රැකියා ස්ථාන​යේ සන්නිවේදනය අවුල් වීමේ අවාසි

සන්නිවේදනය කියන්නේ ෆෝන් එකෙන් කතාකරන එක විතරක් නෙමෙයි. අදහස් ගලායෑම, අදහස් පැතිරීම කියන සම්පූර්ණ ක්‍රියාදාමයම සන්නිවේදනය විදිහට හඳුනාගන්නට පුළුවන්. ආයතනයක සන්නිවේදනය කියන එක ඉතාම හොඳින් නඩත්තු කරන්න ඕනි දෙයක්. සන්නිවේදන දුබලතා තිබීමෙන් ආයතනයකට ඉලක්ක වලට යන්න අමාරු වෙනවා.

 

 

1. වරදවා වටහාගැනීම්

හොඳට සන්නිවේදනය කරන්න අවස්ථාවක් නැති වුණාට පස්සේ වරදවා වටහා ගැනීම් ඇතිවෙනවා. ආයතනය මගින් ගන්නා තීරණ ගැන සැක පහළ වෙනවා. ඒ සැක තව තවත් ඔඩු දුවලා කටකතා බවට පත් වෙනවා. ඒ කටකතා ආයතයට දැඩි බලපෑමක්. ඇතැම් වෙලාවට කිසිම පදනමක් නැති කතා විශ්වාස කරන ආයතන සේවකයින් නිර්මාණය වෙන්නේ ආයතනයේ සන්නිවේදනයේ තියෙන දුර්වලතාවයන් නිසා.

 

 

2. අවස්ථා අහිමි වීම

ඉස්සර වගේ දැන් අපි භාණ්ඩයක්, සේවාවක් ලබාදෙනකල් පාරිභෝගිකයා මග බලාගෙන ඉන්නේ නැහැ. පාරිභෝගිකයින් ඩැහැගන්න ලොකු ගේම් එකක්, තරඟයක් තියෙන්නේ. ඒ වගේ වෙලාවට සන්නිවේදනය ආයතනය තුළ බිඳ වැටුණොත් ඒ අවස්ථා මිස් වෙනවා. අපි හිතමු මාකටින් කණ්ඩායම යම් දෙයක අලුත් විශේෂාංගයක් තිබුණොත් හොඳයි කියලා පාරිභෝගික අදහස් මත යෝජනා කරනවා කියල. ඒ අදහස තාක්ෂණික කණ්ඩායම් සහ කළමනාකාරීත්වයට සන්නිවේදනය වුණේ නැතිනම් තරඟකාරී වෙළඳපොළ තුළ අපේ සේවාව, භාණ්ඩය ප්‍රතික්ෂේප වෙනවා. අවස්ථා මගහැරෙනවා.

 

 

3. අනවශ්‍ය රණ්ඩු දබර

හොඳ සන්නිවේදනයක් තියෙන ආයතන වල අදහස් හරහා ගනුදෙනු කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ කියන්නේ කතා බහින්, චැට් වලින්, මැසේජ් වලින් වැඩ ගොඩදාගන්න පුළුවන් වෙන්න ඕනි. එතකොට තවදුරටත් සේවකයෝ අතර වෛර බැඳීම්, ආයතනය සහ සේවකයින් අතර ගැටීම් ආදිය ලොකුවට ඉතිරි වෙන්නේ නැහැ. එවිට ආයතනයත් සේවකයනුත් අතර හොඳ සුහදතාවක් වර්ධනය වෙනවා.

 

 

4. අවිශ්වාසය

අපි බස් එකේ, දුම්රියේ යද්දි හමුවෙන වැඩකරන අය බොහොමයකින් ඇහුවොත් ආයතනය ගැන ඔවුන්ට අවිශ්වාසයක් තියෙනවා. ආයතන ප්‍රධානීන් කොපමණ පොරොන්දු වුණත් සේවකයින්ට, පාරිභෝගිකයින්ට, වැඩට සම්බන්ධ වෙන අයට විශ්වාසය ඇතිවෙන්නේ නැහැ. එය සන්නිවේදන දුබලතාවයක්. යම් භාණ්ඩයක්, සේවාවක් මිලදී ගන්න පාරිභෝගිකයාට මුලින්ම ඒ භාණ්ඩය ගැන මොහොතකට හරි විශ්වාසය ඇතිවන්නට ඕනි. ඒ විශ්වාසය ඔහුට යවන්න නම් ඒ සඳහා ආයතනයේ සේවකයින් තුළත් විශ්වාසය ගොඩ නැගෙන්නට ඕනි.

 

 

5. උද්යෝගය අඩු වීම

අසුවල් කිරිපිටි ජාතිය උදේට බිව්වා කියලා බලය, ජවය, ශක්තිය හැමදාම උදේට ලැබෙන්නෙ නැහැ. මිනිස්සු විදිහට අපිට රැකියාවට යන්න, වැඩ කරන්න යම් ජවයක්, ශක්තියක් අවශ්‍යයයි. වම්පැත්තේ තියෙන ෆයිල් ටික දකුණු පැත්තට කල පළියට දැන් ආයතන දියුණු වෙන්නේ නැහැ. ඒකට ඒ සඳහා යම් කැපවීමක්, උණක් සේවකයින්ට තියෙන්නට ඕනි. ඒ ශක්තිය උද්යෝගය ආයතනය තුළ සන්නිවේදනය අඩු වුණාම බිඳ වැටෙනවා. “අනේ මම මොකටද මහන්සි වෙන්නේ? මගේ කිසි අගයක් නැහැ නේ?” කියන අදහස සේවකයාට යනවා සන්නිවේදනය හරිහැටි වුණේ නැතිනම්.

 

 

6. වෙනත් සන්නිවේදන ජාල බිහිවීම

අද තාක්ෂණයේ දියුණුවත් එක්ක ගෲප් එකකට සන්නිවේදනය කරගන්න වට්සැප් එකක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. ඉන් පස්සේ ඔය ගෲප් එක හරහා ආයතනය ගැනත් කතා වෙනවා. ඒ වගේ විවිධ ආකාරයට ආයතනය තුළ කණ්ඩායම් එකතු වී සිටිනවා. මේ හැම කණ්‌ඩායමකටම ප්‍රතිචාර දක්වලා ඒ ඒ අදහස් වලට වේදිකාවක් හදලා දුන්නේ නැතිනම් ආයතනය තුළ විවිධ කණ්ඩායම් මතුවීම වළක්වන්න බැරිවෙනවා.

 

 

7. ආයතනික සංස්කෘතිය බිඳ වැටීම

ආයතනයක් තුළ තියෙන්නේ යන්ත්‍ර සහ මිනිසුන් පමණක් නෙමෙයි. ආයතනයක් වුණාම ඒකට අනන්‍ය වූ සංස්කෘතික වටපිටාවක් ආයතනය මගින් ගොඩ නැගෙනවා. ඉන් පසු ඒ තත්ත්වය නඩත්තු කිරීම ආයතනයට වාසියක්. ඉතින් ආයතනයක් තුළ මේ ආයතනික සංස්කෘතිය පවත්වාගෙන යන්නට අමාරුයි සන්නිවේදනය නැතුව. අලුතින් සේවයට පැමිණෙන සේවකයා ආයතනය ගැන දන්නේ නැතිනම්, ඔහුට සන්නිවේදනය වෙන්නේ නැතිනම් ඔහු ආයතනික සංස්කෘතියට අනුගත වෙන්නේ නැහැ.

 

ලංකාවේ බැලුවොත් බොහෝ ආයතන වල ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අතර වෘත්තීය සමිති ගැටළු, සේවක ගැටළු ආදිය මුල්තැනක් ගන්නවා. මේ හැම ප්‍රශ්නයක්ම ආයතනයේ සන්නිවේදනය දියුණු කිරීමෙන් යම් තත්ත්වයකට ගන්න පුළුවන්. ආයතනය කෙලින්ම සේවකයාට තමුන්ගේ දායකත්වය ගැන වගකීමක් නැති වෙද්දි ඒ තැන වෙනත් වෘත්තීය සමිති, දේශපාලන කණ්ඩායම් වලින් ඩැහැගන්නවා. ඉන් පසු ආයතනයට සිය රාජකාරි වලට අමතරව ඒවා සමගත් සටන් කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ආයතනයක් තුළ නිසි ආකාරයෙන් සන්නිවේදනය දියුණු කරන එක බොහොම වැදගත් කාර්යයක් වෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *