මැච් එකක් බලනකොට බීලා, කෑ ගහලා, හූ තියලා ඒ ෆන් එක ගන්නකොට සමහර අය කියන්නේ “හයියෝ… කිසිම හැදියාවක් නැහැ. ඕක මහත්වරුන්ගේ ක්‍රීඩාවනෙ. මොකද මේ ඒකත් කන්න යන්නේ?” කියලායි. ඒත් මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෝකෙට හඳුන්වා දුන්න රටේ ඒ ක්‍රීඩාවෙන් ෆන් ගන්නම ඉපදුණු සෙට් එකක් තමයි බාමි ආමි කියන්නෙ. අපි අද එයාල ගැන විස්තර දැනගමු.
1. මයික් ඇතර්ටන්ගේ සිට ජෝ රූට් දක්වා
බාමි ආමි එක මුලින්ම ඇතිවෙන්නේ ඔස්ට්‍රේලියාවෙදි. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර 1994 දී පැවැත්වෙන අළුබඳුන තරඟාවලිය රටවල් දෙකේ ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන තරඟාවලියක්. ඉතින් මේ තරඟාවලියේදි තම කණ්ඩායම දිරිමත් කරන්න ආපු එංගලන්ත ප්රේක්ෂකයෙක් එකම වර්ගයේ ටී ෂර්ට් 50ක බාමි ආමි කියලා නම ගහගෙන එනවා. ඒ ටී ෂර්ට් උණු කැවුම් වගේ විකිණෙන්න පටන් ගන්නවා. ඉන් පස්සේ තව ටීෂර්ට් ගහන්නත් ඔවුන්ට සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි එංගලන්ත ක්‍රිකට් එක්ක ඒ පස්සෙන්ම නැට්ට වගේ යන, ගිහින් චියර් කරන බාමි ආමි සෙට් එක බිහි වෙන්නෙ.
2. බාමි ආමිල ඉතින් මොකද කරන්නේ?
හරි සරලයි. ඔයාල දන්නවනේ අපේ බිග් මැච් කාලෙට අපේ කොල්ලො ගන්න ආතල් එක. ආන්න ඒ වගේ ෆන් එකක් ක්‍රමවත්ව, විධිමත්ව ගන්න ගමන් ප්‍රේක්ෂක සෙට් එකක් විදිහට ලොකු ජයග්‍රහණ ලබාගන්න බාමි ආමිල සමත් වෙනවා. යම් රටකට එනවිට එංගලන්තයේ සිට එරටට ගුවන් ටිකට් පත් සකස් කිරීම, හෝටල වෙන් කිරීම, ක්‍රිඩාංගන වලට ඇතුළුවීමට ප්‍රවේශපත් ලබා ගැනීම වගේම දිරිමත් කිරීමටත් බාමි ආමිලාගේ සෙට් එකට විශේෂ හැකියාවන් තියෙනවා. කොටින්ම එංගලන්තයේ ඉන්න කෙනෙක්ට ලංකාවට ඇවිත් තනියම මැච් එක බලනවාට වඩා බාමි ආමි සෙට් එක එක්ක එන එකේ ලොකු වාසි තියෙනවා.
3. බාමි ආමිලාගේ ආතල් සෙට් එක
එයාල ක්‍රීඩකයින්ට ඒ ඒ වෙලාවට ගායනා කරන සිංදු හදලා තියෙනවා. ඒ වගේම එයාලගෙත් ට්‍රම්පට් බුවාල ඉන්නවා. එයාලට ටෙස්ට් මැච් ද, ටී ටුවෙන්ටිද අදාළ නැහැ. එංගලන්තය ගහන හැම මැච් එකකටම වගේ යනවා. පහුගිය දවස්වල මැච් බැලුවා නම් එයාල බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට ගිය ටුවර් එකට සහභාගි වුණා ඔයාල දකින්න ඇති. බියර් බිබී, කෑම කකා, කමිස ගලවාගෙන කෑ ගසමින් ප්‍රේක්ෂකාගාරය තුළ වෙනමම ආතල් එකක් ගන්න එහිදීත් ඔවුන් සමත් වුණා.
4. ලංකාවට තියෙන වැදගත්කම
2020 දී පවත්වන්නට නියමිතව තිබුණු එංගලන්ත තරඟාවලියක් 2021 වසරට කල් ගියා. ඒ වෙලාවේ 1,600ක විතර බාමි ආමි එකේ සෙට් එකක් මැච් බලන්න ලංකාවට එන්න ලෑස්ති පිට ඉඳලා හිටියා. ඒක ලංකාව වගේ රටක සංචාරක කර්මාන්තයට ලොකු තල්ලුවක්. සාමාන්‍යයෙන් 1,600ක් කියන්නේ කට කපලා ගුවන් යානා 5ක විතර එන්න ඕනි ලොකු සෙට් එකක්. ඒ වගේම බාමි ආමිලා මැච් බලන එක විතරක් නෙමෙයි, ක්‍රිකට් වෙනුවෙන් සහ වෙනත් ප්‍රජා සත්කාර වෙනුවෙනුත් පෙනී ඉන්නවා. ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩ ලංකාවෙත් ක්‍රියාත්මක වෙලා තියෙනවා.
5. ෂර්ට් ගලවන්න තහනම් වූ බාමි ආමි
2012 දී බාමි ආමිලා ගියා පාකිස්තානේ එක්ක තියෙන එංගලන්ත මැච් එකකදී එයාලගේ ටීම් එක දිරිමත් කරන්න. කාලෙක ඉඳලා පාකිස්තානේ මැච් ගහන්නේ නැහැනේ. ඉතින් අබුඩාබි වල තමයි තරඟය පැවැත්වුණේ. තරඟයට ක්‍රීඩාංගනයට යනකොට “අබුඩාබියේදී අප සතුව ඇත්තේ සරළ ඇඳුම් පිළිවෙළක්. කරුණාකර ඔබ ඔබේ ඇඳුම් උනා දැමීමෙන් වළකින්න” කියලා දැන්වීමක් ඔවුන් දකිනවා. හැබැයි ඒක දැකලා බාමි ආමි එක ආමි සීන් දාන්න ගියේ නැහැ. ඔවුන් ඒ ඉල්ලීමට එකඟ වෙලා ඇඳුම් ගලවන්නේ නැතුව ක්‍රීඩා ලෝලීන් ලෙස සිය කණ්ඩායම දිරිමත් කළා.
6. ලංකාවේ ප්‍රේක්ෂක සෙට් එක
බාමි ආමිල විතරක් නෙමෙයි අපෙත් හොඳ කොල්ලො සෙට් එකක් ඉන්නවා ලංකාවට චියර් කරන්න. ඔසී බේස් මේ ටීම් එකත් 2002 විතර ඉඳලා ඕස්ට්‍රේලියාවේදි ලංකාව ක්‍රිකට් තරඟවලට ක්‍රීඩා කරන වෙලාවට ඇවිත් චියර් කරනවා. ඒ අයට 2015 ලෝක කුසලානයට සහභාගී වෙන්න අයි සී සී එකේ අනුමැතියත් හිමි වුණා. ඉතින් 2002 දී ඕස්ට්‍රේලියාවෙදි එංගලන්තය සහ ලංකාව සහභාගි වුණ තරඟාවලියක් පැවැත්වුණා. ඒකෙන් ලංකාව පරදිනවා. ඒත් ඒක දකින එංගලන්තයේ බාමි ආමි සෙට් එක “උඹල මැච් එක ලොස් වුණත් මාර ෆන් එකක් නේ ගන්නේ ” කියලා අපේ පපර බෑන්ඩ් ටීම් එක දිරිමත් කළ බව සඳහන් වෙනවා.
7. ලංකාවේ තනි වූ බාමි ආමියා
මේ කියන්නේ ලුවිස් ගැන. ලුවිස් දැන් ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ද කියලා හිතෙන තරමට ඔහු ලංකාවට ලැදියි. ලුවිස් 2021දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ මාධ්‍ය වලට ලොකු චරිතයක් වෙනවා. ඒ වගේම ඒ මැච් සෙට් එක එංගලන්තය දින්නට පස්සේ එවකට එංගලන්ත නායකයා මැච් එක බලන්න ආපු රොබට් ලුවිස්ට විශේෂ ආචාරයක්ද පුද කරනවා. ලුවිස් ලංකාවට ඇවිත් හිටියත් 2020 දී කොරෝනා අර්බුදය එක නිසා මැච් කල් ගියා. රටවල් අතර ගමනාගමනය තහනම් වුණා. ඒත් ලුවිස් මැච් එක බලන්න හිටියා. මේ ලුවිසුත් බාමි ආමි එකේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඒත් දැන්නම් ලුවිසුත් යක්ඛ පුතෙක් වෙලා ලංකාව පැත්තට චියර් කරනවාද කියලත් හිතෙනවා එයාගෙ Tweets දකිද්දි.
“සමගිය බලය වේ” කියලා කතාවක් තියෙනවා. ඉතින් සෙට් එකක් විදිහට එකට එකතු වුණු බාමි ආමි එක අද වෙද්දි ලොකු සංවිධානයක්. එය ලියාපදිංචි සංවිධානයක් විදිහට එංගලන්තයේ වේල්සයේ ලියාපදිංචි වෙලා තියෙනවා. එයාලගේ ක්‍රියාකාරකම් ගොඩයි. ඉතින් එයාල ඒ එකතුවෙච්ච වැඩෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ටත්, එංගලන්තයටත්, ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවලටත් ලොකු ගැම්මක්, වාසියක් තියෙනවා. විනෝද වැඩකට වුණත් ඒ ඒ ආතල් රටාවට කැමති අය එකතු වුණොත් ඒ ෆන් එක තවත් තියුණු කරගන්න පුළුවන් බවට හොඳ උදාහරණයක් තමයි මේ බාමි ආමි.
Leave a Reply