බොලිවුඩයෙන් ඇසෙන රස කතා – 3 කොට​ස

ආයෙත් ඉතින් මේ ලිපි පෙළ ගැන අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ කියලා අපි හිතනවා. එහෙනම් අපි කෙලින්ම යං, බොලිවුඩයේ තවත් රස කතා එකතුවක් හොයාගෙන.

1. මෙයාව නම් ගැළපෙන්නේ නෑ

මේ කතාව කරන් ජොහාර් ප්‍රසිද්ධියේ කියූ කතාවක්. ඒ වගේම මේ පිළිබඳව ඔහු රන්වීර් සිං ගෙන් සමාවත් ඉල්ලුවා. කරන් කියන විදිහට රන්වීර්ව පළවෙනි වතාවට දකින්න ලැබෙද්දී ඔහු යශ්රාජ් චිත්‍රාගාරයට සම්බන්ධ විවේකාගාරයේ ටේබල් ටෙනිස් ක්‍රීඩා කරමිනුයි ඉඳලා තියෙන්නේ. රන්වීර්ව පෙන්නපු යාශ් චොප්රා සහ ආදිත්‍ය චොප්රා කරන්ට “මේ අපේ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා” කියලා කියා තියනවා. කරන්ට අවංකවම හිතලා තියෙන්නේ රන්වීර් එතරම් චිත්තාකර්ෂණීය නළුවෙක් නෙමෙයි කියලායි. ඒ වගේම තමන්ගෙ යාළුවො දෙන්නට අවවාදයක් විදිහට කරන් කියලා තියෙන්නේ රන්වීර්ව අයින් කරල වෙන හොඳ නළුවෙකු යොදා ගන්න කියලායි.

2. ෂාරුක් හදපු වචනය

ෂාරුක් ඛාන් විසින් ඉංග්‍රීසි භාෂාවට අලුත් වචනයක් එකතු කරලා තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? මේ වචනය තමයි “Demotional.” ෂාරුක් මේ වචනය භාවිතා කරලා තියෙන්නේ “Koffee with Karan” වැඩසටහනකදී. එහිදී එක්තරා අවස්ථාවක තමන් සංවේදී වුණු සහ හැමෝගෙන්ම වෙන්වෙලා ඉන්න තීරණය කරපු අවස්ථාවක් පිළිබඳව විස්තර කරද්දී ඔහු මේ වචනය භාවිතා කරලා තියෙනවා. අද වෙනකොට බොහෝ ඉන්දියානුවන් පිරිසක් සහ අන්තර්ජාලය භාවිතා කරන බොහෝ අය මෙම වචනය තමන්ගේ ශබ්දකෝෂ වලට එකතු කරගෙන තියෙනවා.

3. අක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නාගේ අමුතු පුරුදු

අක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නා යුවළ බොලිවුඩයේ සුප්‍රකට නළු නිළි අඹුසැමි යුවළක්. කලක් නම් දරාපු අනංගයෙකු වූ අක්ෂේ කුමාර් විවාහයෙන් පස්සේ තැන්පත් පුද්ගලයෙකු බවට පත්වනු ඇතැයි කිසිවෙකුත් විශ්වාස කළේ නැහැ. කොහොම නමුත් ට්වින්කල් ඛන්නා සාර්ථකව ඒ අභියෝගය ජයගත්තා. ඔවුන් කියන විදිහට සෑම සතියකම සෙනසුරාදා දිනයේ ඔවුන් දෙදෙනාම නිවාඩු නම් රාත්‍රී ආහාරය ගැනීම සඳහා ඔවුන් දන්නා අවන්හලකට යනවාලු. හැබැයි ඒ අවන්හලේදී ඔවුන් ගන්නා ආහාර වල බිල කවදාවත් රුපියල් 600 ඉක්මවා යන්නේ නැහැලු.

4. මුහුණ හෝදන්නෙ නැති අමීර් ඛාන්

අමීර් ඛාන්ව සැළකෙන්නේ සුප්‍රකට ඛාන් ත්‍රිමූර්තිය අතරින් තමන්ගේ රාජකාරිය සඳහා වැඩියෙන්ම කැපවෙන පුද්ගලයා විදිහටයි. ඇතැම් රසිකයන් විශ්වාස කරන විදිහට ඔහු ෂාරුක් ඛාන්ටත් වඩා දක්ෂයෙක්. වරක් “Ghulam” චිත්‍රපටියේ උද්වේගකර ජවනිකාවක නිරූපණය කිරීමේදී දහයක පමණ පිරිසකගෙන් පහරකෑමට අමීර්ට සිදු වුණා. මේ දර්ශනය හැකිතාක් තාත්විකව නිරූපණය කිරීමට ඔහුට අවශ්‍ය වූ අතර ඉන්පසු දර්ශනය රූගත කිරීමට තිබුණේ තව දවස් ගණනාවකට පසුවයි. චරිතය සාර්ථක කරගැනීම පිණිස අමීර් පළමු දිනයේ වේශ නිරූපණය සමඟ දූවිලි වැකුණු මුහුණ සහිතව දවස් 8ක් එක දිගට මුහුණ සේදීමෙන් වැළකී සිට තිබෙන අතර, ඒ හරහා ඊළඟ දර්ශනයට සීයට දෙසීයක සාධාරණයක් ඉෂ්ට කිරීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

5. පරිනීති චොප්රා ක්ෂේත්‍රයට ආ හැටි

 

යෂ්රාජ් චිත්‍රපටි සමාගමේ ප්‍රචාරක අංශයේ සේවය කරමින් හිටපු පරිනීති හට රංගන ක්ෂේත්‍රයට එක් වීමට ආශාවක් තිබුණු නමුත් ඊට යෂ්රාජ් සමාගමෙන් නිසි සහයෝගයක් ලැබී තිබුණේ නැහැ. එනිසා ඇය තීරණය කර තිබෙන්නේ තමන්ගේ රැකියාවෙන් ඉවත් වී රංගනය පිළිබඳව හැදෑරීමටයි. නමුත් ඇයගේ එම අදහස ගැන ඇසූ තවත් අයෙක් ඇගේ රංගනයක් ඇතුළත් දර්ශන කීපයක් පටිගත කොට යෂ්රාජ් සමාගමේ සභාපතිවරුන්ට යවන ලෙස ඇයට උපදෙස් ලබා දී තිබෙනවා. ඇය එසේ කළ අතර ඇගේ රංගනය දුටු පසුව එම නිලධාරීන් ඇයව චිත්‍රපටි සඳහා දායක කර ගැනීමට තීරණය කර තිබෙනවා.

6. Three Idiots චිත්‍රපටියේ බේබදු දර්ශනය

“Three Idiots” චිත්‍රපටිය නැරඹූ ඔබට එම චිත්‍රපටියේ අමීර්, මාධවන් සහ ශර්මාන් ජෝෂි බීමත්ව සිටින දර්ශනය මතක ඇති. චිත්‍රපටය රූගත කිරීමේදී මෙම දර්ශනය අවසානයට රූගත කිරීමට තිබූ අතර නළුවන් තිදෙනා ඇත්තටම බීමත් වීම නිසා චිත්‍රපටි දර්ශනය සඳහා තිබූ දළ සේයා පට ප්‍රමාණයද අවසන් වී තිබෙනවා. එම රාත්‍රියේ දළ සේයා පට මිලට ගැනීමට තැනක් නොතිබුණු නිසා ඒ ආසන්නයේ රූගත කෙරෙමින් තිබූ තවත් චිත්‍රපටියක කළමනාකරණ කණ්ඩායම හරහා දළ සේයා පට රැගෙනවිත් තමයි එම දර්ශනයේ ඉතිරි කොටස රූගත කොට තිබෙන්නේ.

7. ෂාරුක්ගේ ජීවිතය බේරා ගත් කාජල්

 

“දිල්වාලේ” චිත්‍රපටියේ එක් ගීත දර්ශනයක් රූගත කෙරුණේ අයිස්ලන්තයේයි. එහි දිය ඇල්ලක පසුබිමේ ෂාරුක් සහ කාජොල් නර්තනයේ නිරත වන අවස්ථාවේදී ශාරුක් ඛාන් ප්‍රපාතයකට ඇද වැටීමට ගොස් තිබෙන අතර ඒ අවස්ථාවේදී ඉදිරියට පැන්න කාජල් ඔහුව වැරෙන් බදාගෙන තිබෙනවා. ෂාරුක් ඛාන්ගේ ජීවිතය බේරී තිබෙන්නේ ඇගේ ඒ ක්ෂණික තීරණය නිසයි.

බොලිවුඩයෙන් ඇසෙන රස කතා – 1 කොට​ස

බොලිවුඩයෙන් ඇසෙන රස කතා – 2 කොට​ස

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *