මෝඩ යකෙක් එක්ක තමන්ගේ බැංකු කාඩ් පරිස්සම් කරගන්නේ මෙහෙමයි!

දැන් කාලේ බැංකු කටයුතු ගැන බැලුවහම, ඉස්සර කාලෙට සාපේක්ෂව පුදුමාකාර දියුණුවක් අත්පත් කරගෙන තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද? ආයෙ බැංකු කටයුතු ඕනෑ එකක් සටස් පටස් ගාලා ඔන්ලයින්ම කරගන්න පුළුවන්. එතකොට, කාඩ් එක විතරයි අතේ තියෙන්න ඕන. හැබැයි ඉතින් ලෝකේ ඕනම දේකට පොදු ධර්මතාවක් තියෙනවා. ඕනම දෙයක් අපේ පහසුවට හරි දියුණු වෙනකොට, හොරකං මැරකං සිද්ධ වෙන ක්‍රමත් ඒ හා සමානවම දියුණු වෙනවා. එතකොට ඉතින් ඔය අපේ බැංකු කටයුතු අද වෙනකොට වඩාත් ආරක්ෂාකාරී, වඩාත් පහසු වෙලා තිබුණට, ඒ හා සමානවම අපෙන් හොරකම් කරන්න පුළුවන් ක්‍රම එහෙමත් දියුණු වෙලා තියෙනවා. ඉතින් අපි ඔව්වා දැනගෙන ඉන්න ඕනෑ, හා නැද්ද?

 

දැං උදාහරණෙකට අපි හිතමු, අපේ බැංකු කාඩ් එක නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එක තියෙන්නේ අපේ ඇසිස්ටන්ට් ගාව කියලා. ඒක ඇත්තටම බොහොම සුලභ සිදුවීමක්. මොකද, ගොඩක් ලොකු ව්‍යාපාරිකයන්ගේ, සල්ලිකාරයන්ගේ එහෙම එකවුන්ට්ස් මැනේජ් කරන්නෙත් ඇසිස්ටන්ට්ලා. සමහර වෙලාවට කෝපරේට්‍ ක්‍රෙඩිට් කාඩ් එක එහෙමත් තියෙන්නේ එහෙම තමන් යටතේ වැඩ කරන අය ගාව. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ නැති වුණාට, ඔය අතරේ “මෝඩ යකෙක්” එහෙම ඉන්න පුළුවනිනේ. ආයෙ, සල්ලි ටිකට විදලා මාරු වෙන්න බැරිද? බැරි නෑ, පුළුවන්. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ, ඒ වගේ අවස්ථාවක් උදාවෙනවා නම් අපි කියන විදියේ ආරක්ෂා ක්‍රම සහ විධි අනුගමනය කරන්න කියලා!

 

1. ලොකු සල්ලි ප්‍රයිවට්

සාමාන්‍යයෙන් අතිශයින්ම දැවැන්ත ව්‍යාපාරයකට නැතිනම් දැවැන්ත සල්ලිකාරයෙක්ට වුණත් කියන්න අවශ්‍ය දෙයක් තමයි, තමන්ගේ එදිනෙදා වියහියදම් සිද්ධ වෙන බැංකු ගිණුමක කෝටි ගණන් තියාගන්න එපා කියන එක. යම් කිසි එකවුන්ට් එකක්, පඩිය ඔහේ එකතුවෙන්න අරිනවා වගේ සල්ලි විශාල ප්‍රමාණයක් කාලයත් එක්ක එකතුවෙන වැඩකට යොදාගන්නවා නං, කරුණාකරලා ඒ එකවුන්ට් එක තමන්ගේ පර්සනල් එකක් විදියට තියාගන්න. ඒකට ප්‍රවේශ වෙන ඉඩ තමන්ගේ ඇසිස්ටන්ට්ට වත් දෙන්න අවශ්‍ය නැහැනේ. එතකොට එදිනෙදා වියහියදම් සිද්ධ වෙන, තවත් කෙනෙක්ටත් ඇක්සස් දෙන එකවුන්ට් එකක් නම්, ඒකේ තමන් කලින් හිතාගත්තු නිශ්චිත ගාණක් තියාගන්න. ඒක කෝටි තුනක් තරම් ලොකු ගාණක් වෙන්න කොහෙත්ම හේතුවක් නෑනේ. හරියට, පෙටි කෑෂ් එකවුන්ට් එකක් වගේ තියාගත්තහම හරි.

 

2. අන්ලිමිටඩ් එපා

දැන් සාමාන්‍යයෙන් අපේ පර්සනල් ක්‍රෙඩිට් කාඩ් වලටත් බැංකුව අහනවනේ කාලෙන් කාලෙට ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරන්නද කියලා. අපිත් ගොඩක් වෙලාවට හා කියනවනේ. හැබැයි ඉතින් කෝපරේට් කාඩ්, තමන්ගේ ඇසිස්ටන්ට්ට දීලා තියෙන ක්‍රෙඩිට් කාඩ් එක වගේ ගත්තොත්, එහෙම බැංකුවෙන් දෙන පළියට ලිමිට් වැඩි නොකර තියාගන්න එක තමයි නුවණට හුරු. විශේෂයෙන්ම අතිශයින්ම විශාල ලිමිට් එකක් තියෙනවා කියන්නෙම, ඒක මේන්ටේන් කරන්න යන වියදමත් වැඩියි, කරදරකාරීත්වයත් වැඩියි කියන එක. අනික් එක, අනවශ්‍ය ප්‍රශ්න වැඩියි. ඒ නිසා, තමන්ට පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන් ලිමිට් එකක ඒ වගේ කාඩ් එකක් පවත්වා ගන්න එක නුවණට හුරුයි.

 

3. නෝටිෆිකේෂන් ඔන්

තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් වුණත්, බැංකු ගිණුමක් වුණත්, ඊවොලට් එකක් වුණත් කමක් නෑ, තමන්ගේ ෆෝන් එකට මොකක් හරි සල්ලි ගැනීමක්, සල්ලි දැමීමක්, වියදමක් වුණහම නෝටිෆිකේෂන් එන පහසුකම් සක්‍රීය කරලා තියෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඇයි එහෙම කියන්නේ? එතකොට මොන ප්‍රශ්නයක් වුණත්, මොන වියදමක් තමන්ගේ එකවුන්ට් එකකින් හරි කාඩ් එකකින් හරි සිද්ධ වුණත්, තමන් දැනුවත්. සාමාන්‍යයෙන් අතිශයින්ම කාර්යබහුල ව්‍යාපාරිකයෙක්ට නැතිනම් වෘත්තිකයෙක්ට එහෙම ගනුදෙනුවක් සිද්ධ වෙන හැම වෙලාවකම එන නෝටිෆිකේෂන් බලමින් ඉන්න පුළුවන්ද? අමාරුයි තමයි. ගොඩක් වෙලාවට එහෙම කෙනෙක්ගේ ෆෝන් එක පවා මේන්ටේන් වෙන්නේ ඇසිස්ටන්ට් කෙනෙක් අතින්නේ. හැබැයි ඉතින් පස්සේ ගැටළු ඇතිවෙනවට වඩා, තමන් කොයි තරම් කාර්යබහුල වුණත් තමන්ගේ එකවුන්ට් වල වෙන ගනුදෙනු ගැන ඇහැ ගහගෙන ඉන්න එක නුවණට හුරුයි!

 

4. කාලෙන් කාලෙට චෙක් කරන්න

ගොඩක් වෙලාවට අපි ගාවම ඉන්න කෙනෙක් ලොකු පහේ මූල්‍ය වංචාවක් අපේ එකවුන්ට් එකකින් කරන්න පෙළඹෙනවා, අපි ඒ එකවුන්ට් එකත් එක්ක ටච් එකේ නැහැයි කියලා හිතුණොත්. නිකමට හිතන්න, ගෙදර මේසේ උඩ මාසයක් දෙකක් තිස්සේ රුපියල් පන්දාහෙ කොළයක් තියෙනකොට, ඒක අපිට අමතක වෙලා කියලා හිතාගෙන හරි ගන්න පෙළඹෙන එකක් නැද්ද ගෙදර වැඩට ඉන්න කෙනෙක්? ආන්න ඒ නිසා, එහෙම එකවුන්ට්ස්, කාඩ්ස් අමතක කරලා දාලා ඉන්න එපා. මාසිකව බැංකු ස්ටේට්මන්ට් චෙක් කරන්න. ඒක තමන් තනියෙන් කරන්න ඕන කියලා එකක් නැහැනේ. ලොකු ව්‍යාපාරිකයෙක් හරි වෘත්තිකයෙක් හරි නම්, එකවුන්ට්ස් ඩිපාට්මන්ට් එක හරහා කරවගන්න පුළුවන්. තමන්ට තියෙන්නේ පොඩි අධීක්ෂණයක් කරන්න විතරයි!

 

5. වෙනස් වෙන විස්තර ලබාදෙන්න

තමන්ගේ එකවුන්ට්ස් නැතිනම් කාඩ්ස් තියෙන බැංකු එක්ක සාමාන්‍යයෙන් හොඳ ටච් එකක් තියාගන්න එකත්, මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔන්න අපි කාඩ් එකක් ගන්නවා යම් කිසි පුද්ගලික විස්තර ටිකක් ලබාදීලා. හැබැයි ඔව්වා වෙනස් වෙන්න පුළුවනිනේ. ඒ කියන්නේ පදිංචිය, ටෙලිෆෝන් අංක වගේ දේවල්. අන්න එතකොට, බැංකු වලටත් ඒ වෙනස් වුණු විස්තර ලබාදෙන්න කටයුතු කරන්න ඕන. ඕක මාසිකව කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. අඩු ගාණේ මාස හයකට සැරයක් වත් කෝල් සෙන්ටර් එකකට කතා කරලා, තමන්ගේ එකවුන්ට්ස් වල, කාඩ් වල තත්ත්වය ගැන පොඩ්ඩක් කතා බහ කරලා දැනුවත් වුණාට කාරි නෑ.

 

6. වියදම් හරියට දැනුම් දෙමු

මේක ඉතාම වැදගත් කාරණාවක්. තමන්ගේ පර්සනල් එකවුන්ට්ස් බලාකියා ගන්නේ, තමන්ගේ දෛනික වියදම් බලාකියාගන්නේ තමන්ගේ පර්සනල් සෙක්‍රටරි හරි ඇසිස්ටන්ට් හරි නම්, පුළුවන් තරම් කට වචනෙන් දෙන විධාන නොකර ඉන්න එක නුවණට හුරුයි. ඒ කියන්නේ, නිකම්ම ගෑස් බිල ගෙවහං, පෙට්‍රල් ගහගෙන වරෙං, අන්න අරූට කන්න අරං දීපං කියලා කියනවට වඩා, ඒක මැසේජ් එකක් හරි ඊමේල් එකක් හරි, වෙනත් ඒ වගේ සාක්ෂි තියෙන ක්‍රමේකින් දැනුම් දෙන එක තමයි දෙපැත්තටම හොඳ. එතකොට ඇසියට අපි නොකියපු වියදමක් කරලා කියන්න බෑ ලොක්ක කිව්ව නිසා කළා කියලා. අපිටත් අපි කරන වියදමක් අමතක වෙන්නෙ නෑ. දැන් මේ කාරණාව වුණත් කෙනෙක් නොතකා හරින්න පුළුවන් තමන්ගේ කාර්යබහුල කම නිසා කියලා. හැබැයි කාර්යබහුල වීමට වඩා වටිනවා තමන්ගේ මූල්‍ය ආරක්ෂාව.

 

7. හොර වියදම් හොරාට

මේක නං ඉතින් නිල වශයෙන් අපි ලබාදෙන ටිප් එකක් නෙවෙයි. දැන් කොයි තරම් ලොකු මනුස්සයෙක්, ලොකු ප්‍රොෆෙෂනල් ඩයල් එකක්, ලොකු බිස්නස් කාරයෙක් වුණත් ඔය හොරාට කරන වියදම් එහෙම තියෙන්න පුළුවනිනේ. අපි කියන්නේ එහෙම මනුස්සයෙක් ඔය සයිඩ් එකෙන් කරන ස්පෙයාර් වීල් එකට දියමන්ති මාලයක් අරගෙන දෙයි, යාලුවෙක්ගෙන් ෂේප් එකේ හයර් එකට ගත්තු ජෙට් එකට අනික් අයට හොරා තෙල් ගහලා රවුමක් යයි, රට ඉඳන් ආපු කොමිස් යාලුවෙක්ට කාටත් හොරා කෑමක් අරන් දෙයි, හොර කොටුවක් පනින්න සිංගප්පූරු යයි වගේ සීන්ස් නෙවෙයි. අපි කියන්නෙ මේ වයිෆ්ට හොරෙන්, වයිෆ්ව සර්ප්‍රයිස් කරන්න තෑග්ගක් අරන් දෙනවා වගේ හොර වියදම් ගැන. හරි, මොකක් හරි, එහෙම වියදම් කවදාවත් ඇසිස්ටන්ට් හරි, ඔෆිස් එකේ ස්ටාෆ් එක හරි, එකවුන්ට් ඩිපාට්මන්ට් එක හරි හරහා කරන්න යන්න එපා. එදිනෙදා භාවිතා වෙන බැංකු එකවුන්ට් එකක්, කාඩ් එකක් හරහා එව්වට වියදං කරන්නත් එපා. ප්‍රයිවට් වැඩ, හොර වැඩ ප්‍රයිවට් එකේ තියාගන්න. එව්වට වියදං කරන බැංකු එකවුන්ට් වුණත් ප්‍රයිවට් එකේ තියාගන්න!

 

දැන් ඕකේ අනික් පැත්තකුත් තියෙනවා. අපි කියමු අපි තමයි ඇසිස්ටන්ට් කියලා. බොස්ගේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එක, එහෙම නැතිනම් කෝපරේට් ක්‍රෙඩිට් කාඩ් එක තියෙන්නේ අපි ගාව. අන්න එතකොට, අපි සමහර වෙලාවට බොස්ලගෙ කටවචනෙට කරන වියදම් එහෙම, අපේ පිටින් යන්නත් ඉඩ තියෙනවා. ආන්න ඒ නිසා, හැම වෙලාවකම බොස්ගේ කාඩ් එකකින් හරි කෝපරේට් කාඩ් එකකින් හරි මොකක් හරි පේමන්ට් එකක් කරනවා නං, ඒ අවශ්‍යතාවය ඊමේල් එකක් මාර්ගයෙන් හරි සහතික කරගන්න. එහෙමත් බැරි නං, ඒ පේමන්ට් එක කරපු වහාම අදාළ රිසිට් සහ බිල්පත් වල කොපියක් බොස්ට හරි එකවුන්ටන්ට් ට හරි යවලා, දැනුවත් කරලා ඉන්න. නැත්තං බොස්ගෙ හොර සීන් වලටත් අපිව මාට්ටු වෙන්න පුළුවන්. බොසුත් අන්තිමට කියයි “මහ මෝඩ යකෙක් මූ” කියලා!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *