2022 අවුරුද්දේ අහන්නම ඕන පොඩ්කාස්ට් කීපයක්!

අපි ඉස්සර රේඩියෝ එකෙන් එහෙම ආස කරන ප්‍රෝග්‍රෑම්ස් අහපු කාලයක් තිබ්බනේ. හැබැයි කාලේ තාලේ වෙනස් වෙනකොට, රේඩියෝ එකෙන් රේඩියෝ අහන එක වෙනස්වෙලා, ඔන්ලයින් රේඩියෝ අහන්නත් අපි හුරු වුණා. දැන් වෙනකොට මේ රේඩියෝ අහන එක පොඩ්කාස්ට් දක්වාම ඇවිල්ලා තියෙනවා. පොඩ්කාස්ට් එකක් කියන්නේ රේඩියෝ වැඩසටහනකට සමාන වුණත්, සමහර තැන් වලින් රේඩියෝ වැඩසටහනකින් වෙනස් දෙයක්. උදාහරණයක් විදියට කිව්වොත්, පොඩ්කාස්ට් එකක් කොටස් ගණනාවක සීරීස් එකකින් සමන්විත වෙනවා වගේම, යම් කිසි නිශ්චිත තේමාවකට, එහෙම නැතිනම් යම් කිසි නිශ්චිත විෂය පථයකට අදාළව විකාශය වෙනවාත් වෙන්න පුළුවන්. සමහර පොඩ්කාස්ට් වලින් විනෝදය වින්දනය ලබාගන්නවා වගේම, ගොඩක් පොඩ්කාස්ට් වලින් යම් කිසි දෙයක් ගැන හොඳ දැනුමක් ලබාගන්නත් පුළුවන්. 

 

ඉතින් කැමති නැද්ද 2022 අවුරුද්දේ අහන්න හොඳ පොඩ්කාස්ට් සීරීස් කීපයක් ගැන දැනගන්න? මේ කියන්න යන්නේ අන්න එහෙම පොඩ්කාස්ට් සීරීස් කීපයක් ගැන තමයි!

 

1. Rabbit Hole

ඇත්තටම අපි ජීවත් වෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සයිබර් ලෝකෙක නෙවෙයිද? නිකමට හිතලා බලන්න අපේ ජීවිත වලට ඉන්ටර්නෙට් එක කොයි තරම් බලපෑමක් කරනවද කියලා. ඒ විතරක් නෙවෙයි, අපේ ජීවිත වලට බලපවත්වන ආර්ථික කාරණා වලට, දේශපාලනික කාරණා වලට, සමාජයීය කාරණා වලට පවා සයිබර් ස්පේස් එක නැතිනම් ඉන්ටර්නෙට් එක සෑහෙන්න බලපෑමක් කරනවා. ආන්න ඒ ගැන තමයි විශ්ලේෂණාත්මක මට්ටමකින් මේ පොඩ්කාස්ට් එක කතා කරන්නේ. මේක එක හුස්මට අහගෙන ඉන්න පුළුවන් පොඩ්කාස්ට් සීරීස් එකක්. මේක ඇහුවට පස්සේ, අපි අන්තර්ජාලයේ වැඩකටයුතු කරන විදිය, අපි සමාජ ජාල වල අනුගමනය කරන පුරුදු එහෙමත් සමහර වෙලාවට වෙනස් කරගන්න හිතෙයි!

 

2. Lolita Podcast

ලොලිටා ගැන අහල තියෙනවද? ලොලිටා පොත කියවලා තියෙනවද? අඩු ගාණේ ලොලිටා ෆිල්ම් එක හරි බලලා තියෙනවද? ඔය තුනටම උත්තරේ නැහැයි කියන එක නම්, කරුණාකරලා මුලින් ගිහින් ලොලිටා කියවලා එන්න. ඒකේ සිංහල පරිවර්තනේකුත් තියෙනවා. දැන් පොත කියෙව්වනම් තේරෙන්න පටන් ගනී, ලොලිටා කියන්නේ කොයි තරම් ගැඹුරින් මානව හැඟීම්, ලිංගිකත්වය වගේ දේවල් කතා කරලා තියෙන ක්ලැසික් එකක්ද කියලා. දැන් හිතෙනවද ඒ ගැන තව කෙනෙක් එක්ක කතා කරන්න, තව කෙනෙක්ගේ අදහස් අහන්න, ඒ ගැන බුද්ධිමය සංවාදයකට සවන් දෙන්න තියෙනවනම් හොඳයි කියලා? ආන්න එහෙමනම් මේක තමයි අහන්න ඕන පොඩ්කාස්ට් එක. ඇත්තටම ජනප්‍රිය සංස්කෘතියටත් ආපු එක් ක්ලැසික් නවල් එකක් ගැන සම්පූර්ණ පොඩ්කාස්ට් සීරීස් එකක්ම වැය කරලා කතා කරන්න දේවල් තියෙනවද? තියෙනවා. ඒ නිසා ලොලිටා පොඩ්කාස්ට් එක අහලම බලන්න.

 

3. Startup

දැන් කාලේ ආර්ථිකයත් එක්ක බලනකොටත්, එතකොට අපි දියුණුව ගැන හිතනකොටත්, තමන්ගේම ස්ටාර්ටප් එකක් පටන් ගන්න එක ගැන ගොඩක් දෙනෙක් හිතනවා. ඇත්තටම ස්ටාර්ටප් එකක් කියන්නේ, බිස්නස් එකක මුල්ම අදියර. හැබැයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නෙ වෙන්නේ, හරියට බිස්නස් එකක් කරගෙන යන එක ගැන විතරක් නෙවෙයි, බිස්නස් එකක් ස්ටාර්ටප් ලෙවල් එකෙන් පටන් ගැනීම ගැනත් ලොකු දැනුමක් නොතිබීම. අන්න ඒ අඩුපාඩුව කවර් කරගන්න පුළුවන් විදියේ පොඩ්කාස්ට් එකක් තමයි මේක. මෙතනදී ගිම්ලට් මැඩිසන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වෙන ඇලෙක්ස් බ්ලූම්බර්ග් කතා කරනවා කොහොමද තමන් සාර්ථක මාධ්‍ය අධිකාරියක් පවත්වාගෙන යන්නේ, කොහොමද පටන් ගත්තේ වගේ කාරණා ගැන. ඒ වගේම, ඒක පටන් ගන්නකොට තමන් වැටෙන්න ගිය බොරුවළවල්, ඕනෑම බිස්නස් එකක් ස්ටාර්ටප් ලෙවල් එකෙන් පටන් ගන්නකොට ඕනම කෙනෙක් අහුවෙන්න පුළුවන් උගුල්, ඕනම කෙනෙක්ට අමතක වෙන්න පුළුවන් කාරණා, ඕනම කෙනෙක් අනුගමනය කරන්න ඕන ක්‍රියාපටිපාටීන් වගේ දේවලුත් මේකේ සෑහෙන්න විස්තර කරනවා. බිස්නස් එකක් කරන්න කැමති කෙනෙක් අහන්න ඕනම පොඩ්කාස්ට් එකක් තමයි මේ.

 

4. Slow Burn

ස්ලෝ බර්න් පොඩ්කාස්ට් එකේ තීම් එක වෙන්නෙම, එක එක සීසන් එකේ විවිධාකාරයේ මාතෘකාවන් කතා කිරීම තමයි. මේ පොඩ්කාස්ට් එකේ කතාවට ගන්න මාතෘකාවනුත් සෑහෙන්න උනන්දුව ඇති කරවන ඒවා. විශේෂයෙන්ම ලෝකේ යම් යම් දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනයක් කරන්න අවශ්‍ය කෙනෙක්ට මේ පොඩ්කාස්ට් එක නියමයි. උදාහරණයක් විදියට, වෝටර්ගේට් සිදුවීම ගැන අහල තියෙනවද? ඒ ගැන දැනගන්න කැමතියිද? එහෙමනම් ස්ලෝ බර්න් එකේ වෝටර්ගේට් ගැන කතා කරන සීරීස් එක අහන්න. සම්පූර්ණ පොඩ්කාස්ට් සීරීස් එකක් ඇතුළේ වෝටර්ගේට් ගැන ඔබ නොදන්න තොරතුරු, ඒ ගැන විවරණයන්, වෙනස් වෙනස් මානයන්ගෙන් අදහස් දැක්වීම් අහන්න පුළුවන්. එහෙම නැතිනම් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීම ගැන විස්තර සහ විශ්ලේෂණයක් අහන්න ඕනද? ඒවත් මෙතන තියෙනවා. ස්ලෝ බර්න් පොඩ්කාස්ට් එකේ විශේෂත්වය වෙන්නේ, එක් එක් මාතෘකාවකට සම්පූර්ණ සීරීස් එකක්ම වෙන් කිරීම නිසා, ඕනම සබ්ජෙක්ට් එකක් ගැන සෑහෙන ගැඹුරකින් දැනගන්න පුළුවන් වීම තමයි.

 

5. The Right Time

ස්පෝර්ට්ස් වලට, එහෙම නැතිනම් ක්‍රීඩා වලට ආස නැත්තේ කවුද? එහෙම ආස නැති අය ඉන්නවා නම්, ඒ ඉතාම අල්පයක් තමයි. ආන්න ඒ නිසා, මේ පොඩ්කාස්ට් එකට සම්බන්ධ වුණොත්, ක්‍රීඩා ගැන වඩාත් ගැඹුරින් කතා කරනවා අහන්න පුළුවන්. ඇත්තටම ක්‍රීඩා ගැන විස්තර විචාරයන් වඩාත් ස්මාට් විදියට ඉදිරිපත් කරන දුර්ලභ පොඩ්කාස්ට් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. බෝමානි ජෝන්ස් කරන මේ පොඩ්කාස්ට් එකේ විවිධ ක්‍රීඩාවන් ගැන, අලුත් විස්තර වගේම, විවරණයන් එහෙමත් අපූරුවට ඉදිරිපත් වෙනවා!

 

6. Still Processing

සාමාන්‍යයෙන් බුද්ධිමය උනන්දුවක් තියෙන ඕනම කෙනෙක් කැමතියි, බුද්ධිමය සංවාදයන්ට සහභාගී වෙන්න. ඒ කියන්නේ තමන් ඉන්ටරෙස්ට් වෙන මොකක් හරි තේමාවක් ඔස්සේ බුද්ධිය ආකූල කරවන, අපිව හිතන්න පොළඹවන සංවාදයක් ගැන මේ කියන්නේ. ජෙනා වෝර්තම් සහ වෙස්ලි මොරිස් කරන මේ පොඩ්කාස්ට් එකේ අරමුණ ඒක තමයි. මේ වෙනකොටත් සමහර වෙලාවට සංවාදයන්ට බඳුන් වෙමින් තියෙන ලෝකේ විවිධ දේවල්, දේශපාලනය, සංගීතය, චිත්‍රපට, ආර්ථිකය වගේ විවිධාකාරයේ මාතෘකා ඔස්සේ මිනිස්සුන්ට වැදගත් වෙන, බුද්ධිමය සංවාදයන් පවත්වාගෙන යෑම, ඒ දේවල් දිහා වෙනස් විදියේ, වඩාත් අර්ථාන්විත කෝණයකින් බැලීම තමයි මේ පොඩ්කාස්ට් සීරීස් එකේ දකින්න ලැබෙන්නේ.

 

7. Stuff You Should Know

ඇත්තටම මේ ලෝකේ අපි දැනගෙන ඉන්න ඕන දේවල් කොයි තරම් තියෙනවද? ඒකට උත්තර දෙන එකත් ඇත්තටම විශ්වය කොයි තරම් විශාලද කියලා අහනවා වගේම ප්‍රශ්නයක් තමයි. ඒ තරම් අපිට දැනගන්න දේවල් මේ විශ්වයේ  තියෙනවා. ඇත්තටම අන්න ඒ කාරණාව හින්දම, මේ පොඩ්කාස්ට් එකට ගිහින්, ඒකේ තියෙන එපිසෝඩ් දිහා බලන කෙනෙක්ට බාගෙට පිස්සු හැදෙන්න පුළුවන්. ඒ තරම් දේවල් තියෙනවා. හැබැයි ඕන තැනකින් පටන් අරගෙන අහගෙන යන්නයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපි දැනගෙන හිටියා නං හොඳයි කියලා හිතෙන දේවල් වල ඉඳලා, කවදාහරි අපිට ප්‍රයෝජනයක් වෙයිද කියලා හිතාගන්නත් බැරි දේවල් දක්වා අතිශය දැවැන්ත අන්තර්ගතයක් මේ පොඩ්කාස්ට් සීරීස් එකේ තියෙනවා. ෂැම්පේන් ගැන දන්නවද? එල් නිනෝ ගැන දන්නවද? එල්එස්ඩී මත්ද්‍රව්‍යය ගැන දන්නවද? සාතන්ව අදහස් ආගම් ගැන දන්නවද? නැතිනම් අනිවාර්යයෙන්ම මේ පොඩ්කාස්ට් එක අහන්න!

 

අපි මීට කලිනුත් ලෝකේ තියෙන බොහෝ දෙනෙක් සවන් දෙන, බොහොම ජනප්‍රිය පොඩ්කාස්ට් සීරීස් කීපයක් ගැන කතා කරලා තියෙනවා. පහළ ලින්ක් වලින් ඒ ආටිකල් වලටත් යන්න පුළුවන්!

 

වෙනසකට කැමති කෙනෙක් අනිවාර්යයෙන්ම ඇසිය යුතු පොඩ්කාස්ට් කීපයක්!

2020 අවුරුද්දේ වෙනසක් ඕන වෙලාවට ඇසිය යුතුම පොඩ්කාස්ට් කීපයක්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *