ඇමරිකාවෙ ප්‍රසිද්ධ ටාකො බෙල් ශාඛාවක් ලංකාවෙ විවෘත කරලා කාලයක් ගිහින්. දැන් දැන් මේ මෙක්සිකන් කෑමට අපේ කට්ටියගෙ ඉල්ලීම වැඩි නිසාමද මන්දා ටාකෝස් කන්න තැන් කීපයක්ම කොළඹ සහ අවට තියෙනව. හැබැයි ඉතින් කොළඹට කිරි ගමට කැකිරි වගේ ටාකො එකක් කන්න කොළඹම එන්න එපැයි කියල හිතන අයට ඔන්න අපි අරන් ආවෙ ගෙදරදීම ටාකෝස් හදන් කන්න රෙසිපි එකක්.
1. මොනවද මේ ටාකෝස් කියන්නෙ?
හදන් කන්න කලින් මේ කෑම මොකක්ද කියල දැනගන්නත් එපැයි. ටාකෝස් කියන්නෙ තිරිඟු හෝ ඉරිඟු පිටි වලින් හදන රොටියක් මැදට ෆිලින් එකක් දාල කන සම්ප්‍රදායික මෙක්සිකානු කෑමක්. මේ රොටියට කියන්නෙ ටෝටියා කියලා. මෙක්සිකානු ස්වදේශිකයන් මේ ටෝටියා මැදට පොඩි මාළු වර්ගයක් දාල කන්න ගත්ත කියලත් ටාකෝස් වල ආරම්භය උනේ එහෙමයි කියලත් කියනව. තව කතාවක කියන්නෙ 19වෙනි ශතවර්ශයේදි රිදී පතල් ආශ්‍රිතව මේ කෑම බිහි උනා කියල. කොහොම උනත් කවුරුවත්ම ටාකෝ වල ආරම්භය ගැන පැහැදිලිව කියන්නෙ නෑ. කොහොම පටන්ගත්තත් මේවෙනකොට මේක ලෝකය පුරාම අතිශයින්ම ජනප්‍රිය කෑමක්.
2. ටාකෝස් හදන්න ටෝටියා හදල ඉමු
ටාකෝස් හදන්න නම් මුලින්ම ටෝටියා එක හදන්න ඕන. මේකට ඉරිඟු පිටි හෝ තිරිඟු පිටි දෙවර්ගයම පාවිච්චි කරන්න පුළුවන්. ඉරිඟු පිටි කිව්වෙ පොඟවා හොඳින් දිය බේරාගත් වියලි බඩඉරිඟු ඇට කුඩු කරල ගන්න පිටි වලට (Cornmeal). මේවා සුපිරි වෙලඳ සැල් වලින් මිලදී ගන්නත් පුළුවන් ගෙදර හදාගන්නත් පුළුවන්. ඉරිඟු පිටි කියල ඔන්න කෝන්ෆ්ලා එහෙම ගන්නව නෙවෙයි. තනිකර තිරිඟු පිටි නැත්නම් පාන් පිටි වලින් හදන ටෝටියා එකට වඩා සාම්ප්‍රදායිකව ටෝටියා එකට ඉරිඟු පිටිත් ඕන. අපි ඔය දෙවිදියටම හදමුකො.
ඉරිඟු පිටි ටෝටියා
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 1 1/2
- ඉරිඟු පිටි කප් 1 1/2
- බේකින් පව්ඩර් තේ හැඳි 2
- ලුණු තේ හැඳි 3/4
- උණු වතුර කප් 1
- වියළි ද්‍රව්‍ය සේරම හොඳින් මිශ්‍ර කරගන්න. ඒකට වතුර ටික ටික එකතු කරලා හොඳින් අනාගන්න.
- පිටි ඉසගත් මතු පිටක දාල හොඳින් අනාගන්න. මේක කොටස් 10කට හෝ 12කට කඩාගන්න.
- විනාඩි 15ක් විතර ලන්ච් ශීට් හෝ ක්ලින්ග් රැප් එකකින් වහල උණුසුම් තැනක තියන්න.
- ඊට පස්සෙ පිටි ඉහගත්ත ලෑල්ලක රෝලින් පින් එකකින් රවුමට තුනී කරගෙන නන්ස්ටික් පෑන් එකක දාලා දෙපැත්තම පුළුස්සා ගන්න.
තිරිඟු පිටි ටෝටියා
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි හෝ ආටා පිටි කප් 2
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- ලුණු තේ හැඳි 1/2
- ඔලිව් තෙල් මේස හැඳි 2
- උණු වතුර කප් 1/2 (අඩුවෙන් හෝ වැඩියෙන්)
- වියළි ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. ඒකට මුලින්ම ඔලිව් තෙල් දාල කලවම් කරගෙන පස්සෙ වතුර එක් කරලා හොඳින් අනාගන්න.
- පිටි ඉසගත් මතු පිටක දාල හොඳින් අනාගන්න. මේක කොටස් 10කට හෝ 12කට කඩාගන්න.
- උණුසුම් තැනක විනාඩි 15ක් විතර ලන්ච් ශීට් එකකින් හරි ක්ලින්ග් රැප් එකකින් හරි වහල තියන්න. කලින් වගේම තුනී කරන් දෙපැත්ත පුළුස්සගන්න.
3. ක්‍රිස්පි ටාකෝ ශෙල්ස්
කලින් හදපු ටෝටියා වලට ඕනෙම විදියක පිරවුමක් හදල හෝ ෆ්ලැට් බ්‍රෙඩ් එකක් විදියට ඕනම කරියක් එක්ක කැමති විදියකට කෑමට ගන්න පුළුවන්. මේ ටෝටියා වලින් ටාකෝස් හදාගන්න නම් ක්‍රිස්පි ටාකෝ ශෙල්ස් හදාගන්න ඕන. ඒක හරිම ලේසි වැඩක්.
රූපයේ පේන විදියට අවන් රැක් එකේ ටෝටියා ටික අසුර ගන්න.
සෙල්සියස් 180ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 8ත් 10ත් අතර කාලයක් බේක් කරගන්න.
ක්‍රිස්පි ටාකෝ ශෙල්ස් හදාගන්නවා නම් ටෝටිය හදනකොට ටෝටියා එක තැටියේ ගොඩක් පුළුස්සාගන්න එපා .
4. ටාකෝ ෆිලින්ග්ස්
කැමති ඕනෙම මස් වර්ගයක් නැත්නම් එළවළු වර්ගයක් මේ ටාකෝස් වල ෆිලින්ග් එකට දාගන්න පුළුවන්. මේ මස් හෝ එළවළු වර්ග වලට අමතරව ටාකෝස් වලට ග්වාකමෝලි, සල්සා, චීස් සහ සිහින්ව කපාගත් ළූණු, සලාද කොළ, ගෝවා සහ රාබු වැනි අමුවට හැපෙන දෙයක් අනිවාර්යයෙන්ම එකතු කරනව. මේ සියල්ලෙම එකතු උනාම තමයි රස පිරුණ ටාකෝ එකක් හැදෙන්නෙ.
සල්සා එකට අවශ්‍ය ද්‍රව්‍ය
- උණු වතුරේ දමා පොතු ඉවත් කරගත් තක්කලි 500g
- කොත්තමල්ලි කොළ අහුරක්
- ළූණු ගෙඩි 1/2
- හැලපිනෝ කරල් 2ක් හෝ කොළ බෙල්පෙපර් 1/2ක්
- සුදු ළූණු බික් 1
- දෙහි යුෂ මේස හැඳි 2
- ලුණු තේ හැඳි 1/2
- ළූණු, හැලපිනෝ හෝ බෙල්පෙපර් ටිකක් ලොකු කෑලි කපා ගන්න. මේ සේරම ද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩරයක දාලා යන්තම් කෑලි හිටින විදියට හරි සම්පූර්ණයෙන් බ්ලෙන්ඩ් වෙන විදියට හරි කැමැත්ත පරිදි බ්ලෙන්ඩ් කරගන්න.
- ලුණු සහ දෙහි රස අනුව එකතු කරගන්න. විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තියල කූල් කරගන්න.
ග්වාකමෝලි එකට අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අලි ගැටපේර ගෙඩියක මදය
- ලුණු තේ හැඳි 1/4
- ලෙමන් හෝ දෙහි යුශ තේ හැන්දක්
- චොප් කරගත් ළූණු මේස හැන්දක්
- ඇට ඉවත් කර චොප් කරගත් අමු මිරිස් කරලක්
- චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ඇට සහ පොත්ත ඉවත් කර චොප් කරගත් තක්කලි ගෙඩි ½
අලි ගැටපේර මදය ගෑරප්පුවකින් හොඳට පොඩි කරගන්න. ඉතුරු ද්‍රව්‍ය සේරම ඒකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ෆ්‍රිජ් එකේ පැයක් තියල ගන්න.
චීස්
චෙඩාර්, පාමසන්, මොසරැල්ලා, ෆෙටා, ස්විස් හෝ රිකොත්තා වගේ චීස් වර්ග ටාකෝස් වලට තමන්ගෙ කැමැත්ත අනුව දාගන්න පුළුවන්.
5. ටාකෝස්
ග්‍රිල් කරගත් හෝ BBQ කරගත් ඕනම මස් වර්ගයක් මේකට ගන්න පුළුවන්. මස් නොකන අයට එළවළු වර්ගයක්, මාළු නැත්නම් ටූනා ටාකෝ වලට ෆිලින් එකට ගන්න පුළුවන්.
පුල්ඩ් පෝක්, පුල්ඩ් චිකන්, පුල්ඩ් බීෆ්, ග්‍රවුන්ඩ් බීෆ්, ග්‍රවුන්ඩ් පෝක්, ග්‍රවුන්ඩ් චිකන් වගේ කටු රහිත, ඉතාම කුඩාවට හැපෙන මස් තමා පාවිච්චි කරන්න ඕන. මේක කැමති ආකාරයකට සකසා ගෙන ටාකෝ ශෙල් එකට පුරව ගන්න. මස්, මාළු හෝ එළවළු වර්ගයට උඩින් පිළිවෙලින් ග්වාකමෝලි, සල්සා, ළූණු/ ගෝවා/ සලාද කොළ දාගෙන අන්තිමටම චීස් එකතු කරගන්න.
එහෙනම් හදමුද ගෙදරදීම ටාකෝස්?
Leave a Reply