දුම්පානයෙන් අත්මිදෙන්නේ මෙහෙමයි!

දැන් ඔය දුම්බීම කියන එක ලොකු ප්‍රශ්නයක් ද? ඒකට උත්තර දෙන එක ටිකක් අමාරුයි. මොකද, දුම්බීම කියන එක, ඒ කියන්නේ සිගරැට් එහෙම බීම නීතියෙන් තහනම් නෑ, අවුරුදු 18 ට වැඩි අයට. හැබැයි ලෝකේ ගොඩක් රටවල මේ වෙනකොට ඔය දුම්බීම සීමා කරන්න විවිධාකාරයේ උපක්‍රම සහ නීතිරීති යොදාගෙන යනවා. ඒකට එක හේතුවක් වෙන්නේ, දුම්බීම බොහොම පහසුවෙන් ඇබ්බැහියක් වෙන්න පුළුවන් වීමත්, ඒ වගේම දුම්බීම නිසා විවිධාකාර සෞඛ්‍ය ගැටළු ඇතිවෙන්න පුළුවන් වීමත් නිසා තමයි. තමන්ට වයසත් 18 ට වැඩි නම්, දුම්බොන්නත් අවශ්‍ය නම්, ඒක තමන්ගේ අයිතියක්. මොකද, දුම්බීම නීතියෙන් තහනම් නැති නිසා. හැබැයි ඉතින් ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැනේ. ආන්න ඒ නිසා, දුම්පානය තමන්ට නවත්වාගන්න බැරි තරමට දැඩි ඇබ්බැහියක් වෙනවා කියන්නෙ නම් ලොකු ගැටළුවක් තමයි. ඇත්තටම සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට දුම්පානය නවත්තාගන්න ඕන වුණත්, ඒක නවත්තගන්න බැරි වීම. ආන්න ඒ අයට, දුම්පානය නවත්වාගන්න උදවු වෙන ටිප්ස් කීපයක් අපි ලබාදෙන්න හිතුවා. දිගටම කියවලා බලන්න!

 

1. දුම්බීමෙන් අත්මිදෙන්න හේතුවක්

ඇත්තටම දුම්බීමෙන් අත්මිදෙන්න නම්, ඒකට බලපාන ප්‍රබල හේතුවක් අපිට අවශ්‍ය වෙනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ආදරේ ඊට වඩා වටින හින්දා? ගෙදර ඉන්න පුංචි ළමයින්ටත් තමන්ගේ දුම්බීමෙන් හානියක් වෙන්න පුළුවන් හින්දා? හිතාගන්න බැරි විදියට දුම්බීම නිසා තමන්ගේ ධනය නාස්ති වෙන හින්දා? තමන්ගේ ශරීර සෞඛ්‍යය දුම්බීම හින්දා ශීඝ්‍රයෙන් පිරිහෙන හින්දා? වයස්ගත වෙනකොට හාට් ප්‍රශ්න, පෙණහළු පිළිකා වගේ ජීවිතේම එපා කරවන, ජීවිතේ කෙළවර කරවන සෞඛ්‍ය ගැටළු හින්දා? ඇත්තටම මේ හැමදෙයක්ම හින්දා වෙන්නත් පුළුවන්. ඉතින් දුම්පානය නවත්තගන්න ඕන නම්, අපි තෝරගන්න වුවමනායි, අපිට දුම්පානය කරන එක සාධාරණීකරණය කරගන්න අපි විසින්ම කියාගන්නා විවිධාකාරයේ හේතු වලට වඩා ප්‍රබල වෙන්න පුළුවන් විදියේ හේතුවක්. ඒක උඩ කියලා තියෙන එක හේතුවක් හෝ ඒ ඔක්කොම හේතු නිසා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ට පෞද්ගලික වෙනත් ඕනෑම හේතුවක් වෙන්නත් පුළුවන්!

 

2. නිකොටීන් රිප්ලේස්මන්ට්

දැන් දුම්බීමෙන් ශරීරයට එකතුවෙන නොයෙකුත් රසායනික ද්‍රව්‍ය අතරේ, ප්‍රධානතම දෙයක් වෙන්නේ නිකොටීන් නේ. ඇත්තටම නිකොටීන් නිසා තමයි දුම්පානයෙන් ලැබෙන යම් කිසි ආතල් කියලා හිතෙන ෆීලින් එකක් ලැබෙන්නෙත්. හැබැයි ඒ වගේම, නිකොටීන් ම තමයි තදබල ඇබ්බැහිකාරකයක් වෙන්නෙත්. ආන්න ඒ නිසා, සමහරු නිකොටින් රිප්ලේස්මන්ට් තෙරපි වලටත් යොමුවෙනවා, දුම්පානයෙන් අත්මිදීම සඳහා. ඒ කියන්නේ එක්කෝ නිකටින් පැච් වගේ දෙයක්. එහෙම නැතිනම් වේපින්ග් නැතිනම් ඉලෙක්ට්‍රොනික් සිගරැට් ඔස්සේත් මේ නිකොටීන් රිප්ලේස්මන්ට් එක කරන්න පුළුවන්. හැබැයි මේ කොයි විදියෙදී වුණත් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ, තමන් ඇඟට ලබාගන්න නිකොටීන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු කරගෙන ගිහිල්ලා, අන්තිමට නවත්තලාම දාන එක. එහෙම නැතුව සිගරට් ඇබ්බැහියෙන් අත්මිදෙන්න වෙනත් ක්‍රමේකට ඇබ්බැහි වීම හරියන්නෙ නැහැ කියන එකත් මතක තියාගන්න වෙනවා.

 

3. ආදරේ කරන අයගෙන් උදවු

මතක තියාගන්න, අපි දුම්පානයෙන් අත්මිදෙන්න උත්සාහ කරන්නේ අවංක හේතුවක් හෝ හේතු ගණනාවක් නිසානේ. ඒ හේතුව හෝ හේතු ගොඩක් වෙලාවට සෘජුව හෝ වක්‍රාකාරව අපි ආදරේ කරන උදවිය එක්කත් බැඳී පවතිනවා. උදාහරණයක් විදියට කිව්වොත්, අපි ශරීර සෞඛ්‍යය පිරිහීම ගැන හිතලා දුම්පානය නවත්තන්න උත්සාහ කරනවා නම්, ඒක අපි ආදරේ කරන අයට සහ අපේ පවුලේ අයටත් වැදගත් දෙයක්නේ. ආන්න ඒ නිසා, ඒ අයගේත් උදවුව අපේ ඇබ්බැහිය නවත්තන එකට ලබාගන්න එක වැදගත්. ඒක පටන් ගන්න පුළුවන් ඒ අයට අපි දුම්පානය කරනවා, ඒක නවත්තන්න උත්සාහ කරනවා, ඒකට උදවු කරන්න කියන එක කීමෙන්. ඒ අයට කියන්න අපිට සහාය, සපෝට් එක ලබාදෙන්න කියලා. අතරමැදදී එක සිගරට් එකක් හරි බොන්න ආසාවක් ආවොත්, ඒකෙන් වැළකෙන්න අපිට උදවු කරන්න ඒ අයට පුළුවන්. අපි සිගරට් නොබී ඉන්න ට්‍රයි කරනකොට, ඒකට ප්‍රශංසා කරන්න, අපිව දිරිමත් කරන්න ඒ අයට පුළුවන්.

 

4. බාලගිරි එපා, බොරු ආත්මවිශ්වාසයත් එපා

 

ගොඩක් වෙලාවට කෙනෙක්ට ඇත්තටම හිත යටින් හරි දුම්පානයෙන් අත්මිදෙන්න අවශ්‍යතාවයක් තිබුණත්, ඒක ඉෂ්ට කරගන්න බැරි ප්‍රධාන හේතු දෙකක් තමයි වැඩේ කල්දාන එක සහ, තමන් ගැන බොරු ආත්ම විශ්වාසයකින් යුක්ත වීම. ඒ කියන්නේ ඔන්න අපි හිතනවා දුම්පානය නවත්තන්න ඕන කියලා. හැබැයි ගෙනාපු පැක් එක තියෙනවනේ, ඒකට මොකද කරන්නේ? අවුලක් නෑ. අපි ඔය පැක් එකත් ගහලම ඉවර වුණහම දුම්බොන එක නවත්තනවා කියලා හිතනවා. හැබැයි ඒ පැක් එක ඉවර කළාට පස්සේ අපි දුම්බොන එක නවත්තන්න ට්‍රයි කරයිද? ගොඩක් වෙලාවට වෙන්නේ, අපි ඒ වගේම තව වෙනත් නිදහසට කරුණක් හොයාගෙන, දුම්බොන එක නවත්තන ප්‍රොජෙක්ට් එක හෙටට කල්දානවා. හැබැයි කවදාවත් ඒ හෙට එන්නෙ නම් නෑ. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි තමන් ගැන තියෙන බොරු ආත්ම විශ්වාසය. ඔය සමහරු ඉන්නේ “මට ඇබ්බැහියක් නෑ, මට ඕනම වෙලාවක මේක නවත්තන්න පුළුවන්” කියලා බොහොම ආඩම්බරෙන් කියන. අන්න ඒ ආත්ම විශ්වාසය නිසාම එයා හිතන්නේ, තමන් දුම්බීමට ඇබ්බැහි වෙලා නෑ, තමන්ට ඕනම වෙලාවක මේක නවත්තලා දාන්න හැකියාව තියෙනවා, ඒ නිසා ගැටළුවක් නෑ කියලා තමයි. හැබැයි ඇත්තටම එහෙම හිතන එකත් ව්‍යාජයක්. මනසින් හදාගත්තු නිදහසට කාරණාවක්. මොකද අවශ්‍ය ඕනම වෙලාවක නවත්තලා දාන්න හිතාගෙන දිගින් දිගටම දුම් බොන එකයි, ඇත්තටම වැඩේ නවත්තනවා කියලා තීරණයක් ගන්න එකයි දෙකක්.

 

5. පොළඹවන දේවලින් ඈත් වෙලා

මෙන්න මේක අත්‍යාවශ්‍ය කාරණාවක්. ඒ තමයි, තමන්ට දුම්බොන්න පොළඹවන දේවල් වලින් හැකිතාක් ඈත් වීම. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදර සිගරට් පැකට් එකක් තියාගෙන දුම්බීමෙන් අත්මිදෙන්න බෑ. සමහර වෙලාවට අපි සිගරට් පැකට් එක හොයාගන්න බැරි තැනක හංගලා දුම්බීමෙන් අත්මිදෙන්න ට්‍රයි කරනවා. හැබැයි ඉතින් ඒක හංගන්නෙත් අපිම නම්, අපිටම ඕනම වෙලාවක ඒක හොයාගන්නත් පුළුවන් නේ. ආන්න ඒක නිකම් හිත රැවැට්ටීමක් විතරයි. ඒ නිසා සිගරට් පැකට් එක විසික් කරන්න. එහෙම නැතිනම් අවශ්‍ය වෙන කෙනෙක්ට දෙන්න. හැබැයි ගෙදර හෝ තමන් අවට දුම්බීමට අවශ්‍ය කරන කිසිම දෙයක් තියෙන්නෙ නැති වෙන්න ක්ලීන් කරන්න. ආන්න එතකොට පෙළඹවීම අඩු වෙනවා. තව උදාහරණයක් ගමු. ඔෆිස් එකේ දුම්බොන යාළුවෝ සෙට් එකක් ඉන්නවා නම්, ඒ අයත් එක්ක නිකම් දුම්බොන තැනට ගිහින් සෙට් වෙලා ඉන්න කියලා හිතාගෙනවත් යන්න එපා. මොකද, ඒකෙන් වුණත් අපිට පෙළඹවීමක් ඇති වෙනවා. විශේෂයෙන්ම දුම්පානයෙන් අත්මිදෙන්න උත්සාහ කරනවා නම්, ඇල්කොහොල් භාවිතයෙන් පවා මිදෙන්න, ඇල්කොහොල් භාවිතා වෙන තැන් වලට යන එකෙන් මිදෙන්න පවා උත්සාහ කිරීම හොඳයි.

 

6. ඒ වෙනුවට වෙනත් දේවල්

තමන්ට ඇත්තටම දුම්බීමෙන් මිදෙන්න ඕන නම්, ඇත්තටම ලයිෆ්ස්ටයිල් වෙනසක්, ඒ කියන්නේ ජීවන රටාවේ සීරියස් වෙනසක් කරන්න සිද්ධ වෙනවා. ගොඩක් අය දුම්බොන්නේ ඇයි? එහෙම ඇහුවොත් එක් එක් කෙනෙක්ට එක් එක් විදියේ කතන්දර තියෙනවා. සමහරු නිර්මාණශීලීව හිතන්න ඕන නිසා දුම්බොනවා. සමහරු රාත්‍රියේ ඇහැරගෙන වැඩ කරන්න ඕන නිසා දුම්බොනවා. තවත් සමහරු ටොයිලට් යන්න ඕන නිසා දුම්බොනවා. හැබැයි ඇත්තම කතාව, දුම්බීම නිසා ඔය එක දෙයක්වත් වෙන්නෙ නෑ. ඒක අර නිකොටින් වලින් ඇතිකරන උත්තේජනය නිසා මිනිස්සු හිතාගන්න දේවල් විතරයි. ඇබ්බැහිය නිසා කෙනෙක් හිතන්න පුළුවන් හොඳට ටොයිලට් යන්න නම් සිගරට් එකක් බොන්න ඕන කියලා. හැබැයි සිගරට් එක නැතුව වුණත් ඇත්තටම ටොයිලට් යන්න බැරි කමක් නෑ. ඒක මනසින් හදාගන්න මිත්‍යාවක්. අන්න ඒ නිසා, තමන්ගේ ලයිෆ්ස්ටයිල් වෙනසක් අවශ්‍යයි. දුම්බීලා කරහම හොඳටම කරන්න පුළුවන් කියලා හිතන දේවල්, දුම්නොබීම කරන්න පටන් ගන්න. ඒ වගේම, කෙනෙක්ට තමන්ගේ මානසිකත්වය දුම්බීමෙන් සැහැල්ලු කරගන්න පුළුවන්, හිතේ තියෙන ස්ට්‍රෙස් එක පීඩනය දුම්බීමෙන් නැතිකරගන්න පුළුවන් කියලා හිතෙන්නත් පුළුවන්. ඒකට වෙන රිප්ලේස්මන්ට් හොයාගන්න. උදාහරණයක් විදියට, ස්ට්‍රෙස් එන වෙලාවට එක්කෝ එක්සයිස් පාරක් දාන්න. එක්කෝ සිංදුවක් අහන්න. අන්න ඒ වගේ තමන්ගේ සෞඛ්‍යයට හිතකර වෙන වෙනත් දේවල් දුම්බීම වෙනුවට හොයාගන්න!

 

7. හොඳ ලයිෆ්ස්ටයිල් එකක්

උඩ කිව්වනේ ඇත්තටම ලයිෆ්ස්ටයිල් වෙනසක් අවශ්‍යයි කියලා දුම්බීමෙන් අත්මිදෙන්න නම්. එහෙම ලයිෆ්ස්ටයිල් වෙනසක් කියලා අපි කියන්නේ සෞඛ්‍යසම්පන්න ජීවිතයක් පටන් ගන්න එක. ඒක එක රැයින් කරන්න බෑ. හැබැයි එක රැයින් පටන් ගන්න පුළුවන්. ඒක පටන් ගන්න කරන්න පුළුවන් දේවල් තමයි සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගන්න එක. එතකොට ශරීරයට හොඳ එක්සයිස් සීරීස් එකක් පටන් ගන්න එක. මහ රෑ නිදිමරන්නෙ නැතුව, වෙලාවට කලාවට නිදාගැනීම සහ උදෑසනම අවදි වීම පුරුදු පුහුණු කරන එක. ඕන නම් භාවනා කිරීම්, යෝග ව්‍යායාම් වගේ දේවල් වුණත් ප්‍රගුණ කරන්න පුළුවන්. හොඳ ස්පෝට් එකක් එහෙම පටන් ගන්නත් පුළුවන්. තමන් ආස කරන විදියේ විනෝදාංශයක් දෙකක් පටන් ගන්නත් පුළුවන්. ඒ ඇරෙන්න, තමන්ගේ ආදරණීයයන්, පවුලේ අය එක්ක එහෙම කාලය ගත කරන්න වැඩි වෙලාවක් වෙන් කරන්නත් පුළුවන්. ඒ ඇරෙන්න ට්‍රිප් එකක් යන එක වගේ අවුට්ඩෝර් ක්‍රියාකාරකම් එහෙමත් පුළුවන් පුළුවන් වෙලාවට කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකතුවෙලා අපේ ලයිෆ්ස්ටයිල් එක පොසිටිව් පැත්තට වෙනස් කරනවා. ආන්න ඒක අපිට දුම්බීමේ ඇබ්බැහියෙන් අත්මිදෙන්නත් හොඳ පිටිවහලක් වෙනවා.

 

දැන් පැහැදිලි වෙන්න ඕන එක දෙයක්. දුම්පානයට තමන් ඇබ්බැහි වෙලා ඉන්නවා නම්, ඒක තමනුත් දන්නවා නම්, ඇත්තටම ඒකෙන් අත්මිදෙන්න වුවමනාවක් හදාගන්න එක තමයි මූලිකවම වෙන්න ඕන දේ. ඒකට ඉතින් ප්‍රමාණවත් චිත්ත ශක්තියකුත් අවශ්‍යයි. ඒ කියන්නේ හොඳ අධිෂ්ඨාන ශක්තියක්. එහෙම අධිෂ්ඨානයෙන් හිතලා, උඩ කියපු ටිප්ස් වලටත් අනුකූලව ක්‍රියාත්මක වුණොත්, දුම්පානයෙන් මිදෙන එක කිසිසේත්ම අසීරු නැහැ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *