ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හාමුදුරුවෝ අද අපේ රටේ වැඩවසන ජ්‍යෙෂ්ඨතම සංඝ පීතෘන්වහන්සේ නමක්. උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ භික්ෂූන්වහන්සේ නමක් වෙත පැවරී තිබෙන ඓතිහාසික වගකීම හඳුනාගත් කෙනෙක්. ඉතින් අපි හිතුවා උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳව කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න.
1. මල් පැලේ උපන් පන්සලේ පියතුමා
ඉත්තෑපානේ හාමුදුරුවෝ ලෝක ඉතිහාසයේ සුවිශේෂී වාර්තාවකට හිමිකම් කියනවා. ඒ තමයි කතෝලික පියතුමකුගේ චරිතාපදානය රචනා කරපු පළමු සහ එකම(?) භික්ෂූන්වහන්සේ බවට පත්වීම. ඒ උන්වහන්සේ “මල්පැලේ උපන් පන්සලේ පියතුමා” නමින් මර්සිලින් ජයකොඩි පියතුමාගේ චරිතාපදානය රචනා කිරීමෙන්. මර්සලින් ජයකොඩි පියතුමා අපේ රටේ කතෝලික සභාව දේශීයකරණය කිරීමට පුරෝගාමී මෙහෙවරක් කරපු උතුමෙක්. අපේ රටේ ඉතිහාසය සහ බුද්ධාගම අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳව ගෞරවයකින් කතා කරපු කෙනෙක්. ඒ වගේම එතුමා අපේ රටේ සිනමා කලාවට කරපු ඉදිරිගාමී මෙහෙවරත් අමතක කරන්න බැහැ.
2. බුදු බව පතන බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමි
බළන්ගොඩ නායක හාමුදුරුවෝ කියන්නේ අපේ රටේ සියවස් ගණනාවකට පමණක් පහළ වන මට්ටමේ සුවිශේෂී උතුමන්වහන්සේ නමක්. උන්වහන්සේ ජීවතුන් අතර වැඩ විසූ කාලයේදී ඉත්තෑපානේ හාමුදුරුවෝ බළන්ගොඩ මහනායක හාමුදුරුවන්ගේ චරිතාපදානය රචනා කළා. මේ චරිතාපදානය ලියවිලා තියෙන්නේ බළන්ගොඩ නායක හාමුදුරුවෝ කියපු දේවල්ම භාවිතා කරලා. ඒ හරහා බළන්ගොඩ නායක හාමුදුරුවන් පිළිබඳව නව කතිකාවතක් රට තුළ ඇති වුණා. ඒ වගේම අනාගතයේ බළන්ගොඩ නායක හාමුදුරුවෝ පිළිබඳව අධ්යයනය කරන කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් විශිෂ්ට මූලාශ්රයක් මේක.
3. පැවිදි පඬි මිණි පහන්
අපේ රටේ අතීතයේ වැඩ විසූ බොහෝ භික්ෂූන්වහන්සේගේ චරිත කතා නිසි පරිදි ලියවිලා නැහැ. අපිට උන්වහන්සේලා ඉගෙන ගත්ත විදිය, උන්වහන්සේලාගේ පවුල් පරිසරය වගේ දේවල් ගැන කිසිම දෙයක් ගැන දන ගන්න විදිහක් නෑ. ඇතැම් වෙලාවට උන්වහන්සේලාගේ පැවිදි ගුරුවරු ගැන පවා අපි දන්නෙ නැහැ. අතීතයේ සිදු වෙච්ච මේ අඩුපාඩුව මගහරින්න ඉත්තෑපානේ හාමුදුරුවෝ විශාල දායකත්වයක් ලබා දීලා තියනවා. ඒ තමයි “පැවිදි පඬි මිණි පහන්” පොත් පෙළ. බළන්ගොඩ හාමුදුරුවෝ ගැන වගේම මර්සලින් ජයකොඩි පියතුමා ගැන ලියවෙන්නේ මේ පොත් පෙළේ කොටස් දෙකක් විදිහට. ඒ වගේම රේරුකානේ චන්දවිමල හිමියන් පිළිබඳව සහ මාපලගම විපුලසාර හිමියන් පිළිබඳව රචනා කළ කෘති දෙක ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුමයි. නමුත් අවසන් කොටස්වල දී උන්වහන්සේ එක කෘතියක් තුළ ලංකාවේ වැඩ විසූ ප්රකට භික්ෂූන්වහන්සේලා සමඟ සිදුකළ සාකච්ඡා ඇසුරින් උන්වහන්සේලාගේ චරිතකතා පෙළගස්වලා තියෙනවා. ඒ සඳහාත් භාවිතා කරල තියෙන්නෙ කලින් කිව්වා වගේම කථන ශෛලියයි.
4. පට්ටියාරාමය පින් බිමක් කළ හාමුදුරුවෝ
ඉත්තෑපානේ හාමුදුරුවෝ වර්තමානයේ වැඩ වෙසෙන්නේ රුක්මලේ ධර්ම විජය විහාරයේ. උන්වහන්සේ එම විහාරයට වැඩම කරන විට එම විහාරයේ කලින් වාසය කරපු හාමුදුරුවෝ ගවපට්ටි පවා ඇති කරමින් මුදල් හම්බකරන ජීවිතයක් ගත කරපු කෙනෙක්. මේ නිසා ගම්වැසියන් එම විහාරයට කියලා තියෙන්නේ පට්ටියාරාමය කියලා. උන්වහන්සේ දැඩි දුෂ්කරතා මධ්යයේ මේ විහාරය ගොඩනගලා තියෙනවා. අද වෙනකොට මේ විහාරය හරහා විශාල ශාසනික මෙහෙවරක් සිදු වෙනවා.
5. ලොස් ඇන්ජලීස් මෛත්රී බෞද්ධ විහාරය
උන්වහන්සේගේ දායකයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ප්රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන පන්සලක් ඉදිකරන්න තීරණය කළා. නමුත් ඔහු එක කොන්දේසියක් පැනෙව්වා. ඒ තමයි ඔහු ඒ වැඩේ කරන්නේ ඉත්තෑපානේ හාමුදුරුවෝ ඇමරිකාවට වැඩම කරලා පන්සලේ වැඩ ඉන්නවා නම් විතරයි කියන එක. උන්වහන්සේ එම ඉල්ලීමට එකඟ වෙනවා. වසර පහක් තිස්සේ අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරනවා. අද වෙනකොට එම විහාරය උන්වහන්සේගේ ගෝල නමක් යටතේ පාලනය වෙනවා.
6. ගනිව් ඉත්තෑපානයා ගනිව්!
එක්සත් ජාතික පක්ෂ රජයේ සමයේදී එම රජය විසින් ගෙන ගිය දුර්දාන්ත පාලනයට එරෙහිව සිංහල බල මණ්ඩලය යටතේ සංවිධානය කළ රැස්වීමේ මුලසුන ගත්තේ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින්. එම රැස්වීමට කඩා පැන්න රජයේ මැරවරයන් එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට පහර දුන් අතර “ගනිව් ඉත්තෑපානයා ගනිව්” කියමින් ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට ද පහර දීමට උත්සාහ කළා. කෙසේ නමුත් මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සරච්චන්ද්‍ර මහතා බේරා ගැනීමට කටයුතු කළා.
7. ජාතික සංඝ සභාව
ඉත්තැපානේ ධම්මාලංකාර හිමියන්, මාදුළුවාවේ සෝභිත හිමියන්, බෙල්ලන්විල විමලරත්න හිමියන් වැනි හිමිවරු ජාතික සංඝ සභාව පිහිටුවා රටේ ජාතික සහ ශාසනික ප්රශ්න සඳහා සුවිශාල මැදිහත්වීමක් සිදුකළා. බොහෝ පිරිස් ජාතික සංඝ සභාව රටේ සැලකිය යුතු වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියා. නමුත් අවාසනාවකට මෙන් එම සංඝ සභාවේ සාමාජිකයන්ව සිටි අතුරලියේ රතන හිමි වැනි පිරිස් එම සංඝ සභාවෙන් කැඩී ගොස් ජාතික සංඝ සම්මේලනය පිහිටුවා දේශපාලන ගමනක් ආරම්භ කළා. මේ නිසා අපේ රටේ භික්ෂූන් වහන්සේට සිදුකළ හැකිව තිබූ විශාල පරිවර්තනයක් අඩපණව ගියා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply