කවුද මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ?

පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලා තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර ඇතිවූ තත්ත්වයක් පිළිබඳව විශාල සමාජ කතා බහක් ඇති වුණා. එයට හේතුව වුණේ එම සරසවියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන් පිරිසක් කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් අදාළ සම්මාන සහ උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. සමාජ ජාලා තුළ මේ සිදුවීමට පක්ෂව සහ විපක්ෂව විවිධ අදහස් මතු වුණා. ඒ වගේම ඇතැම් අවස්ථාවල මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ පත් කිරීමට විරුද්ධ පිරිස් උන් වහන්සේව දැඩි ලෙස විවේචනය කළ ආකාරයත් අපි දුටුවා. මේ නිසා අපි හිතුවා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පිළිබඳව කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න. මෙහිදී අපි උන්වහන්සේගේ ජීව දත්ත වලට වඩා උන්වහන්සේ විසින් සිදු කළ කාර්යභාරය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කටයුතු කිරීමට තීරණය කළා.

 

1. පොදු හෙද සේවා සංගමය

වරක් මුරුත්තෙට්ටුවේ හිමියන්ට රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ මහ රෝහලේ නේවාසික වීමට සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී හෙද සේවකයන්ට අත්විඳීමට සිදු වූ දුෂ්කරතා දැක උන්වහන්සේ ඒ පිළිබඳ විමසිලිමත් වනවා. එහිදී උන්වහන්සේට දැනගැනීමට ලැබෙන්නේ හෙද වෘත්තීය සමිති සියල්ලම පාහේ දේශපාලනීකරණයට ලක් වී ඇති බව සහ ඔවුන් කිසිවෙක් හෙද හෙදියන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. ඒ අනුවයි හෙද සේවය වෙනුවෙන් සංගමයක් ආරම්භ කිරීමට උන්වහන්සේ තීරණය කරන්නේ.

 

2. ලැබූ ජයග්‍රහණ

මෙම හෙද සංගමය හරහා ලද පළමු ජයග්‍රහණය වන්නේ සියළු හෙද හෙදියන්ට මසකට දින හතරක නිවාඩු දින ලබා ගැනීමට සමත් වීමයි. එතෙක් කලක් හෙද සේවය පැවතියේ වහල් සේවයක තත්ත්වයක බව මේ වන විට බොහෝ දෙනකුට අමතකව ගොස් තිබෙනවා. එහිදී සටනක් කිරීමට සිදු නොවූ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එය අනුමත කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා ආරම්භයේදී සුළු සාමාජික පිරිසකගෙන් පමණක් සමන්විත වුණු මෙම සංගමයට වසරක් ගත වන්නට පෙර එහි සාමාජික ප්‍රමාණය 1000 ඉක්මවා ගොස් තිබෙනවා. එතැන් පටන් හෙද සේවයේ ලද ජයග්‍රහණ රාශියක පසුපස මෙම සංගමය සිටිනවා. වර්තමානයේදී එය හැඳින්වෙන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ලෙසයි. මෙම ගමනේදී උන්වහන්සේට දැවැන්ත නින්දා අපහාස වලට පමණක් නොව එක්තරා අවස්ථාවක අභයාරාමයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකටද මුහුණ දීමට සිදු වුණා.

 

 

3. වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කර ගැනීම

ත්‍රීමාවිතාරණ ශිෂ්‍යයාගේ ඝාතනයත් සමග ඇති වූ තත්ත්වය මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ පිරිසක් වෛද්‍ය විශ්ව විද්‍යාලය පුපුරුවා දැමීමට සැලසුමක් සකස් කර තිබුණු බව සඳහන් වනවා. එහිදී ශිෂ්‍යයන් සහ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සම්බන්ධ කිරීමට කටයුතු කළ මුරුත්තෙට්ටුවේ හිමියන් එම අවස්ථාවේ සිදුවීමට ගිය මහා විනාශයක් වළක්වාලීමට කටයුතු කර තිබෙනවා.

 

4. විපතේදී හැර නොයන මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ

මුරුත්තෙට්ටුවේ හිමියන්ට දැඩි ලෙස චෝදනා එල්ල වූයේ මහින්ද රාජපක්ෂ මහතා සඳහා සහයෝගය ලබාදීම නිසායි. නමුත් මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ඉතිහාසය සලකා බලන විට මෙම තත්ත්වය වෙනස් බව පැහැදිළි වනවා. උන්වහන්සේ ප්‍රේමදාස ජනාධිපතිවරයාට තම සහයෝගය පළ කළේ එකම එක අවස්ථාවක පමණයි. ඒ ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කළ අවස්ථාවේදීයි. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි වකවානුවේ උන්වහන්සේ ඔහුට එතරම් සහයෝගයක් නොදැක්වූ අතර ඔහු පරාජය වීමෙන් අනතුරුව උන්වහන්සේ තම සහයෝගය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන්නා. ඒ කෙසේ වෙතත් අවස්ථාවක් ලද විගස රාජපක්ෂ රජය විවේචනය කිරීමටත් උන්වහන්සේ පසුබට නොවූ බව ප්‍රසිද්ධ රහසක්.

 

5. ප්‍රේමදාසගේ දානයට බෑ කියූ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ

උන්වහන්සේගේ ගුරු හිමියන්ගේ උපදෙස් අනුව කිසිදිනක දායකයන්ට ඔවුන්ගේ සමාජ තත්ත්වය අනුව වෙනස්කම් කිරීමට මුරුත්තෙට්ටුවේ හිමියන් ක්‍රියා කළේ නැහැ. උන්වහන්සේ මන්දිර මෙන්ම දිළිඳු පැල්පත්වල වාසය කරන දායකයන් සඳහාත් කටයුතු කරනු ලැබුවේ එකම රීතියකට අනුවයි. එක්තරා අවස්ථාවක ප්‍රේමදාස ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන්ට දානයක් සඳහා ආරාධනා කළත් උන් වහන්සේ එය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ තමන් වහන්සේ ඒ වන විටත් තම දායකයෙක්ගේ නිවසේ දානයක් සඳහා කෙරුණු ඇරයුම භාරගත් බව සඳහන් කරමින්.

 

 

6. අභයාරාමය යළිත් ගොඩ නැංවීම

සාමණේර භික්ෂුන් වහන්සේ නමක් ලෙස මුරුත්තෙට්ටුවේ හිමියන් අභයාරාමයට පැමිණෙන විට එම භූමිය තිබුණේ සම්පූර්ණයෙන්ම කැලෑවට යට වූ බිමක් ලෙසයි. වතාවක් පන්සලේ පූජාවක් සඳහා පැමිණි දැරියක් නයෙක් දෂ්ට කොට මිය ගිය බවටද වාර්තා වුණා. එම කැලෑව එළිපෙහෙළි කරමින් යළිත් පූජා භූමියක ස්වභාවයට පත් කිරීමට ආනන්ද හිමියන් බොහෝ වෙහෙසක් ගත්තා. ඉන් අනතුරුව ළමා සමාජ, දහම් පාසල් විවිධ සමිති ආදිය පිහිටුවමින් පන්සලේ දායකයන් හට ද විවිධ උදව් උපකාර කරමින් පන්සලේ දියුණුවටද උන්වහන්සේ විසින් පසුබිම සකස් කරනු ලැබුවා.

 

7. නිර්මාණශීලී භික්ෂූන්වහන්සේ

විහාරස්ථානයට නව අංගෝපාංග එක්කිරීමේදී ආනන්ද හිමියන් තුළ තිබුණු වෙනස් විදියට සිතීමේ හැකියාව ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අභයාරාමයේ අපාය සහ දෙව්ලොව ඉදි කිරීම සිදු කෙරුණා. ඒ හරහා උන්වහන්සේගේ බලාපොරොත්තුව වූයේ යහපත සහ අයහපත සිදු කරන ආකාරය අනුව බුදු දහමට අනුව ලැබෙන ප්‍රතිඵලය විස්තර කිරීමයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *