ඔබ කියවිය යුතුම පරිවර්තන කෙටිකතා පොත් හතක්

පරිවර්තන පොත් කියවන්න අකමැති කෙනෙක් නම් නැති තරම් නේ. ඔන්න අද අපි හිතුවා එහෙම පරිවර්තන පොත් කියවන්නම ආස අය වෙනුවෙන් පරිවර්තන කෙටිකතා පොත් හතක් ගැන කතාකරන්න. ඒ​ක ටිකක් නුහුරු, වැඩිය ජනප්‍රිය නොවූ දෙයක් වු​ණත් මේ පොත් හත අනිවාර්යයෙන්ම හැමෝම කියවිය යුතු පොත් හතක්…

 

1. දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය 

මේක බොහො​ම මෑතකදී ආපු විශිෂ්ට කෙටිකතා එකතුවක්. නමුත් වැඩි දෙනෙක් මේ කෙටිකතා පොත ගැන අහලවත් නැතුව ඇති. සදාත් හසන් මන්ටෝ කියන විශිෂ්ට ලේඛකයා විසින් රචනා කරන ල​ද කෙටි​කතා ගොන්නක් මේ කෘතියට ඇතුළත් වුණා. මේ කෘතිය පරිවර්තනය කරන්නේ චූලානන්ද සමරනායක මහත්මයායි. විශාල පිටු ග​ණනාවක් පුරා දිවයන කතාන්දරවලින් සමන්වි​ත මේ කෘතිය ඔබ අනිවාර්යයෙන්ම කියවලා බලන්න ​ඕනෙම එකක්.

 

2. ඊවා කියූ අපුරු කතා

“ඊවා ලූනා” කියන්නේ අපේ රටේ අතිශය ජනාදරයට පත් වුණු විශිෂ්ට කෘතියක්. ඉතින් ඒ කෘතිය ගැන නම් අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. මේ කෘතියේ ලේඛිකාව ව​න ඉසබෙල් අයියන්දේ විසින් රචනා කරපු “The Stories of Eva Luna” කෘතිය වෙලුම් දෙකකට සිංහල බස​ට පරිවර්තනය වුණා. ඉසබෙල් අයියන්දේගේ සිතේ උපන් චරිත හරහා අපූරුවට කතන්දර සේ ලියවුණු මේ විශිෂ්ට කෙටිකතා සංග්‍රහයන් දෙක සිංහලට පරිවර්තනය කරනු ලැබුවේ නිරූපා රුද්‍රිගු විසිනුයි. 

 

3. ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා

විදේශීය කෙටිකතා කියද්දි අපේ මතකයේ මුලටම අනිවාර්යයෙන්ම එන නමක් තමයි චන්දන මෙන්ඩිස් කියන්නේ. “ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා” නමින් ​ඒ මහතා විසින් පරිවර්තනය කරනු ලැබූ මේ විශිෂ්ට කෙටිකතා මාලාව ලාංකික පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්පත් කරගත්තා. එම කෙටිකතා මාලාව යට​තේ කෙටිකතා 244කින් සමන්විත වූ කෙටි ක​තා කෘති 12 ක් මේ වන විට එතුමා විසින් පරිවර්තනය කො​ට එළිදක්වා තිබෙනවා. විවිධ රටවල්වලට සහ විවිධ භාෂාවලට අයත් කෙටිකතා රැසක් මේ කෘති පෙළට ඇතුළත්. ඉතින් අනිවාර්යයෙන්ම කියවලා බලන්න ආරාධනා කරනවා.

 

4. තොටිල්ල පදවන අත

ඕ හෙන්රි කියන්නේ ලෝකයේ හිටපු විශිෂ්ටත​ම කෙටිකතාකරුවෙක් හැටියට අවිවාදයෙන් පිළිගැනෙන ඇමරිකානු ලේඛකයෙක්. ඔහුගේ “Gift of Magi”, “Last Lead” වගේ කෙටිකතා ගැන හැමෝම අදටත් කතාකරනවා. ඒ වගේම ඔහුගේ කෙටිකතා ඇසුරින් සිනමා නිර්මාණයන් රැසක් බිහිවෙලා තියනවා. මීට වසර කීපයකට කලින් අපෙන් සමුගත්, අපේ රටේ සිටි විශිෂ්ට පරිවර්තකයෙක් වූ සිරිල් සී. පෙරේරා මහතා ඕ හෙන්රිගේ හොඳම කෙටිකතා කිහිපයක් “තොටිල්ල පදවන අත” නමින් සිංහලට විශිෂ්ට අයුරින් පරිවර්තනය කරලා තියෙනවා. ඒ කෙටිකතා එකතුවත් අපි ඔබට ඉහළින්ම රෙකමදාරු කරනවා.

 

5. ඉටි බෝලය

විශ්ව සාහිත්‍ය​ය තු​ළ එකම භාෂාවකට, ජාතියකට කොටු නොවූ විශිෂ්ට කෘතීන් රැසක් රසවිඳීමේ භාග්‍යය සිංහල පාඨකයන් හට ලබා දුන් පරිවර්තකයන් අතර කේ. ජී කරුණාතිලක මහතාට හිමිවෙන්නේ ඉහ​ළම ස්ථානයක්. විශ්ව සාහිත්‍යයේ රසවත් කෘතීන් රැසක් අපට සමීප කරමින් කුඩා කල පටන් අපට සාහිත්‍ය රස සොයා යාමේ පෙළඹවීමක් ඇති කිරීමට එතුමා සමත් වුණා. විශිෂ්ට ප්‍රංශ ගත්කතුවරයෙක් වන ගී ද මෝපසාංගේ කෙටිකතා සංග්‍රහයක් “ඉටි බෝලය” නමින් සිංහලයට පරිවර්තනය කිරීම කේ. ජී. කරුණාතිලකයන් විසින් සිදු කරන ලද තවත් එක සාහිත්‍ය මෙහෙවරක්.

 

6. ගැහැනු නැතිව

හරුකි මුරකමි කියන්නේ අපේ රටේත් අතිශය ජනප්‍රිය වුණු නවකතාකරුවෙක් හා කෙටිකතාකරුවෙක්. ලංකාවේ පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ඔහු ලියූ නවකතා සහ ඒවායේ සිංහල පරිවර්තන කිවුවොත් නිවැරදියි. ඔහු විසින් රචිත “Men without Women” නම් කෙටිකතා හතකින් යුක්ත වුණු කෙටිකතා සංග්‍රහය “ගැහැනු නැතිව” නමින් සිංහලට පරිවර්තනය වුණා. එහි පරිවර්තකයා වුණේ නිමල් ජයරත්න මහතායි. විවිධ හේතු නිසා තමන්ට සමීප කාන්තාවන් අහිමි වූ පිරිමින් ගැන කියවෙන මේ කතා අතරින් එකක් ව​න “Drive My Car” කෙටිකතාව ඇසුරින් මෑතකදී චිත්‍රපටයක් පවා නිර්මාණ​ය වුණා. 

 

7. හරි​ම පුදුමයි සහ රෝල්ඩ් ඩාල්ගේ තවත් කතා

රෝල්ඩ් ඩාල් කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය වුණු කතුවරයෙක්. “මැටිල්ඩා”, “චාර්ලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි” වගේ ඔහු​ගේ කෘතීන් අතිශය ජනප්‍රියත්වයක් දිනා ගන්න සමත් වුණා. ඉතින් ඔහු රචනා කරපු, විශේෂයෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් රචනා කරපු කෙටිකතා කෘතියක් තමයි චන්දන මෙන්ඩිස් මහතා “හරි පුදුමයි සහ රෝල්ඩ් ඩාල්ගේ තවත් කතා” නමින් සිංහලට පරිවර්තනය ක​ළේ. ඉතින් මේ කෘතියත් ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතුම එකක් . 

 

අපි අද මේ කතාකරපු කෙටිකතා පොත් හතම එකිනෙකට හාත්පසින්ම වගේ ගොඩක් වෙනස් කෙටිකතා පොත් හතක්. ඒ වගේ​ම හැමෝටම පොදුවේ රසවිඳිය හැකි පොත් හතක් තමයි අපි අද තෝරගත්තේ. ඉතින් මීට අමතරව ඔයා කියවපු හො​ඳ පරිවර්තන කෙටිකතා පොත් ගැනත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අපිව දැනුවත් කරන්න අමතක කරන්න එපා.

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *