අපි මීට කලින් කතා කළා විවිධ සිනමා කර්මාන්තවල ඔබ නැරඹිය යුතුම සිනමා නිර්මාණයන් ගැන. ඉතින් අද අපි කතාකරන්න හිතුවේ ජපන් සිනමාව ගැන. ජපන් සිනමාවත් වැඩි දෙනෙක් කතා නොකරන, නමුත් විශිෂ්ට සිනමා කර්මාන්තයක්.
1. Rashomon (1950)
මේ ලෝක ප්‍රසිද්ධ සිනමා කෘතිය ගැන නම් ඉතින් නොදන්න කෙනෙක් නැතුවත් ඇති. මේක අකිරා කුරසෝවා කියන අති විශිෂ්ට විශිෂ්ට සිනමා අධ්‍යක්ෂවරයාගේ විශිෂ්ටතම නිර්මාණයක්. කොටින්ම කියනවා නම් ඔස්කාර් සම්මාන වලටත් හිමිකම් කියපු ලෝකයේම ආදරය දිනාගත්තු නිර්මාණයක්. එක්තරා දරුණු අපරාධයක් සිදුවූ ආකාරය සම්බන්ධව පුද්ගලයන් සිවු දෙනෙක් විසින් කියනු ලබන එකිනෙකට වෙනස් ප්‍රකාශයන් හරහා දිව යන මේ චිත්‍රපටය අදටත් එක සේ රස විඳිය හැකි රසවත් සිනමා වියමනක්.
2. Still Walking (2003)
හිරොකසු කොරීඩාව (Hirokazu Koreeda) ගොඩක් අය හඳුන්වන්නේ වර්තමානය වෙද්දී ජපන් සිනමාවේ සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂවරයා විදියටයි. ඒ හඳුන්වාදීම වැරදි නෑ කියලා ඔහුගේ සිනමා නිර්මාණ නරඹන ඕනෑම සිනමා රසිකයෙක්ට හිතෙන එක වළක්වන්න බැහැ. එක්තරා පවුලක වැඩිමහල් පුතුගේ මරණ සංවත්සරය වෙනුවෙන් කාලෙකට පස්සේ මුණ ගැහෙන පවුලේ සාමාජිකයන් පිරිසකගේ කතාවක් තමයි මේ චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නේ. පැය 24ක පමණ කාලයක් තුළ සිදුවන සිදුවීම් පෙළකින් සමන්විත මේ හැඟීම්බර නිර්මාණය ඔබ අනිවාර්යයෙන්ම මග නොහැරගෙන රස විඳින්න.
3. Tokyo Story (1953)
මේක ගොඩක් අය හඳුන්වන්නේ ජපාන සිනමාවේ විශිෂ්ටතම අධ්‍යක්ෂවරයෙක් වන යසුජිරෝ ඕසු (Yasujiro Ozu) ගේ විශිෂ්ටතම සිනමා නිර්මාණය විදියටයි. ටෝකියෝ නගරයේ ජීවත් වන තම දරුවන්ව බැලීමට යන වියපත් දෙමාපිය යුවළක් වටා තමයි මේ චිත්‍රපටයේ කතාව දිව යන්නේ. දරුවන් සහ දෙමවුපියන් අතර පවතින බැඳීම්වල ස්වභාවය අපූර්ව ආකාරයෙන් හිත්වලට කාවදින විදිහට නිර්මාණය කර තිබෙන අති විශිෂ්ට නිර්මාණයක් තමයි මේ ටෝකියෝ අන්දරය.
4. Seven Samurai (1954)
මේක අධ්‍යක්ෂණය කරන්නේ අපි කලින් කතා කරපු රශෝමොන් නිර්මාණයේම අධ්‍යක්ෂවරයා වන අකිරා කුරාසෝවායි. ගොඩක් අය මේ නිර්මාණය හදුන්වන්නේ ඔහුගේ වැදගත්ම සිනමාපටය විදියටයි. මේ සිනමාපටයට පාදක වෙන්නේ මංකොල්ලකාරයන්ගෙන් පිඩනයට පත් වුණු අසරණ ගැමියන් පිරිසක් ජීවත්වෙන ගමක් ආරක්ෂා කරන්න හදන සමුරායිවරුන් හත් දෙනෙක් කරන සටනක්. මෙහි ක්‍රියාදාමවලට යටින් සමුරායිවරුන්ගේ ජීවිතවල අපි මතුපිටින් නොදකින සංවේදී කතාවකුත් දිවයනවා. මේ කතාව ජපන් සිනමාව තුළ විතරක් නෙමෙයි, ලෝක සිනමාව තුළත් ගොඩක් නිර්මාණ වලට බලපෑමක් එල්ල කරපු සහ ආභාෂයක් සපයපු සිනමා නිර්මාණයක්.
5. Drive my Car (2021)
මේ ලැයිස්තුවේ තියන අලුත්ම නිර්මාණය තමයි මේක. මේ සිනමාපටය තිරගත වුණේ පසුගිය 2021 වසරේදීයි. මේ සිනමාපටයට පාදක කොටගෙන තිබෙන්නේ හරුකි මුරකමි විසින් මේ නමින්ම රචනා කරන ලද කෙටිකතාවක්. බිරිඳගේ වියෝවෙන් පසු තනිකඩව ජීවත්වන මැදිවියේ නළුවෙක් සහ ඔහුගේ රියැදුරුවරිය හැටියට සේවයට පැමිණෙන ලාබාල තරුණියක් අතර ඇතිවන අපූරු සම්බන්ධතාවයක් තමයි මේ චිත්‍රපටයේ කතාවට මූලික වන්නේ. හරිම සියුම් සංකේත භාවිතයක්, හරිම සියුම් ජීවන කියවීමක් ඇතුළත් මේ නිර්මාණයත් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම එකක්.
6. Departures (2008)
හොඳම විදෙස් භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානයට පවා හිම්කම් කියපු විශිෂ්ට ජපන් සිනමා නිර්මාණයක් මේක. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ යොජිරෝ ටකිටා (Yojiro Takita) කියන අධ්‍යක්ෂවරයා. රැකියාවෙන් ඉවත් කරපු චෙලෝ වාදකයෙක් පසුව මිනී එම්බාම් කරන්නෙක් ලෙස රැකියාවක නිරත වෙන අකාරය තමයි මේ චිත්‍රපටයේ කතාව වෙන්නේ. ජීවිතය ගැන අපූරු දර්ශනයක් මවන විශිෂ්ට සිනමාපටයක් මෙය.
.
7. The Grave of the Fireflies (1988)
ඇනිමේ එකක් කියලා මේක අපේ ලැයිස්තුවෙන් අයින් කළොත් ඒක ජපන් සිනමාවට කරන ලොකු අසාධාරණයක් කියලා අපි හිතනවා. විශිෂ්ට ඇනිමේ චිත්‍රපට ගොඩක් ජපන් සිනමාව තුළ බිහිවෙලා තියෙනවා. මේ ඒවා අතරිනුත් ඉහළින්ම සඳහන් කරන්න පුළුවන් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ හයාඕ මියසාකි (Hayao Miyazaki) කියන විශිෂ්ට අධ්‍යක්ෂවරයාගේ සිනමා සහකරුවෙක් වන ඊසාඕ තකහටා (Isao Takahata) විසින්. මේ සිනමාපටයට පාදක වෙන්නේ දෙවන ලෝක යුද්ධයේ ප්‍රචණ්ඩත්වයට මුහුණ පාන කුඩා සහෝදරයෙක් සහ සහෝදරියකගේ කතාවක්. ඉතින් නරඹපු ගොඩක් අයගේ ඇස අග කඳුළක් ඉතිරි කරපු සංවේදී නිර්මාණයක් විදියට මේ නිර්මාණය අපිට හඳුන්වා දෙන්න පුළුවන්.
ඉතින් අද අපි කතා කරපු චිත්‍රපට වලට අමතරව තවත් ගොඩක් විශිෂ්ට ජපන් සිනමා නිර්මාණ ඔබ නරඹලා ඇති. ඒවා ගැනත් අපට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා එහෙනම්!
ශශින් ප්‍රබෝද්
Leave a Reply