ආහාර මිල වාර්තාගත ලෙස වැඩි කරන ලෝක පොහොර හිඟය

යූරියා මිල මීට අවුරුදු දෙකකට තුනකට පෙර තිබුණාට වඩා කිහිප ගුණයකින් ලෝක මට්ටමින් ඉහළ ගිහින්. වෙනත් පොහොර වල තත්ත්වයත් එහෙමයි. යූරියා හදන්න අවශ්‍ය බලශක්තිය එක පැත්තකින් අඩුයි. අනෙක් පැත්තෙන් අවශ්‍ය පෙට්‍රෝ කෙමිකල් වල මිල වැඩියි. චීනය, ඇමරිකාව, යුරෝපය සහ රුසියාව අතර බල අරගලයක් පහුගිය කාලේ ඇති වුණා. ඒකේ ප්‍රතිඵල විදිහට ලෝකයේ බෙදාහැරීමේ ජාල වල ලොකු වෙනසක් වුණා. ඉතින් පෝර වලටත් ඒ වෙනස දැඩිව බලපෑවා. යූරියා ටොන් එකක් ඩොලර් දාහකටත් වඩා වැඩි මිලට 2021 අගභාගයේදී ලෝක වෙළඳපොළේ මිල වුණා.

 

 

1. එංගලන්තය කොහොමද කළේ? 

එංගලන්තයේ මළ අපවහන සහ අප ජලය තියෙන නාලිකා වල තියෙන මඩ එකතුකරලා ඒවා ඇසුරෙන් බයෝ ගෑස් නිපදවන්නත්, ඉතිරි වෙන දේවල් කොම්පෝස්ට් කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ මගින් ඒ ප්‍රතිකාර කරන ලද අපජලය හරහා වගාවන්ට අවශ්‍ය පෝෂක ලබාදෙන්න පුළුවන්ද කියලා පර්යේෂණ සිද්ධ වෙනවා. ඒ මගින් එංගලන්තය තමුන්ට අවශ්‍ය කෘත්‍රිම පොහොර සැපයුමේ හිඟ ප්‍රමාණය කාබනික දේවලින් සපුරාගන්නට උත්සාහ ගන්නවා.

 

 

2. ඔස්ට්‍රේලියාව කොහොමද කළේ? 

ඔස්ට්‍රේලියාවේ වෙනදා නැති විදිහට සත්තුන්ගේ කිරි සහ මස්වලට අමතරව සත්තුන්ගේ මළපහ වලටත් ලොකු ඉල්ලුමක් ඇවිත්. වෙනදා ඌරන්ගේ මළ වලට ලොකු ඉල්ලුමක් නැතත් මේ දැන් තියෙන පෝර මිල එක්ක ඌරු මළපහත් මිනිස්සු පෝර වෙනුවට අරගෙන යන්න පටන් අරං තියෙනවා. ගවයින්ගේ අපද්‍රව්‍ය වලටත් හොඳ මිලක් ලැබිලා තියෙනවා ගවයින් ඇතිකරන අයට. කෘත්‍රිම පෝර මිල බොහොම වැඩිවීමත් එක්ක කෘත්‍රිම පෝර සහ කොම්පෝස්ට් යන දෙකම යොදා කෘත්‍රිම පෝර අඩු කරගන්නට ගොවියන් උත්සාහ කරනවා.

 

 

3. බංග්ලාදේශය කොහොමද කළේ? 

බංග්ලාදේශය කියන්නේ හොඳට වතුර තියෙන, කාලයක් ගංවතුරින් යට වෙන රටක්. ඉතින් මේ බංග්ලා රටේ වතුර තිබුණට වතුරට වඩා උඩින් තමයි භූමිය පිහිටන්නේ. එතකොට එයාලට වතුර පොම්ප කරන්නට වෙනවා. මේ වතුර පොම්ප කරන්න ඩීසල් සහනයක් දෙනවා. ඒත් එක්ක මුළු රටේම ඩීසල් පොම්ප වගාවන්ට ජලය පොම්ප කරන ඒවා බවට පත් වෙලා කියලා බංග්ලාදේශ කෘෂිකර්ම ඇමතිතුමා කියලා තිබුණා. මොකද මිනිස්සු තෙල් සහනාධාරය ගන්න වංචා කරනවා. කෘෂිකර්මය පැත්තෙන් ගතහොත් නව බීජ වැඩිදියුණු කරලා පොහොර, ජලය අඩුවෙන් වැඩි අස්වනු ගන්න පුළුවන් පර්යේෂණ කරන්න බංග්ලාදේශය ලොව කෘෂි තාක්ෂණය අතින් දියුණුම රටක් වන නෙදර්ලන්තය එක්ක අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා.

 

 

4. ජර්මනිය මොනවද කළේ? 

ජර්මන් රටේ වගාවන් පැරණි ක්‍රමයට කුකුළන්, ඌරන්, ගවයින් ඇතිකරන ගමන්ම කරන්න අවධානය යොමු වෙලා තියෙනවා. ඒකෙදි වගාවේ කුඩා වගාව වගේම තීරු තීරු වෙන් කරලා ෆොරස්ට් කල්චර් කියලා ගස් තීරු ඉතුරු කරන්නත් ජර්මනිය කටයුතු කරනවා. ඒ ඇසුරෙන් වගාවන් වල ඉන්න සතුන් කෘමීනාශක නැතිව මර්දනය කරගන්න පුළුවන් විදිහේ විලෝපිකයින් ඇතිකරන්නත් පුළුවන් කියලා ඔවුන් සොයාගෙන තියෙනවා. සත්ව පාලනය සහ වගා බිම් සම්පූර්ණයෙන් එලි නොකිරීමෙන් ඔවුන් පසේ තියෙන පෝෂණීය ගුණය ආරක්ෂා කරගන්න අදහස් කරලා, ඒ ගැන පර්යේෂණ කරනවා.

 

 

5. ආහාර අර්බුදයක් එයිද?

මේ පෝර අඩුවෙන් වගා කිරීම සහ කාබනික වගා ක්‍රම වලට මහා පරිමාණව එක්වරම යොමු වන්නට සිදුවීම එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මේ කාබනික ක්‍රම වලින් සහ පොහොර අඩු භාවිතය නිසා සෑම වගාකරන බෝගයකටම අස්වනු වල අඩුවකට මුහුණපාන්න සිද්ධ වෙනවා. මේ නිසා ලෝකය තුළ 2022 දී ආහාර මිල වාර්තාගත අගයකින් වැඩි වෙලා තියෙනවා. එක් අතකින් සෑම රටක්ම කොවිඩ් නිසා මුදලේ අගය අඩුවීමේ තත්ත්වයකට මුහුණ පාල තියෙනවා. අනෙක් අතින් පෝර මිල සහ ඉන්ධන මිල වැඩිවීම නිසා ආහාර නිපදවීමේ වියදමත් සෑහෙන වැඩිවෙලා තියෙනවා.

 

 

6. ඇමරිකාවේ ඇමෝනියම් නයිට්‍රේට නිපදවීම

යූරියා කියන්නේ සුදුපාට කැටමය පොහොර වර්ගයක්. යූරියා සැපයුම අඩු වෙද්දි අමරිකාව යූරියා ඇමෝනියම් නයිට්‍රේට් කියන දියරය ගොවීන්ට සපයන්න කටයුතු කරලා තියෙනවා. මේ යූරියා ඇමෝනියම් නයිට්‍රේට් බැහැර කරන රුසියාවේ සහ ට්‍රිනිඩැඩ් ටුබැගෝ රාජ්‍ය වලින් මේ ඉවතලන අමෝනියම් නයිට්‍රේට් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද ඇමරිකාව කරලා තියෙනවා. ඇමරිකාවේ ප්‍රධාන ධාන්‍ය බෝගයක් වෙන ඉරිඟු සහ සෝයා බෝංචි වගාවන් වලට නයිට්‍රජන් පොහොර සැපයුම තදටම බලාපාලා තියෙනවා.

 

 

7. යූරියා නිපදවීම හිරවුන හැටි

යූරියා නිපදවීමේ ක්‍රමය සියවසක් විතර පැරණි ක්‍රමයක්. ශතවර්ෂයක් පුරා ඒ ක්‍රමවේදයට මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් නිපදවන්නටහැකි වුණ නිසා ඒ ක්‍රමය වෙනස් කරන්නට වැඩි වෙහෙසක් ගත්තේ නැහැ. ඒකෙදි සාමාන්‍ය පාවිච්චි කරන ගෑස්, ගල් අඟුරු හරහා ඇවිත් එයින් ඇමෝනියා නිපදවනවා. ඇමෝනියා වලින් පසුව ගෑස් නිපදවනවා. ඉතින් ගෑස් සැපයුම පහුගිය කාලේ ලොකු කළබල ගොඩකට මැදි වුණා. චීනය සහ රුසියාවෙන් ගෑස් යුරෝපයට ලැබුණේ නැහැ. ඒ නිසා පෝර නිපදවීමත් අඩාල වුණා.

 

කොරෝනා වසංගතය, ලෝක දේශපාලන කඹ ඇදීම්, සැපයුම් ජාලා අර්බුදයට ලක් වීම වගේම ඇමරිකාවේ පෝර නිපදවෙන පළාතක් හරහා හමාගිය ඉඩා චණ්ඩ මාරුතයත් මේ ලෝකයේ නයිට්‍රජන් පෝර හිඟවෙන්න හේතු වුණා. ඒ නිසා ඇතිවුණු හිදැස නිසා ලෝකයේම බෝග ජාතිවල අඩුවක් දකින්නට තියෙනවා. ඉතින් ලංකාව රසායනික පොහොර තහනම අයින් කළත් දැන් යූරියා මිටියක මිල රුපියල් 15,000ටත් වැඩි නිසා ජනතාවට පොහොර දැමීම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලංකාව සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් කර මුලට ආවට පස්සේ උත්තර හොයනවා මිසක ප්‍රශ්නය සාමාන්‍ය තත්ත්වයේදි පිළිතුරු හොයන වර්ගයේ නෙමෙයි. ඒ නිසා ලංකාව මේ ලෝකයේ පොහොර අර්බුදයට කොහොම මුහුණ දේද කියලා අපි බලා ඉමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *