කෙනෙක් අපිට ලබාදෙන ප්‍රශංසාවක් නැතිනම් සුබ පැතීමක් හරි විදියට භාරගන්නේ මෙහෙමයි!

අපි කලිනුත් කියපු කාරණාවක් තමයි, කෙනෙක් අපිට ප්‍රශංසාවක් නැතිනම් සුබ පැතීමක් ලබාදෙනවාට අපි කොයි තරම් කැමතිද කියන එක. ඒ නිසාම, කොහොමද කෙනෙක්ට හරි විදියට ප්‍රශංසාවක් නැතිනම් සුබ පැතීමක් කරන්නේ කියන එක ගැනත් අපි කලින් කතා කරලා තියෙනවා. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. කොහොමද කවුරුහරි අපිට ප්‍රශංසා කළහම නැතිනම් සුබ පැතුවහම ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ඇත්තටම හිතනවට වඩා මේ කාරණාව ඉතාම වැදගත්. ඇයි? ගොඩක් දෙනෙක් තමන්ට ලැබෙන කොම්ප්ලිමෙන්ට් එකකට ප්‍රතිචාර දක්වන්නේ එක්කෝ හරිම මෝඩ විදියට, එහෙම නැතිනම් අනුචිත විදියට. සමහර වෙලාවට කෙනෙක් තමන්ට ලැබෙන ප්‍රශංසාවට නැතිනම් සුබපැතීමට ප්‍රතිචාර දක්වන අනුචිත ආකාරය හින්දම, ඒ කොම්ප්ලිමෙන්ට් එකේ තියෙන වටිනාකම නැත්තටම නැතිවෙලා යනවා විතරක් නෙවෙයි, අපේ තියෙන වටිනාකමත් නැතිවෙලා යනවා. එතකොට ඒ කෙනා ආයෙ අපිට කොම්ප්ලිමෙන්ට් එකක් දෙන්න හිතන එකකුත් නෑ. ආන්න ඒ හින්දා තමයි අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශංසාවක් නැතිනම් සුබ පැතීමක් හරියට භාරගන්නේ කොහොමද කියන එකට පොඩි ගයිඩ් එකක්.

 

1. ලැජ්ජාවෙන් ඇඹරෙන්න එපා

කෙනෙක් ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් කළහම කෙනෙක් කරන ප්‍රධානතම වැරැද්ද. ලැජ්ජාවෙන් ඇඹරෙනවා, එතනින් පැනලා යන්න ට්‍රයි කරනවා. මූණ රතු කරගෙන, ගොත ගහගහ පිස්සුවක් කරනවා. අන්තිමට අර අපිට ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් කරන්න ගියපු මනුස්සයාටත් කරකියා ගන්න දෙයක් නෑ. ඒ මනුස්සයාටත් හිතෙනවා මං මොන ගොන් වැඩක්ද කරගත්තේ මේ මනුස්සය​ට කන්ග්‍රැජුලේට් කරන්න ගිහින් කියලා. ආන්න එතනට වැටෙන්න එපා. හරි, සමහරු ඉන්නවා ස්වභාවයෙන්ම හරිම ලැජ්ජාශීලියි. විශේෂයෙන්ම කෙනෙක් ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් කරන්න ගියහම කියන්න ඕන මොකද්ද, කරන්න ඕන මොකද්ද කියලා හිතාගන්නත් බැරි තරම් අය. හැබැයි එහෙමයි කියලා හැමදාම එහෙම ඉන්න බැහැනේ. සමාජේ ඉන්නවා නම්, හැමදේකටම හුරු වෙන්න ඕන. සමාජ හැසිරීම ප්‍රගුණ කරන්න ඕන. අන්න ඒ නිසා, එහෙම ලැජ්ජා අවුලක් තියෙනවා නම්, අඩු ගාණේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පුරුදු වෙන්න කොහොමද ඒ වගේ වෙලාවකදී හරියට හැසිරෙන්නේ කියලා.

 

2. නිවැරදි කරන්න යන්න එපා

ඔය අපි ආශ්‍රය කරන සමහරු ඉන්නවා, ඒ අයට වෙන කෙනෙක් කියන දෙයක් නිවැරදි කළේ නැති නම් දවසටම කෑවෙ නෑ වගේ. ඒ වගේ අයට ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් හරි කළහම ඒ අය ප්‍රතිචාර දක්වන්නේ මෙහෙමයි. “කොලිටි ෂූස් දෙකක්, ලස්සනයි!” “ආහ් තෑන්ක්ස්, ඇත්තටම මේවා ෂූස් නෙවෙයි, මේක හාෆ් ෂූස් පෙයාර් එකක්. මේ පේනවද ලෝ කට් එකක් පිටුපස්සෙන් තියෙන්නේ!” ඉතින් අර කම්ප්ලිමෙන්ට් එක කරපු කෙනා හොඳ සිරිත් විරිත් තියෙන්න ඕන නිසා ඉවසගෙන ඉන්නවා, “ඉතින් අපිට පාංද” කියලා අහන්නෙ නැතුව! එතකොට තව සමහරු ඉන්නවා මෙහෙම. “ඔයා හදාගෙන ආපු පොළොස් කරි මාර රහයි අනේ!” “ආහ්, ඒක ප්‍රනවුන්ස් කරන්නේ පොළොස් කියලා, පළස් නෙවෙයි!!” එතකොට අනින්න හිතෙන්නේ මූණ පොළොස් වෙන්න!!!

 

ඇත්තටම කෙනෙක් අපිට සුබපතනකොට හරි ප්‍රශංසාවක් ලබාදෙනකොට හරි වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් ඒවා නිවැරදි කරන වෙලාව නෙවෙයි ඒක. එතනදී අපි කරන්න ඕන ඒ කම්ප්ලිමෙන්ට් එක හොඳින්, හරි විදියට භාරගන්න එක. නිවැරදි කිරීම් කරන එක නෙවෙයි.

 

3. ප්‍රතික්ෂේප කරන්නත් එපා

මෙන්න මේකත් ඇත්තටම සිද්ධ වෙන්නේ අර අපි කියපු නිහතමානී සින් එක නිසා තමයි. සමහරු නම් රැඩිකල් බව පෙන්නන්නත් මෙහෙම කරනවා. උදාහරණෙකින්ම පටන් ගමු. “ඔයා සිවිල් එක්සෑම් එක පාස් වුනා කියලා ආරංචි වුණා, කන්ග්‍රැජුලේෂන්ස්” කියලා කෙනෙක් අපිට කියනවා. එතකොට අපි කියනවා “අනේ මට ඒ කම්ප්ලිමෙන්ට් එක භාරගන්න බැහැ, එක්සෑම් එක අවශ්‍ය තරගකාරීත්වයෙන් පැවැත්වුණේ නැහැනේ, දූෂිත සිස්ටම් එකකින් අපිට ඊට වඩා දෙයක් බලාපොරොත්‍තු වෙන්නත් බැහැනේ” කියලා. එහෙම නැතිනම් අපි කියනවා, “අනේ ඇත්තටම මම හිතුවෙවත් නැහැ මම පාස් වෙයි කියලා, මොකද, මට හරියට පාඩම් කරන්නවත් ලැබුණෙ නෑ. ඒ නිසා මට ඔයාගෙ සුබපැතීම භාරගන්නත් මොකද්ද වගේ” කියලා. නැත්නම් නිකම්ම අපි කියනවා, “ඇත්තටම මම හිතුවෙවත් නෑ පාස් වෙයි කියලා, විභාග දෙපාර්තමේන්තුවට වැරදිලද කොහෙද” කියලා. දැන් ඔය එක දෙයක්වත් අවශ්‍යද, අර මනුස්සයෙක් අවංකව කරපු සුබපැතුම භාරගන්න?

 

4. ප්‍රශංසාව ආපිට හරවන්නත් එපා

ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් නොදැනුවත්වම කරන වැරැද්දක් තමයි මේක. මේ වැරැද්ද නොදැනුවත්ව සිද්ධ වෙන්නේ, ඇත්තටම ඒක හරි ක්‍රමය කියලා ගොඩක් දෙනෙක් හිතන නිසා. අපි ඒක පැහැදිලි කරගමු. ඔන්න කෙනෙක් අපිට කම්ප්ලිමෙන්ට් කරනවා අපේ පෙනුම ගැන. “ඔයා ඇඳලා ඉන්න කිට් එකට ඔයා අද හරි ලස්සනයි”. එතකොට අපි කියනවා, “අනේ නෑ, ඔයා ඇඳලා ඉන්න එකට ඔයා ඊට වඩා ලස්සනයි” කියලා. දැන් මේකද හරි ක්‍රමේ? නෑ, ඇත්තටම නෑ. ඒකෙන් පේන්නේ අපි නිහතමානීව අනික් කෙනා අපිට වඩා ලස්සනයි කියලා කම්ප්ලිමෙන්ට් කළ බවක් නෙවෙයි. ඊට වඩා ඒකෙන් පේන්නේ අපි නිකම් කියපු එකම ආපිට හරවලා කිව්වා කියන එක විතරයි. අපි කියපු දේ ඇත්ත කියලා ඒ කෙනා තියා වෙන කිසිම කෙනෙක් විශ්වාස කරන එකක් නෑ!

 

5. විස්තර පැහැදිලි කිරීම් එපා

මේක නම් ගොඩක් වෙලාවට වෙන්නේ අර මොණරගෙ ඉඳන් විස්තර විචාර කරන තාලේ උදවියට තමයි. ඒ කියන්නේ ඔය සමහර හාදයෝ හාදියෝ ඉන්නවනේ, දෙයක් කිව්වහම, ඒක මුලින්ම කියපු කෙනාගේ නත්තගේ පනත්තගේ ඉඳලා විස්තර විචාර ලබාදෙන අය. මේ විදියේ අයගෙන් අද මැච් එකේ ස්කෝර් එක ඇහුවොත්, කියන්න පටන් ගන්නේ පළවෙනි අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ ඉඳලා. ඉතින් එහෙම කෙනෙක්ට ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් ලබාදුන්නත් ආයෙ ඉතිහාසයේ ඉඳලා පටන් ගන්නවා. “ඔයාගෙ ටයි එක ලස්සනයි”! “තෑන්ක්ස්, ඇත්තටම මේක අපේ අම්මා අරගෙන දුන්නේ මගෙ බර්ත්ඩේ එකට, එයාට ඕන වෙලා තිබුණේ මට සපත්තු දෙකක් අරගෙන දෙන්න තමයි, හැබැයි මේ ටයි එක දැක්ක ගමන් ඒකට හිත ගිහිල්ලා, මේක බැලූ බැල්මට චෙකර්ඩ් පැටර්න් එකක් තියෙන ටයි එකක් කියලනේ පේන්නේ, හැබැයි ලං වෙලා බැලුවහම පේනවා මේකේ කොටු මැද්දේ චූටි තරු තියෙනවා කියලා, මේං බලන්න”! කාටද අයිසේ ඔය ඔක්කොම හෑලි අහගෙන ඉන්න පුළුවන්?

 

6. පුරසාරම් පොර ටෝක් එපා

සමහරු ඉන්නවා, පොර ටෝක් දෙන්න ඉතාම දක්ෂයි. ඉතින් කවුරුහරි ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් කළත් අර පොර ටෝක් එක නැතිනම් පුරසාරම ඉස්සරහට එනවා. “මරු බයික් එක මචන්” කියලා කවුරුහරි කිව්වහම, පොර ටෝක් ඩයල් එක කියන්නේ “ඔව් මචන්, රුපියල්ම ලක්ෂ පහක් වුණා. ආයෙ වෙන කොහෙන්වත් ගන්නත් නෑ, මෙව්වා මාකට් එකට ආවේ අවුරුද්දටම තුනයි” වගේ එකක් තමයි. එහෙම නැතිනම් “කන්ග්‍රැජුලේෂන්ස් ප්‍රොමෝෂන් එකට” කිව්වොත් පොර ටෝක් ඩයල් එකක් කියන්නේ “අනේ තෑන්ස්ක් මෙයා, අපේ ඩිවිෂන් එකේ ඉතින් මට ඇර ඔය ප්‍රොමෝෂන් එක දෙන්න වෙන කෙනෙක් නෑනේ, මාත් ඉතින් ඕවර් කොලිෆයිඩ්, ඒත් වෙන දෙන්න ඊට උඩ වේකන්ට් පොසිෂන් එකක් නැති නිසා මේක දුන්නේ මට” කියලා තමයි. ඉතින් සිහිමොළේ තියෙන කවුද කැමති ප්‍රශංසාවක් නැතිනම් සුබපැතීමක් කරලා ඔය වගේ පොර ටෝක් අහගෙන ඉන්න?

 

7. හෑල්ලු කරන්න එපා

මෙන්න මේකත් සමහරු නොදැනුවත්වම කරන, හැබැයි ප්‍රශංසාවක් හෝ සුබපැතීමක් හෑල්ලු වෙන කාරණාවක්. ඒ තමයි අර අමුතු නිහතමානී ගතියක් නිසා, අපිට ලැබෙන ප්‍රශංසාව නැතිනම් සුබපැතීම හිතාමතාම පහළට දාලා කතා කරන එක. උදාහරණයක් විදියට ඔන්න කෙනෙක් අපිට කියනවා “ලස්සන ගවුමක්, ඒක ඔයාට ලස්සනයි, හරි වටින පෙනුමක් තියෙනවා” කියලා. එතකොට අපි කියනවා “අනේ එහෙම නෑ අනේ, මේක මම ගිය සතියේ අර සේල් එකෙන් ගත්තෙ රුපියල් අටසීයකට. පෙනුමෙ තරම් වටිනකමක් නෑ” කියලා. එතකොට අපි සෑහෙන්න නිහතමානීව ඇත්ත කිව්ව නේද කියලා එයා අපි ගැන පැහැදෙයිද? එහෙම නැතිනම් ඔන්න කෙනෙක් අපිට සුබ පතනවා “කන්ග්‍රැජුලේෂන්ස්, ඔයා විභාගෙන් පාස් වුණ එකට. ඔයාගෙ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා” කියලා. එතකොට අපි කියනවා, “අනේ එහෙම එකක් නෑ, විභාගෙ හරිම ලේසියි ගොඩක් අයට, ඉතින් මගෙ අමුතු දක්ෂකමක් නෑ” කියලා. එතකොට අපි හරිම නිහතමානී කියලා හිතලා එයා අපි ගැන පැහැදෙයිද? ඇත්තටම නෑ. ඒකෙන් වෙන්නේ අර සුබපැතීම හරි ප්‍රශංසාව හරි හෑල්ලු වෙන එක විතරයි!

 

හරි, නොකළ යුතු දේවල් ඔක්කොම කිව්වනේ. එහෙමනම් කොහොමද හැබෑටම හරියටම ප්‍රශංසාවක් හරි සුබපැතීමක් හරි භාරගන්නේ? සරලයි. බොහොම හොඳ, අව්‍යාජ හිනාවක් එක්ක, රිලැක්ස් එකේ, අවංකව ඒ ප්‍රශංසාවට නැතිනම් සුබපැතීමට ස්තුති කරන්න. අවශ්‍ය නම් ඒකට ස්තුති පූර්වකව යමක් එකතු කරන්න. උදාහරණයක් විදියට, “යූ ලුක් හැන්ඩ්සම් ටුඩේ” කිව්වොත්, “තෑන්ක් යූ වෙරි මච්, යූ ආර් වෙරි කයින්ඩ්” කියලා කියන්න පුළුවන්. ඔච්චරයි. ඕකට වෙන කිසිම කැටයමක් අවශ්‍ය නෑ. ඊට අමතරව අපිට ප්‍රශංසාවන් හෝ සුබපැතීම් ලැබුණත් නැතත්, අදාළ තැනදී අනික් අයට ප්‍රශංසා කරන්න සහ සුබ පතන්නත් මතක තියාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *