හිමි අහිමි – 20 කොට​ස

නිතාරා මුළු හවස් වරුවම කල්පනා කළේ විමංග කියපු දේවල් ගැන. ප්‍රශ්න, කරදර නැතුව නිදහසේ ගෙවපු ජීවිතේ මෙතනින් ඉවරයි වගේ මහා නරක සිතුවිල්ලක් නිතාරට දැනෙමින් තිබුණා. මොනදේ වුණත් දැන් විමංගට හයියක් වෙන්න ඉන්නේ ඇය පමණක් බව නිතාර දැනගෙන හිටියා. විමංග කියන්නෙ සල්ලි, දේපළ පස්සේ ලොකුවට පන්නන කොල්ලෙක් නෙමෙයි කියන එක ඇත්ත. ඒත් විමංග අප්පච්චිට වුණ පොරොන්දුව නිසාම බිස්නස් අතෑරලා තනි ජීවිතයක් ගෙවීම ඔහුට හීනයක්. අනික් පැත්තෙන් බැලුවම තමන්ගෙම දේපළ වෙනුවෙන් තමන්ගෙම අය එක්ක රණ්ඩු කිරීම කොයිතරම් වෙහෙසක්ද? විමංග වගේම නිතාරත් කවදත් කැමති කරදර අඩු, මානසික සුවය තියෙන සරල ජීවිතයක් ගතකරන්න. ඒ වෙනුවෙන් ඔවුන්ට කැප කරන්න බැරි දෙයක් නැතිතරම්. ඒත් මේ ප්‍රශ්නෙදි හැම අතින්ම ඔවුන්ව හිරවෙලා තියෙන තරම් නිතාරට හිතාගන්නත් බැහැ. 

කෑම මේසයෙදී තාත්තා කිහිප සැරයක්ම විමංගගේ තත්ත්වය ගැන ඇහුවත් නිතාරා පිළිතුරු දුන්නේ බොහොම පරිස්සමට. ගෙදරට මේ ගැන කියම්දෝ කියලා හිතුණත් එක අතකට විමංගවත් හරියට නොදන්න මේ කාරණාව වරදින්න කොයිතරම්නම් ඉඩක් තියෙනවද කියලත් නිතාරට හිතුණා. මොනදේ කරන්නත් මේකෙ අගමුල හොයාගෙන  ඉන්න ඕන බව නිතාර තදින්ම හිතට ගත්තා.

ඒත් අඩුම තරමේ විමංගගේ අම්ම එක්ක වචනයක්වත් කතා කරලවත් නැතුව කොහොමද ඒ පවුලේ දේවල් වලට ඇඟිලි ගහන්නෙ කියලත් නිතාරට නොහිතුනාම නෙමෙයි. උත්තරේ හොයාගන්න ඕන විමංගම තමයි කියල  හිතමින් ඉන්නකොටමයි නිතාරගේ දුරකථනය නාද වෙන්න ගත්තේ.

ඇමතුම විමංගගෙන්… මොහොතක් කල්පනා කරමින් හිටපු නිතාර බොහොම ප්‍රීතිමත් හඬක් මවාගෙනම ඇමතුමට පිළිතුරු දුන්නා… 

 

“හෙලෝ බබා..”

 

“හෙලෝ හෙලෝ… මොකද මේ අතිශය ප්‍රීතියෙන්?” විමංග ඇහුවේ තරමක පුදුමයකින්. 

 

“ප්‍රීතියෙන් තමා අනේ ඉන්න ඕන. ප්‍රශ්න කියලා අඬ අඬ ඉඳලා බැහැනේ. ඉතිං මම තෝරගත්තා ප්‍රීතියෙන් ඉන්න ක්‍රමය” නිතාරා එහෙම කිව්වෙ හිතාමතාමයි. ඇයට උවමනා වුණේ විමංගගේ හිත සනසන්න. ප්‍රශ්න ගැනම අහලා ඒක කරන්න බැරි බව ඇය හිතුවා.

 

“හ්ම්ම්… ඇත්ත ඇත්ත… ඉතින්… කියන්නකෝ” 

“ඉතින්… හවස චූටි අක්කල ඇවිල්ලා… මට මිස් වුණානෙ… හැබැයි ගෙනාපු කෑම නම් මිස්වුණේ නෑ ඉතින්…” 

 

ඒ කතාවටනම් විමංගට හයියෙන් හිනාගියා…

 

“අම්මේ… ඇති යන්තම් හිනාවුණා… ඉතින්… මොනවද ඔය පැත්තෙ විස්තර? කෑවද?”

 

“ඔව් ඔව් මැට්ටි… කෑව… මේ ඒක නෙමේ…” විමංග අන්තිම කෑල්ල කිව්වේ ටිකක් සීරියස් හඬකින්.

 

කියන්න යන්නෙ සීරියස් කතාවක් බව හඬින්ම හඳුන ගත්ත නිතාරා ඉස්සර වුණා…

 

“බබා… දුක හිතෙන කතා බෑ… ප්ලීස්. ටිකක් ඕව අමතක කරල හිනාවෙලා ඉමු…”

 

“නෑ නෑ නිතූ… දුක හිතෙන එකක්නම් නෙමේ… දුක නොහිතෙයිම කියන්නත් බැහැ හැබැයි”

 

“හා එහෙනම් කියන්නකෝ…” නිතාර පිළිතුරු දුන්නෙ කුතුහලයකුත් එක්ක… 

 

“සුමනම්මා කෝල් කළා… මේ සතියට දෙවෙනි පාර ඔය. පව් එයා… මළ ගෙදර වැඩ වලින් පස්සෙම මම ගෙදර නොගිය නිසා එයා හරිම අවුලෙන් වගේ…”

 

“පව් විමංග… එයා ඔයාලගෙ පවුලට හරි හිතවත් නේද?”

 

“හ්ම්ම්… කෝල් කරලත් කරන්නෙ අඬන එක… මේව මෙහෙම වෙන්න දෙන්න එපා ලොකු බේබි… ගෙදර නෑවිත් ඉන්න එපා කිය කිය අඬනවා…”

 

“ඇත්තටම ඇයි ඔයා යන්නෙ නැත්තෙ? 

 

“මට අප්පච්චිවමයි පේන්නෙ ගෙදර හැම තැනම… අනික මේ අම්මගෙ ප්‍රශ්නෙ නිසාත් බයයි යන්න” විමංග පිළිතුරු දුන්නේ ශෝකී හඬකින්… “සුමනම්මා කතාකළේ පුදුම කළබලයකින්… බොරුවට හිත හිත දුක්වෙනවා මට හිතෙන්නෙ… බලල යන්නවත් ඉක්මනට එන්නලු”

 

“ඔව්… මටත් හරි පව් කියල හිතුණා… අපි යමු වෙලාවක බලල එන්න.. . එයා  ඔයාට හරිම ආදරේ ඇති” නිතාර කිව්වේ ඇත්තටම්  සුමනම්මා ගැන දුකකින්..

 

“ඒකම තමයි බබා මම මේ අහන්න විදිහක් හිත හිත හිටියෙත්…”

 

“මොකක්ද?”

 

“ඔයාට එන්න පුළුවන්ද මාත් එක්ක ගෙදර යන්න? මට තනියම යන්න හිතට ෆිට් මදි… ඔයාව එක්කන් යන්න හිටියෙ මෙහෙම නෙමෙයි වුණත් මට වෙන කරන්න දෙයක් හිතාගන්න බැහැ බබා. මට මේ වෙලාවේ හිතට එන එකම දේ ඒක විතරයි” විමංග කිව්වේ ඇත්තටම අසරණ හැඟීමකින්…

 

“මම එදා කිව්වනෙ විමංග… මම එන්නම්… ඕනම දේකට. අපි කැමති විදිහට නොවුණත් හැමදේම වෙන්නෙ වෙන්න ඕන හොඳම විදිහට. එහෙම හිතාගෙන යමු… ඔයාගෙ හිතේ තියෙන දේවල් ක්ලියර් කරගන්නත් ඒක හොඳ චාන්ස් එකක් වෙයි” නිතාර එහෙම කිව්වෙ ඇත්තටම  මේ ප්‍රශ්න විසඳිලා විමංග සැහැල්ලුවෙන් ඉන්නවා දකින්න තියෙන කැමැත්ත නිසාමයි.

 

“තෑන්ක් යූ බබා… ඉක්මනටම යමු එහෙනම්… මම වෙලාවක් හදාගෙන කියන්නම්… ආහ් තව දෙයක් කිව්වා සුමනම්මා…”

 

“ඒ පාර මොකක්ද?

 

“එක්කෝ ඒක එදාටම ගිහින්ම බලමුකො… යනව නේ එහෙනම් අපි…”

 

“ඔව් ඔව් ළමයෝ… මම කිව්වනෙ දැන්…”

 

“හරී… බායි එහෙනම්… චැට් කරන්නම්…”

 

ඊළඟ සතියට…

 

හිමි අහිමි – 1 කොටස

 

 

 

හිමි අහිමි – 2 කොට​ස

 

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

 

 

හිමි අහිමි – 8 කොට​ස

 

හිමි අහිමි – 9 කොටස

 

හිමි අහිමි – 10 කොට​ස

 

හිමි අහිමි – 11 කොට​ස

 

හිමි අහිමි – 12 කොට​ස

 

 

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

 

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

 

හිමි අහිමි – 17 කොට​ස

 

හිමි අහිමි – 18 කොට​ස

 

හිමි අහිමි – 19 කොට​ස

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *