කතෝලික සහ ක්රිස්තියානි සම්ප්රදාය තුළ සුර දූතයන් පිළිබඳව විශ්වාසයක් පවතිනවා. බයිබලයේ සුර දූතයන් කීප දෙනෙකු පිළිබඳව සඳහන් වන අතර වර්තමානයේදී ප්රධාන සුර දූතයන් හතක් සිටින බව විශ්වාස කෙරෙනවා. අපි අද ඔබට එම සුර දූතයන් හත් දෙනා පිළිබඳව කෙටි සටහනක් ගෙන එන්න තීරණය කළා. සමහර විට මේ සුර දූතයන් හත් දෙනාගේ නම් ඔබ දැන සිටින සුර දූතයන්ට වඩා මඳක් වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ එකෙක් සම්ප්රදායයන් වල සුරදූතයන් සඳහා තරමක් වෙනස් නම් භාවිතා වීම. ඒ පිළිබඳව ඔබට වෙනස් අදහස් පවතී නම් comment එකක් මගින් ඒ පිළිබඳව අපිව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.
1. මයිකල් (Michael)
සියලු සුර දූතයන් අතරින් අග්රතම සුර දූතයා ලෙස සැලකෙන්නේ මයිකල් නම් සුරදූතයායි. ඔහුගේ නමෙහි තේරුම “දෙවියන් වහන්සේට සමාන තැනැත්තා” යන අර්ථය ලබාදෙන බව කියවෙනවා. ඒ වගේම ඇතැම් සම්ප්රදායයන් වලදී මෙම සුරදූතයාව සාන්තුවරයෙකු ලෙසත් හැඳින්වෙනවා. දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද පළමු සුර දූතයා වන ඔහු දේව හමුදාවේ ප්රධානියාද වනවා. මේ නිසාම සාතන් සමඟ නොනවතින අරගලයක ඔහු නිරත වනවා. ඇතැම් ප්රවාද වලට අනුව මයිකල් සහ පසුව සාතන් ලෙස හැඳින්වෙන ලුසිෆර් නිවුන් සහෝදරයන් වනවා.
2. ගේබ්රියෙල් (Gabriel)
“දෙවියන් වහන්සේ මාගේ ශක්තිය” යන අර්ථය ලබාදෙන නමකින් යුක්ත ගේබ්රියෙල් සුරදූතයා දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවකු ලෙසද කටයුතු කරනවා. සුරදූතයන් අතර මයිකල්ට පමණක් ජ්යෙෂ්ඨත්වයෙන් ඔහු පහළ සිටිනවා. දෙවියන් වහන්සේගේ වම් පස සිටින ගේබ්රියල් සුරදූතයා මයිකල් සුරදූතයා සමග ඊශ්රායලයේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන බව සඳහන් වනවා. ඒ වගේම ලුසිෆර් දෙවියන් වහන්සේට එරෙහිව කැරලි ගසද්දී එයට විරෝධය පළ කරමින් මයිකල් සමඟ ගේබ්රියල් ඔහුට එරෙහිව යුද වැදුනා.
3. රෆායෙල් (Raphael)
කිතුණු සම්ප්රදායේ සඳහන් වන ආකාරයට පාරාදීසේ පැවති ජීවන වෘක්ෂයේ ආරක්ෂකයා ලෙස කටයුතු කළේ රෆායෙල් දේවදූතයායි. එසේම ඔහු සංචාරකයන්ගේ, අන්ධ පුද්ගලයන්ගේ, වෛද්යවරුන්ගේ, හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂක දේව දූතයා ලෙස ද කටයුතු කරනවා. බයිබලයේ ඇතැම් තැන්වල නමක් නොමැතිව පෙනී සිටින දේව දූතයා වන්නේ ද රෆායෙල් දේව දූතයා බවට විශ්වාසයක් පවතිනවා.
4. යූරියෙල් (Uriel)
ඥානයට සහ දැනුමට අධිපති සුර දූතයා වන යූරියෙල් දේවදූතයාගේ නමෙහි තේරුම “දෙවියන් වහන්සේගේ ආලෝකය” වන බව කියවෙනවා. මධ්යතන යුගයේදී මෙම දේවදූතයා පිළිබඳව විශ්වාසය ඉහළ ගිය අතර විවිධ කලා නිර්මාණ වල පොතක් හෝ ගිනිගෙන දිලිසෙන පන්දමක් අතට ගත් සුර දූතයෙකු ආකාරයට ඔහුව සංකේතවත් කෙරුණා.
5. ජෝෆියෙල් (Jophiel)
ඉතාමත් රූපශ්රීයෙන් ඉහළ සුර දූතයෙකු වන මොහු ඇතැම් අවස්ථාවල සුරදූතියක ලෙසද නිරූපණය වනවා. කෙසේ නමුත් පුරාණ බයිබල් සම්ප්රදාය තුළ නම් සුර දූතයන් තුළ ස්ත්රී පුරුෂ භේදයක් විස්තර කොට නැහැ. එසේම දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔත්තු සේවයක ජෝෆියෙල් නිරතවන බවටද විශ්වාසයක් පවතිනවා.
6. කාමෙල් (Camael)
ඇතැම් කිතුණු සම්ප්රදායයන් වල දැක්වෙන ආකාරයට මෙම දේවදූතයාගේ නමෙහි තේරුම වන්නේ “දෙවියන් වහන්සේගේ කෝපය” යන්නයි. දෙවියන් වහන්සේගේ විනිශ්චයකරු ලෙස ද ඔහු ක්රියා කරන බව කියනවා. එසේම ලෝකයේ ජීවත් වන සියළු ආත්මවල තොරතුරු එක් රැස් කිරීම සිදුකරනු ලබන්නේ මෙම දේවදූතයා විසින් බව සඳහන් වනවා.
7. සැඩ්කියෙල් (Zadkiel)
සමාව පිරිනැමීමේ දේව දූතයා ලෙස සැලකෙන සැඩ්කියෙල්, දෙවියන්වහන්සේ සහ මිනිසා අතර පණිවිඩකරුවෙකු ලෙස ක්රියා කරන බව දැක්වෙනවා. යම්කිසි පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටීමට අවශ්‍ය නම් ඒ සඳහා සැඩ්කියෙල්ව මැදිහත් කර ගැනීමට හැකියාව පවතිනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මෙය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ මෙම දේවදූතයන් පිළිබඳව දන්නා කරුණු මීට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා නම්, ආරම්භයේ දී සඳහන් කළා වගේම ඒ පිළිබඳව තොරතුරු අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.
Leave a Reply