හැම පවුලක වගේම බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයන් අතරත් විවිධ අවස්ථාවල ගැටුම් ඇතිවෙලා තියෙනවා. අපි අද ඔබට කියන්න යන්නේ එවැනි අවස්ථා කිහිපයක් ගැන.
1. විලියම් කුමරු සහ හැරී කුමරු
කුඩා කාලයේ පටන්ම විලියම් සහ හැරී එකිනෙකාට ඉතාම සමීප සහෝදරයන් දෙදෙනෙක්. විශේෂයෙන්ම සිය මවගේ මරණයෙන් පසුව ඔවුන් දෙදෙනා තව තවත් සමීප වුණා. කෙසේ නමුත් හැරී කුමරුගේ විවාහයෙන් පසුව ඔවුන් දෙදෙනා අතර පැවැති සමීප සම්බන්ධතාව කෙමෙන් කෙමෙන් දුරස්ථ මට්ටමකට පත් වූ බව කියවෙනවා. විශේෂයෙන්ම හැරී කුමරු සිය රාජකීය කටයුතුවලින් අයින් වීමේ තීරණය විලියම් කුමරුව පුදුමයට පත් කළ බව කියැවෙනවා. හැරී කුමරු සහ මේගන් ලබාදුන්න ආන්දෝලනාත්මක රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව නිසා මෙම තත්ත්වය තවත් බරපතළ වූ බව සඳහන් වුණත් පිලිප් කුමරුගේ මරණය අවස්ථාවේදී සහෝදරයන් දෙදෙනා යළිත් සමීප වූ බවත් කියවෙනවා.
2. කේට් කුමරිය සහ මේගන්
බොහෝ ජනමාධ්‍යවේදීන් ඔවුන් දෙදෙනා ඉතාමත් සමීප මිතුරියන් බවට පත්ව තිබෙන බවට ඉඟි පළ කළා. කෙසේ නමුත් මේගන් ගේ විවාහය අවස්ථාවේ දී ඇය විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් නිසා කේට් කුමරිය හැඬූ බවට ඕපාදූප පළ වුණා. බොහෝ දෙනෙක් එම ප්‍රවෘත්තිය පදනම් විරහිත එකක් බව ප්‍රකාශකර සිටියා. කෙසේ නමුත් ඉහත සඳහන් කළ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ මේගන් කුමරිය ප්‍රකාශ කළේ එම සිදුවීම සත්‍යයක් නමුත් ඇඬුවේ කේට් කුමරිය නොව තමන් බවයි. අවසානයේදී කේට් කුමරිය තමන්ට සමාවන ලෙස පැවසූ බවත්, ඉන් පසුව එය විසඳුණු බවත් මේගන් ප්‍රකාශ කළා.
3. චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය
බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ රජ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමකට වැඩිම ප්‍රතිචාර ලැබුණු අවස්ථාව මෙය ලෙස හඳුන්වන්න පුළුවන්. චාල්ස් කුමරු සහ කැමිලා අතර පැවැති අනියම් සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඩයනා කුමරිය මානසික ආතතියට ලක් වුණු අතර අවසානයේදී ඇයත් අනියම් පෙම් සබඳතා වල පහස සොයා යාමට කටයුතු කළා. ඔවුන්ගේ විවාහය යළිත් ශක්තිමත් කිරීමට බොහෝ පාර්ශ්ව උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. අවසානයේදී ඔවුන් දෙදෙනා දික්කසාදය කරා පිය නැගුවා.
4. චාල්ස් ස්පෙන්සර් සහ රජ පවුල
ඩයනා කුමරියගේ එකම සහෝදරයා වන චාල්ස් ස්පෙන්සර් ඇගේ මරණය අවස්ථාවේ සිදුකළ කතාවේදී රජ පවුල විවේචනයට ලක් කිරීමට කටයුතු කළා. ස්පෙන්සර් පවුල සාම්ප්‍රදායිකව රජ පවුලේ සමීප හිතවතුන්ව සිටියත් මෙම සිදුවීම නිසා පවුල් දෙක අතර දරුණු හිත් අමනාපයක් ඇති වුණා. කෙසේ නමුත් මේ වන විට එම හිත් අමනාපකම් මගහැරී ඇතැයි මත පළ වනවා.
5. පිලිප් කුමරු සහ සාරා ෆර්ගියුසන්
සාමාන්‍යයෙන් දෙවැනි එළිසබෙත් රැජිණ සිය දරුවන්ට සහ ඔවුන්ගේ සහකාරයන්ට සමීප තැනැත්තියක් නොවුණත් පිලිප් කුමරු ඔවුන් සමග මනා සම්බන්ධතා පවත්වාගෙන ගිය අයෙක් ලෙස සැළකෙනවා. චාල්ස් කුමරු සහ ඇන්ඩෘ කුමරු සිය සහකාරියන්ට ද්‍රෝහී වන අවස්ථාවේදී පවා සිය ලේලි වරුන් පිළිබඳව මානුෂිකව ඔහු සොයා බැලූ බව කියවෙනවා. කෙසේ නමුත් ඇන්ඩෲ කුමරුගේ බිරිඳ වන සරා ෆර්ගියුසන් තවත් පුද්ගලයෙකු සමඟ සමීපව සිටින ඡායාරූප කරළියට පැමිණීමත් සමග පිලිප් කුමරු දැඩි ලෙස කෝපයට පත්වූ බව සඳහන් වෙනවා. එතැන් පටන් ඔහු ඇය සමග කිසිදිනක කතා කොට නැහැ.
6. පිලිප් කුමරු සහ මව් බිසව
දෙවන එළිසබත් රැජිණගේ මව වන එළිසබත් බිසව පිලිප් කුමරු සහ සිය දියණියගේ විවාහයට එතරම් කැමැත්තක් දක්වා නැහැ. එම විවාහය නතර කිරීමට ඇය බෙහෙවින් උත්සාහ දරා තිබෙනවා. එසේම විවාහයෙන් පසුව පිලිප්ගේ වාසගම වෙනුවට රජ පවුලේ වින්ඩ්සර් වාසගම තවදුරටත් පවත්වාගෙන යෑමට රැජිනට උපදෙස් ලබා දීමට ඇය දායක වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ පිලිප් කුමරු සහ ඇය අතර එතරම් හොඳ හිතක් නොතිබීමයි. කෙසේ නමුත් පසුව ඔවුන් දෙදෙනා සමීපතමයන් බවට පත්ව තිබෙනවා.
7. හයවැනි ජෝර්ජ් රජු සහ වින්ඩ්සර් හි ආදිපාදවරයා
හයවැනි ජෝර්ජ් රජු කිසිදා බ්‍රිතාන්‍ය සිංහාසනය හෙබවීමට බලාපොරොත්තුව සිටි අයෙක් නොවෙයි. සිය වැඩිමහල් සහෝදරයා වන අටවැනි එඩ්වර්ඩ් රජු කිරුළ අත්හැරීමත් සමග කිරුළ ඔහු වෙත පැවරුණා. සිය වැඩිමහල් සහෝදරයාට දැඩි ලෙස ආදරය කළත් ඔහු තම වගකීම පැහැර හැරීම සහ සිය පවුලට කළ මදිපුංචිකම් නිසා එතැන් පටන් ඔවුන් දෙදෙනා දැඩි ලෙස එකිනෙකාට වෛර කිරීමට පටන් ගත් බව කියවෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply