පෙම් සබඳතා නිසා ඇතිවන පීඩනයෙන් වළකින හැටි

සම්බන්ධතාවයක වැදගත්කම මෑතකාලේ වැඩිපුරම අපිට ඇහෙන්න සැලැස්සුවේ ටෙලිකොම් කම්පැනි වලින්. එතනින් එහාට ගිහින් සම්බන්ධතාවයක්, ආදර බැඳීමක් කියන්නේ අපේ ජීවිතයට මිහිරිතම අත්දැකීමක්. ඒත් ආදර සබඳතාවයක් ඇතිවුණාට පස්සේ ඒක පවත්වාගෙන යනකොට අපිට බලාපොරොත්තු නොවූ පීඩන තත්ත්වයන්ට මූණ දෙන්න වෙනවා. ඒවා අඩු කරගන්නේ කොහොමද කියලා අපි බලමු.

 

1. පිට ස්ට්‍රෙස් ඇතුළට නොගනු! 

අපිට තියෙන්නේ පවුල් ජීවිතය විතරක් නෙමෙයි නේ. කන්තෝරු ජීවිතය, සමාජ ජීවිතය වගේ තව ගොඩක් දේවල් තියනවා. ඒ හැම දේකදිමත් අපේ මනස ස්ට්‍රෙස් වෙනවා. කොපමණ කිව්වත් අපිට ඉතින් සෙරප්පු දෙක ගලවලා ගෙට එනවා වගේ වර්කින් ස්ට්‍රෙස් ගෙදර එද්දි සම්පූර්ණයෙන් බැහැර කරන්න බැහැ. ඒත් පුළුවන් තරම් ඒ ඒ බාහිර ස්ට්‍රෙස් ටිකක් ඈතින් තියාගන්න පුළුවන් නම් ඒක අපේ සම්බන්ධතාවයේ සෞඛ්‍යයට සෑහෙන හොඳයි.

 

 

2. අනෙකාගේ සපත්තුවට බහිමු… කකුලට නෙමෙයි! 

රිලේශන්ෂිප් එකකදි අදහස් මතවාද වලදි අපිට සමහර වෙලාවට “එයා මෙච්චර මෝඩද?” කියලා හිතෙනවා. ඒත් අපි ගොඩක් වෙලාවට අනෙකා ඉන්න තත්ත්වය තේරුම්ගන්න උත්සාහ ගන්නේ අඩුවෙන්. ආදර සබඳතාවයකදි එයාගේ පැත්තෙන් දේවල් හිතන්න හුරුවෙන එක මාර වැදගත්.මොකද එයාත් තවත් රොබෝ කෙනෙක් නෙමෙයි. එයාටත් ස්ට්‍රෙස් එනවා. එයාටත් තරහ එනවා. එයාටත් ගොඩක් බිසී ජීවන රටාවක් තියෙනවා. ඉතින් ඒ එක්ක එයා ඉන්න තැන ඒ අනුව හිතන්න අපිට පුළුවන් නම් වටිනවා.

 

 

3. මම වෙනුවට අපි යොදාගමු

මේ කියන්නේ එකම දත් බුරුසුවෙන් අපි දෙන්නම මදිමු වගේ අදහසක් නෙමෙයි. ආදර සම්බන්ධතාවයක් වැඩිදුර යද්දි දෙන්නාටම එකම ගෝල් තියාගන්න එක වාසියි. අනාගත සැලසුම්, සිහින, විවේකය ගතකිරීම් ආදියෙදි අපි කියන යෙදුම සහ අදහස වැඩිපුර යොදාගන්නවා නම් පීඩන තත්ත්වයන් ඇතිවෙනවා අඩුයි. අපි හිතමු ඊළඟට එන දීර්ඝ සති අන්තය ගැන. අනෙකාගෙන් කිසිම විමසීමක් නැතුව ඔයා ඒ සති අන්තයට වැඩක් දාගත්තොත් මොකද වෙන්නේ? ඉන් පස්සේ එයා ඔයා වෙනුවෙන් ලොකු වැඩක් එදාට දාගෙන හිටියනම් ඒ දේවල් ඔක්කම වෙනස් කරගන්න වෙනවා. ඒ නිසා හැම තිස්සේම තීරණ අරගෙන ඉවරවෙලා අනෙකාට දැනුම් දීමට වඩා, දෙදෙනාම කතා කරලා “අපි” කියන මට්ටමෙන් තීරණ ගන්න ඕනි.

 

 

4. ස්ට්‍රෙස් භාෂාව හඳුනාගැනීම 

බබා, පැටියෝ, පණ, වස්තුව ආදී වචන වලින් එකිනෙකා අමතන එක සමහර අයට රුචි නැහැ. ඒ වගේම නිතරම අනෙකාව තමුසේ, අයිසේ, ඕයි, ඒයි වගේ අපහාසාත්මක වදන් වලින් අමතන අයත් ඉන්නවා. ඉතින් ආදරය කරද්දි ඒ ආදරය වැඩි වෙන විදිහේ වචන පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම අපේ ස්ට්‍රෙස් එක වැඩිවෙලා කියලා අල්ලගන්න පුළුවන් එක තැනක් තමයි අපේ වචන භාවිතය. භාෂාව සවුත්තු වෙලා, ටෝන් එක උඩ ගිහින් වලි මෝඩ් එකට එනවා නම් අපි ඉන්නේ ස්ට්‍රෙස් අවුලක කියලා අපිම තේරුම්ගන්න ඕනි.

 

 

5. ස්ක්‍රීන් ඩවුන් කරමු

ගෙදර ආවම දෙන්නගෙන් එක්කෙනෙක් ෆෝන් එකේ නැතිනම් ටීවී එකේ. එක්කෝ ලැප් ටොප් එකේ. ඉතින් ඩිජිටල් ස්ක්‍රීන් එකට වැඩිපුර ලොල් වීම එක අතකින් අපේ මනසට ස්ට්‍රෙස් එක වැඩිවෙන්න හේතු වෙනවා. අනික් අතින් අනෙකාට තියෙන අවධානය අඩු වෙනවා. ආදරය කරන්න, ටිකක් කතා කරන්න කියලා තැනකට ගියාම දෙන්නම දෙපැත්තට හැරිලා ෆෝන් වල එල්ලිලා ඉන්නවා නම් එතැනදි ආදරය කියන්නේ ෆෝන් එකේ ජීවිතයට බාධාවක් වගේ හැඟීමක් එනවා. ඒ නිසා සම්බන්ධතාවයකදි ඔබේ ෆෝන් එක එක්ක තියෙන සම්බන්ධතාවය පාලනය කර ගන්නවා නම් හොඳයි.

 

 

6. සන්නිවේදනය ශක්තිමත් කරගනිමු

ප්‍රශ්නයක් එයා එක්ක කතා නොකර හිටියාම ඔයාට තියෙන ප්‍රශ්නය එයාට දැනගන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් අනෙකාට ඔයාව තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා “එයාට මොකටද ඒවා. දැන් ඉතින් ඕක කිව්වම ආයේ නටාවි ඉතින්” වගේ පූර්ව නිගමන වල ඉන්නෙ නැතුව අපිට තියෙන අවුල් සහ ප්‍රශ්න එකිනෙකා සමඟ කතාකරන්න ඕනි. සමහර විට එයා ළඟ කිසිම අදාළ උත්තරයක් නැතත් ඔයා ඉන්නෙ ප්‍රශ්නයක කියන එකවත් එයා එතකොට අවබෝධ කරගන්නවා.

 

 

7. පුරෝහිත රජ නොකරමු! 

රිලේශන්ෂිප් එකක් ඇති වුණාම ඒකට කෙලින්ම අපේ යාළුවෝ සම්බන්ධ වෙනවා. ඥාතීන් සම්බන්ධ වෙනවා. ඒ මොක වුණත් අවසානේ එයා එක්ක ඉන්නේ ඔයා. ඔයාට තමයි එයාගේ සම්බන්ධතාවයේ බලපෑම දැඩිවම තියෙන්නේ. ඉතින් අනෙක් අයගෙන් උපදෙස් ගත්තාට ඒ හැම එකම ක්‍රියාත්මක කරන්න ඕනි නැහැ. ඒ වගේම උපදෙස් දෙන අය වැඩියම ලංකරගන්නත් හොඳ නැහැ. මොකද එතකොට අපි අපේ නොවන ගෙදරක ඉන්නවා වගේ අපිට සෙට් නැති හැඟීමක් එනවා.

 

 

සම්බන්ධතාවයක් සම්පූර්ණ ස්ට්‍රෙස් නැතුව තියාගන්න නම් කාටවත් බැහැ. ඒත් වලිබර අප්‍රසන්න තත්ත්වයට එන්න කලින් ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න උත්සාහ ගන්න එක වටිනවා. ඉතින් අපි හැම වෙලාවෙම අනෙකාගේ වැරදිම සම්බන්ධතාවය බිඳෙන්න බලපානවා කියන එක අහන්න, දකින්න, කියන්න ආසයි. ඒත් අනෙකාගේ වැරදි වගේම අපේ වැරදිත් සම්බන්ධතාවයක තියෙන ස්ට්‍රෙස් එක වැඩිවෙන්න හේතු වෙනවා. ඉතින් ඔයාලටත් ස්ට්‍රෙස් වලින් වැළකෙන්න මේ කරුණු ටික බොහොම වැදගත් වෙයි කියලා අපි හිතනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *