අපිළිවෙල, අවුල් වියවුල් ජීවිතයකින් මිදීමේ මඟ

කවුද කැමති අපිළිවෙල විදියට, අවුල් වියවුල් එක්ක ජීවත් වෙන්නේ? හැබැයි අපි දන්නෙම නැතුව ගොඩක් වෙලාවට අපේ ජීවිත අපිළිවෙලට, අවුල් වියවුල් වෙලා තමයි තියෙන්නේ. ඒකට හේතුව ගොඩක් වෙලාවට අපි නොදැනුවත්වම ගන්න වැරදි තීරණ සහ පිළිවෙලට ජීවත් වෙන්න ක්‍රම සහ විධි නොදන්න කම. හැබැයි අපිට පොඩ්ඩක් සවිඥාණිකව ජීවත් වෙනවා නම්, අපේ අපිළිවෙල අවුල් වියවුල් සහිත ජීවිතය හැඩගස්වාගන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒකට අවශ්‍ය වෙන ටිප්ස් කීපයක් ගැන.

 

ටිප්ස් වලට එන්න කලින් කියන්න දෙයක් තියෙනවා. ඇත්තටම අපිළිවෙල, අවුල් වියවුල් ජීවිතයක් කියන්නෙම, අපිට තියෙන දේවල් පාලනය කරගන්න බැරි තරම් වැඩිවීම සහ, ඒ නිසාම පිළිවෙලක් සහ කළමනාකරණයක් ඇති කරගන්න බැරි වීමනේ. වෙනත් විදියකින් කියනවා නම්, අපිට පාලනය කරන්න තියෙන දේවල් අඩු වෙන තරමට, ජීවිතේ අපිළිවෙල සහ අවුල් තත්ත්වය නැති වෙලා යනවා. අන්න ඒකත් මතක තියාගෙනම අපි මේ ටිප්ස් ටික කියවල බලමු, මේ වලින් මොනවද අපිට අපේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කියලා!

 

1. ඉන්වෙන්ටරියක්

අපේ ජීවිතේ අපිළිවෙල අවුල් වියවුල් තත්ත්වයෙන් නිදහස් කරගන්න නම් පළවෙනියටම කරන්න අවශ්‍ය වෙන්නේ, තමන් ගාව ඇත්තටම තියෙන්නේ මොනවද කියලා ලැයිස්තුවක් හදාගන්න එක. අපි අපේ කාමරයෙන් පටන් ගමු. අපි ගාව තියෙන හැම දේම ලැයිස්තුගත කරන්න. එහෙම ලැයිස්තුව හදනකොට ආයෙ සැකයක් නැතුවම අවශ්‍ය නැති කුණුගොඩවල් කියලා හිතෙන දේවල් ඒ මොහොතෙම අයින් කරන්න. හැබැයි අනික් කිසිම දෙයක් දැනට අයින් නොකර, ඉන්වෙන්ටරියට විතරක් ඇතුළත් කරගන්න.

 

දැන් ඒ විදියට ඉන්වෙන්ටරිය හදලා ඉවර වුණාට පස්සේ, ඒ ලැයිස්තුවේ තියෙන දේවල් කොටස් තුනකට බෙදන්න. ෂුවර් එකට තියාගන්න ඒවා, සමහර විට තියාගන්න ඒවා සහ අනිවාර්යයෙන්ම විසි කරන ඒවා. මෙතනදී වෙන්න පුළුවන් දේ තමයි පළවෙනි සහ දෙවෙනි කාණ්ඩ වලට අපි ගාව තියෙන දේවල් වැඩි ප්‍රමාණයක් වැටෙන එක. ආන්න ඒකෙදී අපිට මෙහෙම හිතන්න පුළුවන්. ෂුවර් එකට තියාගන්න ඒවා වෙන්න ඕන අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන, අදාළ වෙන සහ ප්‍රයෝජනවත් වෙන දේවල්. සමහර විට තියාගන්න කොටසට වැටෙන්නේ, සාමාන්‍යයෙන් නිරන්තරයෙන් පාවිච්චි නොවෙන, ඒත් ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන් දේවල්. උදාහරණයක් විදියට ගත්තොත්, කම්පියුටර් එකේ ටයිප් කරන අපිට කොයි මොහොතක හරි නෝට් පොතක් වුවමනා වෙන්න පුළුවන්. එතකොට ඔය කාණ්ඩ දෙකටම අයිති නොවෙන, ඒ කියන්නේ වැඩක් නොවෙන දේවල් විසි කරන කොටසට තමයි යන්නේ.

 

2. සෙන්ටිමෙන්ටල් අගයට මොකෑ කරන්නේ?

උඩ කියපු විදියට අවශ්‍ය සහ අනවශ්‍ය දේවල් කාණ්ඩගත කරනකොට අපිට එන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි මේක. දැන් ගොඩක් වෙලාවට අපි ගාව තියෙන ගොඩක් දේවල් ඇත්තටම අපි ගාව තියෙන්නේ සෙන්ටිමෙන්ටල්  වටිනාකමක් එක්ක. ඒ කිව්වේ මෙහෙම දෙයක්. දැන් අපේ ඇඳුම් කබඩ් එකේ තියෙනවා අපි ජීවිතේට ආයෙ අඳින්නෙ නැති, සමහර වෙලාවට අඳින්න බැරි ෂර්ට් එකක්. හැබැයි ඒක අපි අයින් කරන්නෙත් නෑ. ඇයි? ඒක අම්මා අපිට උපන්දිනේට අරගෙන දීලා තියෙන්නේ. එහෙම නැතිනම් අපි තාමත් අපේ පරණ පර්ස් එක ලාච්චුවේ පරිස්සමට තියාගෙන ඉන්නවා. ඇයි? ඒක අපි පළවෙනි පඩියෙන් ගත්තු පර්ස් එක. මෙතනදී ඇත්තටම අපි සමබරව හිතන්න ඕන. ඕනවට වඩා අපිටම ප්‍රෙෂර් එකක් දෙන්න අවශ්‍යත් නෑ. සමහර සෙන්ටිමෙන්ටල් දේවල් තියෙනවා, ඒවා ආයෙ ලැබෙන්නෙ නෑ. උදාහරණයක් විදියට, අම්මයි තාත්තයි බැඳපු දවසේ තාත්තා දාපු ටයි එක විශේෂයි. හැබැයි  හැම උපන්දිනේටම අම්මා අරගෙන දීපු ඇඳුම ගාණේ ඇඳුම් විස්සක් තිහක් අල්මාරියේ තියාගන්න එක තේරුමක් නෑ. ඒවා අඳින්න පුළුවන් කෙනෙක්ට දුන්නට කමක් නෑ.

 

මෙතනදී ඔය සෙන්ටිමෙන්ටල් වටිනාකමක් තියෙන, හැබැයි තියාගැනීමේ තේරුමක් නැති දේවලින් අත්මිදෙන්න මෙහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි ඒ වල ෆොටෝස් තියාගැනීම.

 

3. විසි කරන කැටගරිය

දැන් අපි උඩින්ම කිව්වනේ අපේ තියෙන දේවල් ෂුවර් එකට තියාගන්න ඒවා, සමහර විට තියාගන්න ඒවා සහ අනිවාර්යයෙන්ම විසි කරන ඒවා කියලා කොටස් වලට බෙදාගන්නවා කියලා. දැන් සාමාන්‍යයෙන් අපිළිවෙල, බඩුමුට්ටු පිරුණු අවකාශයක මෙතුවක් කල් ජීවත් වුණු මනුස්සයෙක් හරියටම වැඩේ කළා නම්, ඇත්තටම තුන්වෙනි කැටගරියට සෑහෙන්න දේවල් තියෙන්න ඕන. හැබැයි හෝව් පොඩ්ඩක්. එක පාරටම ඒ ඔක්කොම විසික් කරන්න යන්න එපා. ඒක අපරාදයක්. දැන් පොඩ්ඩක් වෙලාව අරගෙන, අර විසි කරන කැටගරියේ තියෙන දේවලුත් ආයෙමත් කොටස් දෙකකට බෙදන්න. එකක් ෂුවර් එකටම විසි කරන ඒවා. අනික් කොටස, තවත් කෙනෙක්ට ප්‍රයෝජනයක් තියෙන එව්වා. ඇත්තටම ඔය අපිට අඳින්න බැරි ඇඳුම් පැළඳුම් එහෙම විතරක් නෙවෙයි, අපි මොනව හරි ලියපු එක පැත්තක් හිස් කොළ පවා තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, උපරිම, තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන දේවල් ටික වෙන් කරගන්න. හැබැයි එකක්, එතනදී ලෝබකමට තියාගෙන වැඩක් නෑ, ඇත්තටම කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන දේවල් තමයි තියාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, වැරහැල් වෙලා එල්ලෙන ඇඳුම් කාටහරි දෙන්න තියාගත්තට වැඩක් නෑ. එව්වා විසික් කරන්නම තමයි වෙන්නේ. දැන් ඔහොම වෙන් කරගත්තට පස්සේ, වෙන අයට ප්‍රයෝජනවත් වෙන දේවල් දීලා දාන්න පුළුවන් ක්‍රම හොයාගන්න.

 

4. හැම දේටම තැනක් තිබේ

දැන් අපි හොයාගත්තනේ ඇත්තටම අපිට අත්‍යාවශ්‍ය දේවල් මොනවද කියලා. ඒ ලිස්ට් එක ඇත්තටම අපිට එදිනෙදා ජීවිතෙට අත්‍යාවශ්‍යම දේවල් කීපෙකට විතරක් සීමා කරගන්න පුළුවන් වුණා නම්, මේ වෙනකල් අපේ වැඩේ සාර්ථකයි. දැන් ඊලඟට තියෙන්නේ ඒවා කොහේද තියන්නේ කියලා තීරණය කිරීම. මෙතනදී අපි ඔළුවේ තියාගන්න ඕන රීතිය සරලයි. හැම දේකටම නියමිත තැනක් තිබිය යුතුයි. අපි වතුර බොන බෝතලේ තියන්නේ මේසේ කෙළවරේ නම්, ඒකට හිමි තැන එතන තමයි. ආයෙ පුටුව ගාව බිම, එහා පැත්තේ පොත් කබඩ් එක උඩ වගේ තැන් තැන් වලට ඒක මාරු වෙන්න බෑ. ඕන නම්, කාලෙකට සැරයක් ඒකාකාරී බවෙන් මිදෙන්න, අපි දේවල් තියෙන තැන් මාරු කරන්න පුළුවන්. හැබැයි එතකල් වතුර බෝතලේ තියෙන්න ඕන මේසේ කෙළවරේ තමයි. ඇඳුම් තියෙන්න ඕන ඇඳුම් රැක් එකේ. කිළුටු ඇඳුම් තියෙන්න ඕන පුටුව උරපත්තේ නෙවෙයි, කිළුටු ඇඳුම් දාන බාස්කට් එකේ. අන්න ඒ විදියට හැම දේටම තාර්කිකව ගැලපෙන හරි තැනක් තියාගන්න ඕන.

 

5. කාලෙකට සැරයක් දොරදන්දෙන්න

ඔය දන් දෙනවා කියන කන්සෙප්ට් එක අපිට අරුම පුදුම ආගන්තුක දෙයක් නෙවෙයිනේ ආයුබොවන්ඩ. ආයෙ ලංකාවේ බෞද්ධයෙක් වුණත්, හින්දු ආගමිකයෙක් වුණත්, කිතුණුවෙක් වුණත්, ඉස්ලාම් ආගමිකයෙක් වුණත් දානය කියන සංකල්පය එක්ක සම්බන්ධයි. ඉතින් ඇත්තටම අපිට අපේ ජීවිතේ අපිළිවෙල අවුල් වියවුල් බව නැති කරගන්නත්, ඔය දන් දීම කියන එක ප්‍රයෝජනවත්. ඒ කියන්නේ, කාලෙකට සැරයක් තමන්ට අනවශ්‍ය දේවල් වෙන් කරගෙන, ඒවා අවශ්‍ය අයට නිකම් දීලා දාන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ගොඩක් පොත් කියවන, පොත් එකතු කරන්න ආසාවක් දක්වන කෙනෙක්ට වුණත්, අවුරුදු දෙක තුනකට සැරයක් තමන්ගේ පොත් එකතුව පොඩ්ඩක් විමර්ෂණය කරලා බැලුවොත් තේරෙන්න ඕන, තමන්ට අවශ්‍ය නැති පොතුත් ඇත්තටම එතන තියෙනවා කියන එක. ආන්න එතකොට ඒවා වෙන කෙනෙක්ට දීලා දාන්න හිත හදාගන්න පුළුවන් වෙන්න ඕන. අනික් දේවල් සම්බන්ධයෙනුත් එහෙමම තමයි කාරණාව.

 

6. ගෝ ඩිජිටල්

මෙන්න මේක වර්තමානයේදී වුණත් ගොඩක් දෙනෙක් නොකරන, හැබැයි අපිළිවෙල අවුල් වියවුල් ජීවිතෙන් මිදෙන්න ඉතාම හොඳ ක්‍රමයක්. නිකමට හිතලා බලන්න, අපේ මේසේ උඩ නැතිනම් අපේ කාමරේ කොයි තරම් කඩදාසි ගොන්නක් තියෙනවද? මෙතනින් වැඩිහරියක් බිල්පත් අනං මනං වෙන්න පුළුවන්. එතකොට ගොඩක් දෙනෙක්ට තාමත් වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් එහෙම තැපෑලෙන් එන්නේ. අන්න ඒවත් ඉතින් ගොඩගැහෙනවනේ. ඒ විදියට කඩදාසි ගොඩගැහෙන කරදරෙන් මිදෙන්න හොඳම ක්‍රමයක් තමයි, හැකිතාක් ඩිජිටල්කරණය වෙන එක. ඒ කියන්නේ, අපේ ටෙලිෆෝන් බිල් වල ඉඳලා සුපර්මාකට් එකේ බිල් දක්වා ඩිජිටල් ක්‍රමේට ලබාගන්න කැමැත්ත දෙන එක තමයි ආරම්භය. ගොඩක් ආයතන මේ වෙනකොට ඒ විකල්පය තමන්ගේ පාරිභෝගිකයන්ට ලබාදීලා තියෙනවා. ඊලඟට, තමන්ට අනිවාර්යයෙන්ම ලඟ තියාගන්න සිද්ධ වෙන විදුලි බිල්පත් වගේ දේවල් වලට (පදිංචිය සනාථ කරන්න එහෙම මේවා ඕන වෙනවනේ) ෆයිල්ස් හදලා, ඒවා නොවරදවාම අදාළ ෆයිල් එකේ දාලා තියාගන්න එක ඉතාම හොඳ පුරුද්දක්.

 

7. අනවශ්‍ය දේ හිතිනුත් හලන්න

ඇත්තටම අපිට භෞතික ජීවිතේ අපිළිවෙල සහ අවුල් සහගත බව නැතිවුනහම ප්‍රමාණවත් ද? නැහැනේ. ඇත්තටම ඊටත් වඩා අපිට අවශ්‍ය වෙන්නේ හිතේ අපිළිවෙල සහ අවුල් සහගත බව නැති කරගන්න නෙවෙයිද? මොකද, මේ ලෝකේ වැඩි දෙනෙක් වැඩි හරියක් සතුටින් ජීවත් නොවෙන්නේ, තමන්ගේ හිතේ පවතින අවුල් සහගත ව්‍යාකූල තත්ත්වය නිසා තමයි. ඉතින් ඒකටත් බෙහෙත උඩ කියපු දේවල්ම තමයි. උඩ කියලා තියෙන විදියට, තමන්ගේ හිතේ ඕනෑම මොහොතක තියෙන කරුණු කාරණා ප්‍රමාණය සීමා කරගත්තා නම් හරි. ඒකට හොඳම ක්‍රමයක් තමයි ඒ මොහොතේ ජීවත් වීම. ඒ කියන්නේ අපිට අනාගත සැලසුම් අනං මනං තියෙන්න පුළුවන්. හැබැයි මේ මොහොතේ අපි කරන්නේ එකවුන්ට්ස් හදන එක නම්, ආයෙ වෙන වෙන දේවල් ගැන අවධානය යොමු කරන්නෙ නෑ. අපි එකවුන්ට්ස් හදනවා. ඒ වගේම ජීවිතේ හොඳ වගේම නරකත් උපේක්ෂාවෙන් භාරගන්න පුළුවන් වීමත්, තමන්ව අවබෝධ කරගන්න හැකිවීම සහ තමන් තමන් විදියටම පිළිගන්න හැකි වීමත්, ලෝකේ වෙනත් කිසිම දෙයක් ගැන විනිශ්චය නොකිරීමත්, මනසේ ව්‍යාකූලත්වය සහ අපිළිවෙල නැති කරගන්න පුළුවන් කාරණා තමයි!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *