හොලිවුඩය ජයගත් ඉන්දියානු​වෝ

ඉන්දියාවේ සිනමා කර්මාන්තය අති විශාලයි. රූපයෙන් මෙන්ම දක්ෂතාවයෙන් පිරිපුන් මානව සම්පතක් ඔවුන්ට තිබෙනවා. ඔවුන් ඒ හරහා තමන්ට ලබාගත හැකි උපරිම දේ ලබා ගන්නවා. අද වන විට බොලිවුඩ් සිනමාව හොලිවුඩය සමග තරඟ කරන මට්ටමට ඉදිරියට ගොස් තිබෙනවා. විශේෂයෙන් යුරෝපය තුළ බොලිවුඩ් උන්මාදයක් පවා ඇති වී තිබෙනවා. හොලිවුඩය තුළ වුණත් අද වෙනකොට ඉන්දියානුවන් බහුලව දකින්න ලැබෙනවා. මේ නිසා අපි අද ඔබට කියන්න යන්නේ හොලිවුඩය තුළ සාර්ථක වූ ඉන්දියානුවන් කිහිප දෙනෙක් පිළිබඳව තොරතුරුයි.

1. කුනාල් නායර් (Kunal Nayyar)

සුප්‍රකට “බිග් බෑන්ග් තියරි (Big Bang Theory)” මාලා නාටකයේ රාජ් ලෙස රඟපෑමෙන් විශාල ජනප්‍රියත්වයක් කුනාල් විසින් හිමිකරගත්තා. ෆෝබ්ස් සඟරාවට අනුව 2015 – 2018 කාලය තුළ ලෝකයේ වැඩිම මුදලක් ගෙවනු ලැබූ නළුවන් අතර තුන්වැනි ස්ථානයේ කුනාල් පසුවුණා. එසේම ඉන්දීය රූ රැජිණක් වන නේහා කපූර් සමග කුනාල් විවාහවීම වසරේ ප්‍රවෘත්තියක් බවටද පත්වුණා. එංගලන්තයේදී ඉන්දීය සංක්‍රමණික දෙමව්පියන්ට දාව උපත ලැබූ කුනාල්, ඔවුන් සමග යළිත් ඉන්දියාව බලා ගියේ සිය අධ්‍යාපන කටයුතු එහිදී සිදු කිරීමටයි. කෙසේ නමුත් උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණියා. එහිදී ඔහු කලා අංශයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.

2. ඇන්ටෝනියෝ ආකීල් (Antonio Aakeel)

එංගලන්තයේ උපත ලැබුවත් මෙම කඩවසම් නළුවාට තවමත් හින්දි සහ පන්ජාබ් යන භාෂා චතුර ලෙස කථා කිරීමේ හැකියාව පවතිනවා. 2018 වසරේ තිරගත කළ “Eaten by Lions” චිත්‍රපටිය ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ පළමු චිත්‍රපටය වනවා. ඉන්පසුව චිත්‍රපටි සහ රූපවාහිනී මාලා නාටක ගණනාවක ඔහු විවිධ චරිත නිරූපණය කළා. ඒ අතරින් “Tomb Raider” චිත්‍රපයට ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

3. ඩේරියන් අන්ගාඩි (Darien Angadi)

ඉන්දියාවේ මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධියක් ඉසිලූ කලාකරුවන් දෙපළකට දාව උපත ලැබූ ඩේරියන්ගේ ජීවිතය අවසානයේදී කෙළවර වුණේ ඛේදවාචකයකින්. ගායකයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු අනතුරුව නළුවෙකු බවටත් පත් වුණා. 1981 වසරේ දී ඔහු ගෙල වැලලා ගනිමින් සියදිවි හානිකර ගත්තේ සියළු දෙනාවම කම්පනයට ලක් කරමින්.

4. මැතිවු බෝස් (Mathew Bose)

හතළිස් හතර හැවිරිදි මෙම නළුවාගේ බාල කාලය ගෙවී ගියේ බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් අතර දෝලනය වෙමින්. ඔහු උසස් අධ්‍යාපනය හදාරද්දී තෝරාගත් විෂය වූයේ මනෝ විද්‍යාව වන අතර ඒ සඳහා පැමිණි ආචාර්යවරයාගේ මගපෙන්වීම යටතේ රංගනය පිළිබඳ පාඨමාලාවක් සඳහා ඔහු ඇතුළත් වුණා. ඔහුට අනුව ඔහු තමන් තුළ සිටි නළුවා හඳුනාගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. බ්‍රිතාන්‍ය සහ ඉතාලි නිෂ්පාදන කීපයක කුඩා චරිත රඟපෑ ඔහු “Emmerdale Farm” හි නිරූපණය කළ චරිතය හරහා විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගත්තා.

5. දේව් පාටෙල් (Dev Patel)

“Skins” නම් බ්‍රිතාන්‍ය කතා මාලාව සඳහා එක්වන විට දේව් පාටෙල්ට රංගනය පිළිබඳව කිසිදු අත්දැකීමක් තිබුණේ නැහැ. සිය මවගේ දැඩි ඉල්ලීම මත අදාළ කතාමාලාවේ තිර පරීක්ෂණ සඳහා ඔහු පෙනී සිටියා. කෙසේ නමුත් ඔහුගේ චිත්‍රපට ජීවිතයේ සංධිස්ථානය ලෙස “Slumdog Millionaire” චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්. ඔහුගේ රංගන හැකියාව බොහෝ විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද දැඩි ප්‍රසාදයට ලක් වුණා. මේ වන විට ඔහු තම පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන “Monkey Man” නෙට්ෆ්ලික්ස් සමාගම හරහා බෙදා හැරීමට සියළු කටයුතු සූදානම් කරමින් සිටිනවා.

6. රිකී නෝවුඩ් (Ricky Norwood)

කෙන්යානු සම්භවයක් සහිත ඉන්දීය මවකට සහ බ්‍රිතාන්‍ය ජාතික පියෙකුට දාව උපත ලැබූ රිකී වයස අවුරුදු 12 සිට රංගනය පිළිබඳ හැදෑරීම් කළ අයෙක්. වේදිකා නාට්‍ය වලින් රංගනයට අත්පොත් තැබූ ඔහු තම මිතුරන් කීපදෙනෙකු සමග එක් වී සමාගමක් පිහිටුවා වේදිකා නාට්‍ය කීපයක් ද නිෂ්පාදනය කිරීමට සමත් වුණා. “EastEnders” මාලා නාටකය හරහා විශාල ජනප්‍රියත්වයක් ඔහු අත්පත් කරගත්තත් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතැම් අවස්ථාවල ප්‍රේක්ෂකයන්ගේ විරෝධයටද ලක් වුණා.

7. හර්දීප් සිං කෝලි (Hardeep Singh Kohli)

ඔහු ක්ෂේත්‍රයට පිවිසියේ “Meet the Magoons” කතා මාලාව අධ්‍යක්ෂණය කොට එහි චරිත නිරූපණයක්ද ඉදිරිපත් කරමින්. කෙසේ නමුත් විචාරකයන්ගේ දැඩි විවේචනයට මෙය ලක් වුණා. පසුව ඔහු රූපවාහිනී මාධ්‍ය තුළ වැඩි වශයෙන් දකින්නට ලැබුනේ රියැලිටි ටීවී වැඩසටහන් හරහායි. ඒ නමුත් බොහෝ පිරිසකගේ මතය වන්නේ ඔහුගේ සම්පූර්ණ හැකියාවන් තවමත් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට ලැබුණේ නැති බවයි.

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *