ලොව සතුටුම දරුවන් බිහිකරන නෙදර්ලන්තයේ මව්පිය රැකවරණය

සතුටුම දරුවන් ඉබේම ඇතිවෙන්නේ නැහැ. ඒකට සෘජුවම දෙමාපියන්ගේ මැදිහත් වීමද බලපානවා. පාසල පසුකාලයකදී දරුවාට වැදගත් වුණත් දරුවන්ගේ සතුටු වීමට මුල් කාලේ ඉඳන් දෙමාපියන්ගේ රැකබලාගැනීමේ විධිය බලපානවා. ලෝකයේ සතුටින්ම සිටින දරුවන් සිටින රටක් විදිහට නෙදර්ලන්තය සැළකෙනවා. එසේ වීමට හේතු වන කරුණු මොනවාද කියා අපි මදක් විමසා බලමු. 

 

 

1. ස්වභාවික දරු උපත් දිරිමත් කිරීම

දරු උපතක් සිද්ධ වෙන්න කලින් සතියක් පුරාවට විශේෂ හෙදියකගේ සහයෝගය මවට ලැබෙනවා. ඒ නිසා මව්වරුන්ට දරු උපතේදී පියවි සිහියෙන් ඒ වේදනාව විඳදරාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම දරු උපතට පෙර ව්‍යායාම ආදිය හුරු වීම තුළින් මවට සිසේරියන් සැත්කම් වලින් තොරව නිදහසේ දරුවන් බිහිකරන්නට අවස්ථාව දෙනවා. සීසර් කිරීම් අඩු වීමත්, වෙනත් ඔසු ආදිය ලබා නොදීමත් නිසා දරු උපතකදී ඇතිවන ස්වාභාවික තත්ත්වයටම දරුවාටත් මවටත් මුහුණ දෙන්නට වෙනවා.

 

 

2. සාමාන්‍ය තත්ත්වය හුරු කිරීම

“සාමාන්‍ය තත්ත්වය එය හැමවිටම ප්‍රමාණවත්” කියන එක නෙදර්ලන්ත කියමනක්. ඒ අනුව දරුවන් කුඩා වූ නිසා සියල්ලන්ට වඩා උසස් යන මානසිකත්වය දරුවන්ට ඇතිවන්නට ඉඩ දෙනවා අඩුයි නෙදර්ලන්ත දෙමාපියන්. දරුවනුත් ඒ ආදාළ සමාජයේම කොටසක් විදිහට ඔවුන්ට වැඩිහිටි දේවල් හෙමෙන් හෙමෙන් හුරු කරවනවා. දරුවන් අනවශ්‍ය ලෙස ඉලිප්පීම, ඔවුන්ට විශේෂයෙන් අවස්ථා ලබාදීම නෙදර්ලන්තයේදී සිදුවන්නේ අඩුවෙන්.

 

 

3. දෙමාපියන්ට නිවාඩු ලබාදීම

නෙදර්ලන්තයේ මාතෘ නිවාඩු වැඩියි. මාතෲ නිවාඩු ඉවර වෙලා යළි රැකියාවට යන කාලෙක වුණත් ආයේ හැමදාම වැඩට යන්න ඕනාකමක් ඇතිවෙන්නේ නෑ. ඒ ආයතන වලින් මවට සිය කටයුතු පහසු කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම සමස්ථයක් විදිහට නෙදර්ලන්තයේ වැඩ කරන පැය ගණන අඩුයි. නිවාඩු ලබාගැනීම, නිවසේ සිට වැඩ කරන්ට පුළුවන් වීම වගේ කාරණා නිසා දරුවන් එක්ක වැඩිපුර කටයුතු කරන්න දෙමාපියන්ට අවස්ථාවක් ලැබෙනවා. වෙන රටවල ගර්භණී අවධියේ අවසාන දිනවල පවා කාර්යාල රාජකාරි වලින් නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒත් නෙදර්ලන්තයේ එහෙම නැහැ. මවට අවශ්‍ය විවේකය සෘජුවම ආයතන වලින් ලබාදෙනවා.

 

 

4. එලියේ සෙල්ලම් කිරීම

බයිසිකල් පැදීම අතින් නෙදර්ලන්තය බොහොම පතල රටක්. ඉතින් එහෙදි දරුවා මව්කුස ඉද්දිත් මව බයිසිකල් පදිනවා. ඒ වගේම දරුවන්ට යන්තම් ටිකක් දුවපනින්න පුළුවන් වුණ ගමන් ඔවුන්ට බයිසිකල් අරං දීලා එලියේ පහලියේ ඇවිදින්න දුව පනින්න, හැසිරෙන්න දෙමාපියන් ඉඩ ලබා දෙනවා. ගෙදරම ඇතිදැඩි කරන තත්ත්වයෙන් මිදිලා වැඩිපුර එලිමහනේ කාලය ගතකරන එකෙන් දරුවන්ගේ මනස වගේම දෙමාපියන්ගේ මනසත් අලුත් වෙනවා.

 

 

5. රටාවකට හුරු කිරීම

සෑම අවස්ථාවකදීම දරුවන් හැසිරවීමට වඩා ඔවුන් නියම කාලසටහනකට හුරු කිරිම වඩාත් ප්‍රායෝගිකයි. නෙදර්ලන්තයේදී දරුවන් නිදාගන්නා වෙලාව පවා මව්පියන් මනාව සැලසුම් කරනවා. දවල්ට ටිකක් වැඩිපුර නිදාගන්න අවශ්‍ය වන කුඩා කාලයේදී ඒ වෙලාවට දරුවාට ඉබේම ගිහින් නිදාගන්න හැකියාව දෙමාපියන් විසින් හුරු කරනවා. විවේකය, ක්‍රමවත් බව සහ පිරිසිදුකම නෙදර්ලන්ත ජාතිකයන් මහත් කොට සළකනවා. කුඩා කලදීම ඒ උසස් රටාවන්ට දරුවන් හුරු කිරීම නිසා ඔවුන් ලොකුමහත් වෙද්දිත් ඒ අනුව ජීවත් වෙන්නට හුරු වෙනවා.

 

 

6. දරුවන් අතින් ඇල්ලීම අඩු කිරීම

පාක් එකකට දරුවන් ගිහින් දැම්මට පස්සේ මේ දේ කරන්න, මේ දේ නොකරන්න කියා දරුවන්ට කරන අණකිරීම් ලංකාවෙ නම් සුලබයි. ඒ වගේම උත්සව අවස්ථා වගේ දේවලට සහභාගි වුණොත් ඒ තැන්වල දරුවන් හැම තැනම දුවලා පැනලා අනතුරු කරගන්න අවස්ථාත් තියෙනවා. නෙදර්ලන්තයේදී දරුවන් පාලනය කිරීමට ඔවුන් ලබාදෙන්නේ අඩු ඉඩක්. දරුවන්ටම තමුන් කරන දේවල් මොනවද, ඒවායේ සීමා මොනවද කියලා තේරුම් ගන්න කුඩාකලදීම ඉඩ දෙනවා.

 

 

7. උත්සව සැමරීම

නූතන ලන්දේසි ජනතාව කුඩා අයගේ උපන්දින සමරන්නේ අපූරු ක්‍රමයකට. එහිදී උපන්දිනය තියෙන දරුවාට පමණක් විශේෂයක් නොකර හැම දරුවෙක්ටම සතුටු වෙන්න, විනෝද වෙන්න අවස්ථා ලබා දෙනවා. ඒ උත්සවයට සහභාගී වෙන හැමෝටම සතුටින් ඉන්න අවස්ථාව දෙන එක ඒ උත්සවයේ ස්වරූපයක්. එහිදී සෑම දෙනාටම සුබ පතමින් කෙරෙන ඒ උත්සව වටපිටාවන් නිසා දරුවාටත් අමතර උත්සව පීඩනයක් එල්ල වෙන්නේ නැහැ.

 

 

8. පියාගේ බලපෑම් වැඩි කිරීම

පියවරු දරුවන් බලාගනිද්දි ලොකුවට දරුවන්ගේ හැම දේම පාලනය කරන්න යනවා අඩුයි. පියවරු යටතේ ඉද්දි මවට සාපේක්ෂව දරුවන්ට නිදහස වැඩියි. නෙදර්ලන්තයේ පාක් වලට දරුවන් එක්කරගෙන යෑම වගේ දේවල් වලදි මව්වරු වගේම පියවරුත් ඒ කාර්යයන් වල නිරත වෙනවා දකින්නට තියෙනවා. එහිදී දරුවන්ට නිතරම කෑ ගසමින් ඔවුන් පාලනය කරනවාට වඩා ඒ තත්ත්වයන්ට හුරු කිරීම නිසා පියවරුන්ටත් දරුවන් සේම සතුටින් කල් ගතකරන්නට ලැබෙනවා.

 

නෙදර්ලන්තයේ දෙමව්පියන් දරුවන් උස්මහත් කරන ක්‍රමය මෙතනින් එහා ගිය තවත් කරුණු කාරණා රැසකින් දියුණු තත්ත්වයක්. ඉතින් ඒ රටේ එහෙමය වෙනස්ය, අපිටත් ඒ ගැන විස්තර දැනගත් එක වටිනවාය කියන අදහස ඔයාලට මේ හරහා එන්නට ඇති කියලා අපි හිතනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *