ලෝකයේ වී වගා කිරීමේ ඉතිහාසය

වගා කරන වී වල වර්ග දෙකක් තියනවා. එයින් ඉන්ඩිකා කියන අපේ රටේ සහ නිවර්තන කලාපයේ වැවෙන වී ජාතිය මීට වසර 10,000 කට 14,000කට ඉස්සර වෙලා මිනිස්සු දියුණු කරගත් එකක් කියලා විශ්වාස කරනවා. දැනටත් චීනය, ජපානය වගේ පැතිවල වගා කරන ජැපොනිකා කියන සහල් වර්ගයත් එහෙම පසුව මිනිස්සු තෘණ ආශ්‍රිතව දියුණු කරගත් බෝගයක් බවට තමයි විශ්වාස කරන්නේ. මුලින්ම එකපාර හාල් කියලා දෙයක් තිබුණේ නැහැ. කුඩා තෘණ ඇට තියෙන බෝගයන්ගෙන් ලොකු ඇට තියෙන ඒවා කාලාන්තරයක් තිස්සේ මිනිසා විසින් තෝරාගැනීම නිසා දැන් තියෙන හාල් ලෝකෙට ඇවිත් තියෙනවා.

 

1. චීන සාධක

දැනට තියෙන සාධක අනුව චීනයේ පර්ල් ගංගා නිම්න ආශ්‍රිතව මීට වසර 8200 – 13,500 කාලය ඇතුළත සහල් වගා කරලා තියෙන බව සොයාගෙන තියනවා. යැංසි ගඟේ මැද සහ ඒ ආශ්‍රිත කළාපයේ වී වගා කර ඇති බවට සාධක තියෙනවා. ගංගා පිටාර ගැලීම සුලභ නිසා, සහල් වලට අවශ්‍ය අමතර ජලය තියෙන මඩ සහිත වටපිටාව චීනයේ ගංගා ආශ්‍රිතව නිතරම පැවතී තිබෙනවා. 

 

2. යුරෝපයේ මැදිහත් වීම

චීනයේ, ලංකාවේ, ඉන්දියාවේ වවාගෙන කෑවාට හාලුත් ලෝකේ වටේ බෙදාගෙන ගියේ යුරෝපීය ජාතිකයන් විසිනුයි. යටත්විජිතකරණයේ යෙදුණු පෘතුගීසි ජාතිකයන් බ්‍රසීලයට සහල් හඳුන්වා දුන්නා. ඉන් පසු ස්පාඤ්ඤවරු දකුණු සහ මධ්‍යම ඇමරිකානු රටවලට සහල් හඳුන්වා දුන්නා. උතුරු ඇමරිකාවට හාල් ගේන්නේ 1685 තරම් මෑත කාලේ. වී වගාව ඇමරිකාවේ දකුණු කැරොලිනාවේ ජනප්‍රිය වෙන්නේ නම් 1800 ගණන් වලදීයි. බටහිර අප්‍රිකාවෙන් වී ගෙනත් පැළ කරන්න පුළුවන් වුණත්, ඇමරිකානු ජාතිකයන්ට වී වගා කරන සංකීර්ණ විදිහ අල්ල ගන්න ටික කලක් ගියා.

 

 

3. ආසියාවේ පැරණි වී වගාව

මුලින්ම කිව්වා වගේ චීනයේ පිටාර ගලපු ගංගා ආශ්‍රිතව වී වගාවේ මුල් සාධක හමුවෙලා තියෙනවා. ලෝකේ පැරණිතම සහල් පිළිබඳ සාධක තියෙන්නේ තමුන් ළඟ කියලා කොරියානුවන් කියනවා. පුරාවිද්‍යාත්මකව සනාථ වුණු ඒ සාධක මීට වසර 15,000කට එපිට කාලය තෙක් දිව යනවා. ඉන්දියාවේ ගංගා නිම්නය ආශ්‍රිතව වී වගා කරපු සාධක මීට වසර 7000කට පෙර ඒවා බවට විශ්වාස කරනවා. ඒ වගේම වසර 3000-2500 කට එපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේත් වී වගාව කෙරිලා තිබෙන බවට සොයාගෙන තියෙනවා. නූතන ලෝකයේ සහල් අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් පාකිස්තානය, බංග්ලාදේශය. මියන්මාරය, තායිලන්තය, පිලිපීනය, ජපානය, වියට්නාමය වැනි රටවලින් ලෝකයට එනවා. එය සමස්ථ ලෝක සහල් අවශ්‍යතාවයෙන් 92%ක් පමණ වෙනවා.

 

 

4. අප්‍රිකානු සහල්

අප්‍රිකාවේ මීට වසර 3500කට එපිට සිට වී වගා කරන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. ඒ පිළිබඳ සාධක ක්‍රිස්තු පූර්ව 1500-800 කාලයේ සිට හමු වෙලා තියෙනවා. නයිජර් ගංගා මිටියාවත සහ සෙනගාලය ආශ්‍රිතව පුරාතනයේ පටන් වී වගා කර තිබෙනවා. ආසියානු වී වර්ග වලට වඩාත් සමාන වී වර්ගයක් තමයි ඒ කාලේ ඉඳන් අප්‍රිකාවේ වවල තියෙන්නේ. අප්‍රිකානු සහල් අප්‍රිකාව මුහුණදුන් 1203 මහා සාගතයෙන් ගැලවෙන්න ඔවුන්ට උදව් වුණා.

 

 

5. මැදපෙරදිග

දැනටත් මැදපෙරදිග සහ ඊජිප්තුව හෙක්ටයාරයකට සහල් මෙට්‍රික් ටොන් 10-12ක් තරම් වැඩි අගයක අස්වැන්නක් ලබාදෙන අරුම පුදුම සහල් වගා කරන කළාපයක්. ලංකාවේ හෙක්ටයාරයකට ලැබෙන වැඩිම අස්වැන්න සහල් මෙට්‍රික් ටොන් දෙකක් වගේ අගයක්. ඉතින් මේ මැදපෙරදිග කළාපයේ දකුණු ඉරාකයේ සහල් වගා කරනවා. මේ කළාපයට මුස්ලිම් වෙළඳුන් සහල් හඳුන්වා දෙන්නට ඇති බවට විශ්වාස කරනවා. නයිල් නිම්නයේ වොල්ගා නදී නිම්නයේ පලස්තීනය, ජෝර්දානය, යේමනය වැනි රටවල එදා පටන්ම සහල් වගා කර තිබෙනවා.

 

 

6. යුරෝපයට

යුරෝපයේ බෝල්කන් පළාතට ඔටෝමාන් අධිරාජයා සහල් හඳුන්වා දුන්නා. 15 වන ශතවර්ෂයේදී ඉතාලිය සහ ප්‍රංශයේ සහල් වගා කරන්නට පටන් අරන් තිබුණා. ඊට පෙර මුස්ලිම්වරු විසින් සහල් යුරෝපයට හඳුන්වා දෙන්නට උත්සාහ කර තිබුණා. නමුත් වී වගාවට එතරම්ම හිතකර පරිසරයක් නැති නිසා වී වගාව යුරෝපයේ එතරම්ම ජනප්‍රිය වගාවක් වුණේ නැහැ.

 

 

7. ලතින් ඇමරිකාව සහ කැරිබියන් කළාපය 

කලින් සඳහන් කළ විදිහට පෘතුගීසීන් ස්පාඤ්ඤවරු ඇතුළු යටත්විජිත පාලකයින් දකුණු ඇමරිකාවට සහල් හඳුන්වා දුන්නේ 1500 ගණන් වලින් පසුවයි. ඒ කාලේ වහල් වෙළඳාම ජයට තිබුණා. වී ටිකක් වවාගෙන කාල බීලා විනෝදයෙන් හිටපු අප්‍රිකානු ජනතාව බලෙන් අල්ලාගෙන වහලුන් විදිහට සිය යටත් විජිත වලට ගෙනියන්න යුරෝපීයයන් ක්‍රියා කළා. ඒ එක්ක එවකට වී වගා කරමින් හිටපු අප්‍රිකානුවන්ගේ ඒ පුරුද්ද දකුණු ඇමරිකාවටත් කඩා වැදුණා.

 

 

8. ඔස්ට්‍රේලියාව

සාරවත් තණබිම්, ගවයින්, කැංගරුවන් ඔස්ට්‍රේලියාව සලකුණු කළාට එහි වී වගා කරන බවට වැඩිමනක් දෙනෙක් දන්නේ නැහැ. ඔස්ට්‍රේලියාව වී වගාව අරඹන්නේ 1920 තරම් මෑත කාලයේ. ඒත් ඔස්ට්‍රේලියාව දැනට ලෝකයේ හෙක්ටයාරයකින් වැඩිම අස්වැන්න ගන්න වී වගා කරන රටක් බවට පත් වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ මරේ නිම්නයේ ඉඩම් වල තමයි වැඩිපුර වී වගා කරන්නේ. සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඉඩකඩම් ලාබ වීම ඔස්ට්‍රේලියානු වී වගා කරුවන්ට හොඳට හම්බකරන්න හේතුවක් වුණා. ඒ වගේම මෑත කාලීනව විශාල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 8-10 තරම් වාර්තාගත අස්වනු ලබාගන්න නිසා ඕස්ට්‍රේලියාව සහල් අපනයනයෙනුත් ඉදිරියට ඇවිත් තියෙනවා.

 

වැව් අමුණු හදලා රට බතින් බුලතින් පෝෂණය කළා කිව්වට අපි වෙනත් රටවල වී වගාවන් ගැන දන්නේ අඩුවෙන්. අපිට වසර 2000කට පෙරත් හොඳ වාරි තාක්ෂණයක් තිබුණා. ඒත් ඒ වනවිටත් ලෝකයේ කළාප ගණනාවකම සාර්ථකව මිනිස්සු වී වගා කරමින් හිටියා. ඉතින් ඔයාගේ යාළුවන්ටත් දැනුවත් වෙන්න මේ තොරතුරු ෂෙයාර් කරගන්න කියලත් අපි අවසාන වශයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *