක් නිදාගන්නත් ලැබෙනවා. බලන්න ඔය දින චරියාව කොයි තරම් ඵලදායීද කියලා! 

3. ශරීර සෞඛ්‍යය

ඉස්සර අපේ මුතුන් මිත්තන්ගේ ආයු අපේක්ෂාව දැන් කාලේ තරම් වැඩි නැතුව ඇති. ඒක ඇත්ත. හැබැයි ඒකට හේතුව ඔය දැන් කාලේ බෙහෙත් හොයාගෙන තියෙන නොයෙකුත් ලෙඩ රෝග වලට එහෙම ඒ කාලේ හරිහමන් බෙහෙත් නොතිබුණු එක. එතකොට දැන් කාලේ වගේ මරණ වළක්වගන්න විද්‍යාව ඒ කාලේ දියුණු නැති එක. ඒ වගේම, සත්තු සරපයින්ගෙන් එහෙමත් දැන් කාලේ වගේ ආරක්ෂාවක් නොතිබීම වගේ කාරණා වෙන්න පුළුවන්. හැබැයි නිකමට හිතන්න. දැන් කාලේ වගේ ජීවත් වෙන කාලේ පුරාවට ලෙඩ රෝගත් එක්ක අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණාද? නැහැනේ. ආයෙ වයස ගියත් කරුංකා පළුවක් දතින් හපන්න පුළුවන්, කණ්ණාඩි කියලා ජාතියක් නැතත්, හැට පැනපු සීයෙක්ට වුණත් පහන් එළියෙන් බණ පොතක් කියවන්න පුළුවන් හොඳ ශරීර සෞඛ්‍යයක් අපේ මුතුන් මිත්තන්ට තිබ්බා. දැන් වගේ හැම වැඩක්ම කරන්ට් එකෙන් පටස් ගාලා කරගන්න අවශ්‍ය නොවුණු ඒ කාලේ හැම දෙයක්ම ශරීරය වෙහෙසවලා තමයි කළේ. එතකොට ශරීරයට අවශ්‍ය ව්‍යායාම ටිකත් අඩු නැතුව ලැබුණා. හොඳ නින්දකුත් හරි වෙලාවට ලැබුණා. එතකොට කෘත්‍රිම ආලෝකය එහෙම නැති නිසා, ඇස් වලටත් හොඳක් වුණා. ආන්න එහෙමයි ශරීර සෞඛ්‍යය හොඳින් තිබුණේ අපි හිතන විදියට.

4. පහන් එළියෙන්

කවදාහරි පොල් තෙල් පහනක එළියෙන් පොතක් පතක් කියෝලා තියෙනවද? හරි, පොල් තෙල් පහනකින් එන මන්දාලෝකය ඔය පොත් පත් කියවන්න වගේ දේවල් වලදී ඇස් වලට ඒ තරම් හොඳ නොවෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා. ඉස්සර ගම් වලට කරන්ට් කියලා දෙයක් නැති කාලේ වුණත්, ගෙවල් වල තිබුණේ පොල් තෙල් පහන් විතරක් නෙවෙයි. හොඳ ආලෝකයක් එන පැට්‍රෝල්මැක්ස් ලාම්පු එහෙමත් තිබුණා. ඒ වලින් ආයෙ ඕන දෙයක් කරන්න පුළුවන් තරමට එළියයි. අන්න ඒ නිසා, පොතක් පතක් කියෝගන්න ලයිට් තියෙන්නම ඕන කියලා දෙයක් නෑ. ඒ විතරක් නෙවෙයි, නිකමට හිතලා බලන්න. කරන්ට් ගියපු වෙලාවක මේසේ ඉටිපන්දම් පත්තු කරලා ගහලා දෙන්නත් එක්ක කෑමට වාඩි වෙන එක කොයි තරම් රොමෑන්ටික් ද කියලා. එතනම තියෙන්නේ තනිකර කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකක්. හා නැද්ද? දෙන්නගේ පොඩ්ඩක් පුරුද්දට ගියපු ලව් ලයිෆ් එකට වුණත් වෙනම රහක් හදාගන්න පුළුවන් ඒකෙන්! එහෙම හිතලා බලනකොට තේරෙනවද පහන් එළිය, ඉටිපන්දම් එළිය කොයි තරම් අපේ ජීවිත වලට සමීපයිද කියලා!  

5. පරිසර සුවතාවය

මතකද අර කොවිඩ්-19 දරුණුවටම තිබුණු කාලේ අපි ගෙවල් වලට කොටු වෙලා ලොක් ඩවුන් වුණහම, ගොඩක් අය පෝස්ට් දැම්මා ‘සොබාදම් අම්මා සුවපත් වෙනවා’ කියලා. ඒ ඉතින් මිනිස්සු ගෙවල් වලට කොටු වුණු හින්දනේ. හැබැයි හිතන්න, කරන්ට් කපන්න ගත්තහමත් පරිසරයට ඒ වගේම සෙතක් වෙන්නෙ නැද්ද කියලා. ඒ කියන්නේ ඔය ලොකු කම්හල්, ලොකු යන්ත්‍රසූත්‍ර එහෙම ක්‍රියාකරන එක තාවකාලිකව හරි අඩුවෙනවා කියන්නේ, පරිසරයට මුදාහැරෙන ඔය විෂ අනං මනං දේවල් එහෙමත් අඩු වෙනවා කියන එක නෙවෙයිද හා? ආන්න එතන තියෙන්නෙම පරිසර සුවතාවය.

6. පරිසරයට පෙම් බඳිමු

දැන් ඔය හොඳට කරන්ට් එක පැය විසිහතරෙම තිබුණු කාලෙ ගැන හිතන්නකෝ. කවුද කවද්ද එක පාරක් හරි ජීවිතේට ඉර උදාවක් දැකලා තියෙන්නේ? ඒ කියන්නේ අර ලා රත් පාට වුණු වළාකුළු අතරින්, හාත්පස පැතිරිලා තියෙන අඳුර ටිකෙන් ටික දුරු කරගෙන ඉර පායගෙන එන ලස්සන කවුද දැකලා තියෙන්නේ? එහෙම එකක් දකින්න නං ඉතින් ඔය සිරීපාදෙ ගිහින් ඉර සේවය බලන්න හරි, එහෙම නැතිනම් වෙන මොකක් හරි කන්දක් නැගලා ඉර උදාවෙන හැටි හරි බලන්න ඕන. හැබැයි ඒ අත්දැකීම ලැබෙන්නේ එහෙමත් කෙනෙකුට. එතකොට කවුද දැකලා තියෙන්නේ රාත්තිරියට කන්ද උඩින්, ගස් අස්සෙන් හඳ පායගෙන එන එකේ තියෙන සුන්දරත්වය? විදුලි බලයට හුරුවෙලා ඉන්න කෙනෙක් නං, රෑ බෝවෙද්දී ලයිට් දාගෙන කාමරේට වෙනවා මිසක් ඔය සොබාව සවුන්දර්යය දකින්නෙ නෑ. එතකොට ෆෑන් එක නැතිනං රස්නෙයි කියලා කන්කෙඳිරි ගාන කෙනෙක්, හවස් වරුවට නැතිනම් රාත්තිරියට පොඩ්ඩක් එළියට පහළියට බැහැලා, මල් සුවඳත් එක්ක එන සීතල මද නළ විඳලා තියෙනවද? ආන්න එහෙම අත්දැකීම් තියෙනකොට, අපි දන්නෙම නැතුව පරිසරයට ආදරය කරන්නත් පටන් ගන්නවා!

7. සහජීවනය

නිකමට හිතන්න ඉස්සර කරන්ට් අනං මනං නැති කාලේ අපිට ගෙදර මිනිස්සු එක්ක සතුටු සාමීචියේ යෙදිලා ඉන්න කොයි තරම් වෙලාව තිබුණද කියලා. දැන් කෝ ඒ වෙලාව? අපි කොච්චරවාත් කාමරේට වැදිලා, කම්පියුටර් දාගෙන එහෙම නැතිනම් ෆෝන් එකට එබීගෙන ඉන්නවා මිසක්, අපිට ගෙදර තව සාමාජිකයෙක් එක්ක හොඳ සතුටු සාමීචී වෙලාවක් ගෙවන්නවත් කාලයක් නෑ. එතකොට හිතන්න ඉස්සර ඔය ගමේ හැමෝම ගැම්මෙන් එකතුවෙන විවිධ අවස්ථාවන් ගැන. පංසලේ කඨිනයක් වෙන්න පුළුවන්, එතකොට පංසලේ වෙන්දේසියක් වෙන්න පුළුවන්, එතකොට තොවිල් පොළක් වෙන්න පුළුවන්. ඔය දේවල් එක්කත් වැඩිවුණේ මිනිස්සු මිනිස්සු අතරේ තියෙන සුහදතාවය සහ සහජීවනය තමයි. ඉතින් දැනුත් අපිට බැරිද ඒ අතීතය ආයෙමත් ප්‍රතිනිර්මාණය කරන්න? කොහොමත් දැනුත් කරන්ට් එක නැහැනේ. ඒ නිසා ඒ වෙලාව අපේ ගෙවල් වල අය එක්ක, අසල්වාසීන් එක්ක, ගම්වාසීන් එක්ක ගත කරන්න වෙලාව හදාගන්න බැරිද මං අහන්නේ?

දැන් පැහැදිළියි නේද? ජනතාවාදී රජයක් විදියට මේ ආණ්ඩුවෙන් ඕනම දෙයක් කරන්නේ සෑහෙන්න හිතලා මතලා. කරන්ට් එක අපේ වර්තමාන ජීවිත වලට අත්‍යාවශ්‍යයි කියලා අපිට හිතෙන්නෙත් ඔය විජාතික, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නිසා. හැබැයි අපිට පොඩ්ඩක් හිතලා බලලා කරන්ට් නැති ජීවිතයක ලස්සන මේ විදියට දැකගන්න පුළුවන් නම්, අපි මේ ඉන්න ලෝකේ තව ගොඩාක් ලස්සන වෙයි. දැන් එහෙම කියනකොටත්, “රස්නෙයි යකෝ!”, “වැඩක් පළක්වත් කරගන්න විදියක් නෑ යකෝ” කියලා හිතනවා නම්, අපි හිතන විදිය වෙනස් කරගන්න තමයි තියෙන්නේ!! හා නැද්ද? ඕන නං කියවලා බලන්න, කරන්ට් කපපු වෙලාවක විදුලිබල මණ්ඩලේට බණින්නේ නැතුව කරන්න පුළුවන් දේවල් ගැනත් මේ ආටිකල් එක!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *