දැන් පිචර් එකක්, එහෙම නැතිනම් බයිස්කෝප් එකක්, එහෙම නැතිනම් ෆිල්ම් එකක් බලල නැති කෙනෙක් ඉන්න විදියක් නැහැනේ. දැන් ෆිල්ම් බලන්න ආස නැහැයි කිව්වත්, අඩු ගාණේ පුංචි කාලේ ජුරාසික් පාර්ක් හරි බලන්න ඇතිනේ. දැන් ඔය ෆිල්ම්ස් බලන උන්දැලා ගැන හිතුවොත් එහෙම, එක එක අය ආස කරන ෆිල්ම් වර්ග, එහෙම නැතිනම් ජොන්ර (genre) තියෙනවා. සමහරු ආසයි ඇක්ෂන් ෆිල්ම්ස් වලට. සමහරු හොරර් ෆිල්ම්ස් වලටයි රොමෑන්ටික් ෆිල්ම්ස් වලටයි කැමතියි. සමහරු කැමතියි ආට් හවුස් ෆිල්ම්ස්. තවත් සමහරු ඔය ක්ලැසික්ස් වලට, සම්භාව්‍ය චිත්‍රපටි වලට කැමතියි. ඔන්න ඔය වගේ එක එක විදියේ ෆිල්ම්ස්. හැබැයි ඉතින් දැන් ෆිල්ම්ස් වුණත් ඕනම පුද්ගලයෙක්ට තම තමන්ගේ කැමැත්ත සහ රුචිකත්වය අනුව හොඳ සහ නරක ෆිල්ම්ස් විදියට වර්ග කරන්න පුළුවන්.
හරි, දැන් ඇයි ඇත්තටම අපි ෆිල්ම්ස් බලන්නේ? හොඳ ෆිල්ම්ස් බලලා අපිට මොකද්ද ලැබෙන්නේ? ආන්න ඒක හොඳ ප්‍රශ්නයක්. අපිට හොඳ ෆිල්ම් එකක් බලලා ලැබෙන්නේ මොනවද කියන එක තමයි මේ කියන්න හදන්නේ.
1. සහකම්පනය ඉගෙන ගන්න හොඳයි
දැන් සාමාන්‍යයෙන් කියන දෙයක්නේ ෆිල්ම්ස් වල තියෙන දේවල් ඇත්ත ජීවිතේ නැහැයි කියලා. හැබැයි එහෙම වුණාට අපිට ජීවිතේ ගැන යම් යම් දේවල් චිත්‍රපටි වලින් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ආදරේ ගැන තියෙන සීනිබෝල චිත්‍රපටියක වුණත් අපිට ආදරේ ගැන දැනෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ආන්න ඒ විදියටම අපිට සහකම්පනය ගැනත් අපිට චිත්‍රපටි වලින් දැනෙන දේවල්, ඇත්ත ජීවිතේට ආදේශ කරගන්න පුළුවන්. අපි හිතමු චිත්‍රපටියක අම්මයි තාත්තයි නැති දරුවෙක්ට තව ළමයි ටිකක් විහිළු කරන විදිය, ඒ දරුවා ඒ නිසා දුක් වෙන විදිය පෙන්නනවා කියලා. අන්න එතකොට, ඒ වගේ අත්දැකීමක තියෙන දුක අපිටත් දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා, කවදාවත් අපි ඒ වගේ දෙයක් නොකරන්න, එහෙම දෙයක් සිදුවෙනකොට වුණත් ඒක වළක්වාගන්න, එහෙම දේකදී අනික් කෙනාට දැනෙන දුක අවබෝධ කරගන්න ඉගෙන ගන්නවා.
2. ස්ට්‍රෙස් එකට මරු
දැන් අපි වැඩ කරල කරල මහන්සි වෙලා ඉන්නකොට, වොෂ් එකක් එහෙම දාගෙන ඇවිත් ෆිල්ම් එකක් බලනකොට දැනෙන ෆීලින් එක කොහොමද? මාර ෆ්‍රෙෂ් නේද? ආන්න ඒක ෆිල්ම්ස් බලන එකේ තියෙන හොඳ දෙයක්. ෆිල්ම් එකක් බලනකොට අපි යතාර්ථයෙන් පොඩ්ඩකට ඈතකට ගිහින්, ෆිල්ම් එකේ තියෙන ෆැන්ටසි ලෝකෙකට මොහොතකට ඇතුළු වෙනවා. අපිට ඒ ෆිල්ම් එකේ තියෙන ෆැන්ටසි ලෝකේ මොහොතකට හරි ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපේ ස්ට්‍රෙස් එක ඒකෙන් රිලීස් වෙනවා. විශේෂයෙන්ම ඔය කොමඩි ෆිල්ම්ස් වලින් එහෙම ඔන්න ඔය දේ ඉතාම හොඳට සිද්ධ වෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. කොයි තරම් පීඩනයකින් හිටියත්, හොඳ එන්ඩ් එකක් තියෙන රොමෑන්ටික් ෆිල්ම් එකක් හරි, බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් කොමඩි එකක් හරි බැලුවහම ඒ ටෙන්ෂන් එක අඩු වෙලාම යනවා.
3. දේවල් ඉගෙන ගන්න ලැබෙනවා
ඇත්තටම චිත්‍රපටියකින් අපිට ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. විශේෂයෙන්ම පුංචි දරුවන්ට සහ තරුණ පරම්පරාවට හොඳ චිත්‍රපටි වලින් ජීවිතේ ගැන, ජීවත් වීම ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ෆිල්ම්ස් වල, විශේෂයෙනම් ඇක්ෂන් මූවීස් වල එහෙම පෙන්නන දේවල් ඇත්තටම ඇත්ත නෙවෙයිනේ. උදාහරණයක් විදියට කාර් එහෙම වේගෙන් එලවගෙන ගිහින් උඩින් පන්නන සීන්, වීදුරු කඩාගෙන ජනෙල් වලින් පනින සීන් එහෙම ඇත්තම තමයි කියලා ඇත්ත ජීවිතෙත් හිතුවොත් සෑහෙන්න අනතුරු කරගෙන තමයි නතර වෙන්නේ. හැබැයි ඇත්තටම චිත්‍රපටි වලින් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. හොඳම උදාහරණයක් තමයි “අ බියුටිෆුල් මයින්ඩ්” වගේ ෆිල්ම් එකක්. එතකොට ඔය ලෝක යුද්ධ සමය ගැන චිත්‍රපටියකින් ඒ කාලේ ගැන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ආයෙ ලොකු සයන්ටිෆික් දේවල් වලට යන්න ඕන නෑ. අඩු ගාණේ ලෝකේ තියෙන රටවල්, සංස්කෘතීන්, ආහාර පාන ගැන වුණත් පොඩි හරි දෙයක් ඉගෙන ගන්න ලැබෙන එක කොයිතරම් දෙයක්ද?
තව දෙයක්, දැන් කාලේ හැටියට අපි චිත්‍රපටියක් බලලා ලැට්වියා කියලා රටක රීගා කියන නගරේ දැක්කා කියමු. අපි කුතුහලේට ගිහින් සර්ච් කරලා බලනවා. ආන්න එතකොට අපිට අපේ දැනුම වැඩිදියුණු කරගන්න පුළුවන් ඒ ගැන. අන්න එහෙම දැනුම ලබාගන්න ඉඟි සපයාගන්නත් ෆිල්ම්ස් මරු.
4. භාෂා දැනුම දියුණු වෙන්න
දැන් අපිට සාමාන්‍යයෙන් “මුජේ මාෆ්කර්දෝ” කියලා කවුරුහරි කිව්වොත් තේරෙන්නෙ නැද්ද? තේරෙනවා. ඒ කියන්නේ මට සමාවෙන්න කියලා. ඉතින් කොහොමද අපි ඕක ඉගෙන ගත්තේ? මොකද අපි හින්දි ඉගෙනගෙන තියෙනවද? ෆිල්ම්ස් වලින් මචං ෆිල්ම්ස් වලින්. ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව අපිට සෑහෙන්න සමීප නිසාම, අපිට හින්දි ෆිල්ම්ස් වලින් හින්දි භාෂාවත් සමීප වෙලා තියෙනවා. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට ඉංග්‍රීසි ෆිල්ම්ස් එහෙම බලන්න කියන්නේ නිකංද? නෑ. ඒකෙන් ඇත්තටම අපේ භාෂා ඥාණය දියුණු වෙනවා. අපිට ඉංග්‍රීසි කතාව, උච්ඡාරණයන්, විවිධ ඉංග්‍රීසි යෙදුම් එහෙම පුරුදු වෙනවා. ආන්න ඒකත් චිත්‍රපටි බලන එකෙන් ලැබෙන වාසියක්.
5. රසවින්දනය තියුණු වෙනවා
මේකත් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක් දන්නවා හොඳ කලාකෘතියකින්, හොඳ සාහිත්‍ය නිර්මාණයකින්, හොඳ චිත්‍රපටියකින් අපේ රසවින්දනය දියුණු තියුණු වෙනවා කියන එක. හැබැයි ඇත්තටම මොකද්ද මේ රසවින්දනය දියුණු වෙනවා කියලා කියන්නේ? සරලවම කිවුවොත් ඒකෙන් අපිව සතුටු වෙනවා. ඒ කියන්නේ මොකක් හරි රසයක් වින්දනය කරනවා කියන එකනේ. හැබැයි ඇත්තටම රසවින්දනයෙන් ඊට වඩා එහා ගියපු දේකුත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හොඳ චිත්‍රපටියක් නරඹලා අපි ලබන රසවින්දනයෙන් අපේ මනස දියුණු වෙනවා, මනස තවත් උසස් තලයන්ට එසවෙනවා. ඒක එක්තරා විදියකට දාර්ශනික මට්ටමකින් වෙන්නත් පුළුවන්. අපිට ජීවිතය දිහා, මිනිස්සු දිහා, අපි ජීවත් වෙන ලෝකේ දිහා අලුත් මානයන්ගෙන්, අලුත් කෝණයන්ගෙන්, අලුත් ඇහැකින් බලන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, චිත්‍රපටියකින් මිනිස්සුන්ගේ මනස තුළ සිද්ධ කරන වෙනසත් එක්ක, සමාජ වෙනසකට පවා මඟ පෑදෙන්න පුළුවන්.
6. ජීවිතේ අසීරු දේවල් එක්ක ගනුදෙනු කරන්න උගන්වනවා
මේකත් ඇත්තටම උඩ කියපු විදියට හොඳ චිත්‍රපටියකින් ලබාගන්න පුළුවන් ජීවිත පාඩම්, ජීවන දර්ශනයන් එක්කම බැඳෙන කාරණාවක්. අපි කියමු ගෙදරම හැදුණු කෙනෙක් කියලා. එයාට සමාජය ගැන, ලෝකේ ගැන, මිනිස්සු ගැන ලොකු අවබෝධයක් නෑ. එහෙම අය ඉන්නවනේ. අන්න එහෙම කෙනෙක්ට ඇත්තටම හොඳ චිත්‍රපටි බැලීමෙන් සමාජය ගැන, ලෝකේ ගැන, මිනිස්සු ගැන ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම, ඒ අයට සමාජයත් එක්ක මුහුවෙන්න අනුප්‍රාණයක් ලැබෙනවා. අන්න ඒ දේවල් එක්ක, ඇත්තටම අපි ලෝකේ මුහුණ දෙන අසීරු අවස්ථාවන්ට වඩාත් සාර්ථකව මුහුණ දෙන්නත් හොඳ පන්නරයක්, අත්දැකීමක් ලැබෙනවා කියන්න පුළුවන්. උදාහරණයක් විදියට කිව්වොත්, අපිට සමාජ අසාධාරණය ගැන කතා කරන ෆිල්ම් එකක් බලලා, අපි එදිනෙදා ජීවිතේදී මුහුණ දෙන සමාජ අසාධාරණයකට ඥාණවන්තව මුහුණ දෙන්න හැකියාවක් ලබාගන්න පුළුවන්. අන්න ඒ වගේ.
7. දෙන්නගේ බැඳීම වර්ධනයට
කවදාහරි තමන් ආදරේ කරන කෙනත් එක්ක ෆිල්ම් එකක් බලල තියෙනවද? ඒකේ තියෙන්නේ වෙනම ආතල් එකක්. නෑ නෑ, අපි කියන්නේ බොක්ස් එකකට ගිහින් තමන්ගේ ෆිල්ම් එකක් එතන කරන එක නෙවෙයි. දෙන්නත් එක්ක අත් අල්ලගෙන නැතිනම් තුරුළු වෙලා ෆිල්ම් එක බලන එක. දෙන්නටම ෆීල් වෙන ෆිල්ම් එකක් නම් තවත් ආතල්. ඇත්තටම එහෙම දෙන්නටම සතුටෙන්, ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් කිරීමෙන්, දෙන්නගේ බැඳීමත් ශක්තිමත් වෙනවා. දෙන්නා කපල් එකක් කියන එක තවත් හොඳට දැනෙන්න පටන් ගන්නවා.
එහෙමනම් මොකද කියන්නේ? හොඳ ෆිල්ම් එකක් බලමුද? සමහර වෙලාවට තමන් ආස කරන ෆිල්ම් වර්ගේ නොවුණත්, පොදුවේ හොඳයි කියන්න පුළුවන් ෆිල්ම් එකක් බැලුවොත් අපි ඒ විදියේ ෆිල්ම්ස් වලට දිගටම කැමති වෙන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, වෙන බලපු හැම ෆිල්ම් එකකටම වැඩියෙන් අපි ඒ ෆිල්ම් එක රසවිඳින්නත් ඉඩ තියෙනවා. ඒ විදියේ ෆිල්ම්ස් ගැන අපි තව දවසක කතා කරමු!
Leave a Reply