ඔබ නැරඹිය යුතුම LGBTQ ශානරයේ සිනමාපට හතක් – 1 කො​ට​ස

වර්තමානයේ සිනමාව තුළ LGBTQ කියන්නෙ නම් එච්චර අමුතු මාතෘකාවක් නෙමෙයි. ඒ නිසා හොලිවුඩ් පමණක් නොවෙයි බොලිවුඩයේ පවා මේ ශානරයේ නිර්මාණ බොහොමයක් බිහිවෙනවා. ඉතින් අද අපි කතා කරමු ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු LGBTQ නිර්මාණ හතක් ගැන. 

1. Moonlight 

මූන්ලයිට් නම් ඉතින් ගොඩක් අය අනිවාර්යයෙන් බලලා ඇති කියලා හිතනවා. මොකද 2017 අවුරුද්දේ හොඳම සිනමාපටයට හිමි ඔස්කාර් සම්මානයටත් හිමිකම් කිව්වේ මේ චිත්‍රපටයයි. ඉතින් බලලා නැති අය වෙනුවෙන් කතාව පොඩ්ඩක් කියන්නම්. චිරෝන් කියන්නේ සමලිංගික කළු ජාතිකයෙක්. ඉතින් කුඩාකල සිට ඔහුගේ ජීවිතය තුළ ඔහු මුහුණදෙන විවිධ ගැටළු ඇතුළත් පරිච්ඡේද 3ක් තමයි මේ නිර්මාණයට පාදක වෙන්නේ. හැමෝටම එක වගේ නම් රසවිඳින්න බැරි වෙයි. ඒත් මග නොහැරිය යුතු නිර්මාණයක්.

2. Blue is the Warmest Color 

මේක නම් ඉතින් ගොඩක් ජනප්‍රියයි. අමුතුවෙන් මතක් කරන්න ඕනේත් නැතිවෙයි. මොකද මේ චිත්‍රපටිය බලලා නැතත් මේ චිත්‍රපටයේ එන සරාගී ජවනිකා රැගත් සමහර වීඩියෝ ක්ලිප්ස් නම් අනිවාර්යයෙන් ගොඩක් අය බලලා ඇති. මේක ප්‍රංශ නිර්මාණයක්. මේකට පාදක වෙන්නේ ඇඩෙල් කියන යෞවනියගේ චරිතයයි. තමන්ගේ ලිංගික රුචිකත්වය සම්බන්ධව ගැටළු සහිතව ජීවත් වෙන ඇයට එමා නම් නිල් හිසකේ සහිත තරුණියක්ව මුණ ගැසෙනවා. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය, ලිංගිකත්වය සමග ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේ ගලායාම තමයි ඉන් ඉදිරියට දිග හැරෙන්නේ. නොබලපු 18+ කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න කියලා කියනවා. අන්තිමේදි ඔයා නොදැනීම ඔයා සංවේදී වෙයි මේ චිත්‍රපට කතාවට.

3. Brokeback Mountain

මේකත් සෑහෙන ජනප්‍රියතාවක් හිමි කරගත්ත නිර්මාණයක්. මේකට පාදක වෙන්නේ ගොවිපළක ජීව‍ත් වන තරුණයන් දෙදෙනෙක් අතර සම්බන්ධතාවයක්. මේ දෙන්නාගෙන් එක්කෙනෙක් විවාහකයි. ඒ හින්දා ටිකක් විතර අසම්මත ආදර කතාවක් කියලාත් කියන්න පුළුවන්. ඒත් හරිම ලස්සනට සංවේදී විදියට ගලා යන සුන්දර ආදර කතාවක් කියලා අපි මේ නිර්මාණය හඳුන්වනවා.

4. The Danish Girl

තමන්ගේ නියම අනන්‍යතාව ගැහැනියක් ද පිරිමියෙක් ද කියලා නොදන්න පිරිමි ඇඟක උපන් ගැහැනියකගේ කතාව තමයි මේ නිර්මාණයට පාදක වෙන්නේ.  1920 දශකය තරම් පැරණි කාලයක සිදුවුණු සත්‍ය කතාපුවතකින් තමයි මේ චිත්‍රපටය බිහිවෙන්නේ. ඇත්තටම ඔයා නැරඹිය යුතුම නිර්මාණයක් තමයි මේ. තව දෙයක්… මේක Danish Girl කිව්වට Danish Girls ලා දෙන්නෙක්ගෙම කතාවක්. 

5. Call Me By Your Name

මේකත් අතිශය ජනප්‍රිය මට්ටමේ සිනමාපටයක්. ගිම්හාන ඍතුවක ඉතාලියේදි හම්බෙන ප්‍රේමවන්තයෝ දෙදෙනෙක්ගේ සම්බන්ධතාවය මේ නිර්මාණයට පාදක වුණා. හරිම සෞම්‍යව ගලාගෙන යන අපුරු චිත්‍රපටයක් කියලා මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු ටිමොටේ චලමේගේ රංගනය ගැනත් විශේෂ සඳහනක් කළ යුතුමයි. ඔහු කොච්චර හොඳට මෙහි රංගනය සිදු කළාද කියනවා නම් ඔහු ඇත්තටම සමලිංගියෙක් කියලා හිතන්නටත් සමහරු පෙළඹිලා තිබුණා. ඒ තරම් ඒ චරිතයට ඔහු අපූරුවට අනුගත වෙලා තිබුණා. 

6. Portrait of a Lady on Fire

අපි කලින් කතා කරපු Blue is the Warmest Color වගේ මේකත් ප්‍රංශ නිර්මාණයක්. 1700 ගණන්වල කතාවක් රැගත් සෑහෙන ජනප්‍රිය වුණු නිර්මාණයක්. කලාත්මකව හරිම අපූරු සංකේත භාවිතයක් මේ සිනමා නිර්මාණය තුළ තියෙනවා. මැරියන් කියන්නේ චිත්‍ර ශිල්පිනියක්. ඇය එනවා එක හුදකලා දූපතකට. එහේ ඉන්න වංශවත් තරුණියකට හොරෙන් එම තරුණිය​ගේ සිතුවමක් පින්තාරු කරන්න තමයි ඇයට පැවරිලා තියෙන්නේ. නමු‍ත් කාලයත් සමගම ඔවුන් දෙදෙනා බෙහෙවින් සමීප වෙන්න පටන් ගන්නවා. ඉතින් හරිම ලස්සනට ගලාගෙන යන, අන්තිමේදි අපට සංවේදී කරවන අපූරුම නිර්මාණයක්.

7. The Favourite

මේක නම් ටිකක් වෙනස් විදියේ නිර්මාණයක්. මේ චිත්‍රපටය වෙනුවෙන් මෙහි ප්‍රධාන චරිතය රඟපෑ නිළිය වන ඔලිවියා කෝල්මන් ඔස්කාර් සම්මානයකින් පිදුම් ලබන්නටත් සමත් වුණා. මේකට පාදක වෙන්නේ 18 වන සියවසේ බ්‍රිතාන්‍යයේ සිදුවූ ඉතිහාස කතාවක්. ඈන් රැජින හා ඇගේ සහයිකාවෝ දෙදෙනා වන සාරා සහ ඇබිගේල් අතර වන ප්‍රේමය, ලිංගිකත්වය සහ දේශපාලනය මුසු සබඳතාවය තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. මේක ටිකක් විතර බ්ලැක් කොමඩි ශානරයේ නිර්මාණයක්.  හරිම,කලාත්මක, කලාතුරකින් බලන්න හම්බ වෙන විදියක චිත්‍රපටයක් මේක.

අපි හොඳටම දන්නවා මේ සිනමා නිර්මාණ ගණන හතකට සීමා කරන එක සුදුසු නැහැ කියලා. ඉතින් මීට අමතරව ඔයා බලපු මෙවන් සිනමා නිර්මාණ ගැනත් අනිවාර්යයෙන් අපිට කමෙන්ට් එකකින් කියන්න. 

 

ඔබ නැරඹිය යුතුම LGBTQ ශානරයේ චිත්‍රපට – 2 කො​ට​ස

ශශින් ප්‍රබෝද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *