විදේශ රටවලදී මියගිය අපේ කලාකරු​වෝ

පසුගියදා සිදුවූ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියගේ අභාව​ය ලාංකික රසිකයන්ට අහන්න වුණු දුක්මුසු පුවතක්. ඇය මරණයට පත් වුණේ උපන් රටින් දුර ඉතාලියේදී වීම ඒ සංවේගය තවත් වැඩි කරන කාරණයක් වුණා. ඉතින් ඇයවත් සිහිපත් කරන ගමන් විදෙස් රටවලදී මිය ගිය තවත් අපේ ජනප්‍රිය කලාකරුවන් කිහිපදෙනෙක් පිළිබඳව ඔබේ මතකය යළි අවදි කරන්න අපි හිතුවා.

1. මාලනී බුලත්සිංහල (Malani Bulathsinhala)

සමාජ මාධ්‍ය එතරම් ප්‍රචලිත නොවූ වකවානුවක මාලනී බුලත්සිංහල මහත්මිය ඇමරිකා එක්සත් ජනපදයේ දී හදිසියේ මිය යෑම අපිට දැනගන්න ලැබුණේ පුවත්පත්, ගුවන්විදුලිය සහ රූපවාහිනිය වැනි සාම්ප්‍රදායික මාධ්‍ය තුළින්. ඇගේ මරණය අනපේක්ෂිත එකක් වූ අතර ඇගේ හිස කෙස් වලට භාවිතා කළ වර්ණාලේපයක් ඇතිකළ අසාත්මිකතාවයක් නිසා ඇගේ මරණය සිදුවූ බවට පසුව හෙළි වුණා. ඇගේ අවසන් කටයුතු දා ඇය වෙනුවෙන් කතාවක් කොට ගීතයක් ගැයූ නීලා වික්‍රමසිංහ පසුකලෙක විදේශයක දී ම මිය යෑම සැබැවින්ම දෛවෝපගත සිදුවීමක්.

2. රොනී ලීච් (Ronnie Leech)

රොනී ලීච් අපේ රටේ වැඩිපුරම ජනප්‍රිය වුණේ ගායකයෙක් විදියට. ප්‍රසංග වේදිකාවට ඔහු නැතුවම බැරි චරිතයක් වුණා. ඊට එක හේතුවක් වුණේ ඔහු හුදු ගායකයකුට වඩා ජීවී අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන ශිල්පියෙක් වීම නිසයි. ඔහුගේ බහුතරයක් ගීත හාස්‍යෝත්පාදක සහ සරල රසාස්වාදය ලබාදෙන ගීත වූ අතර මේ නිසාම රසිකයන් අතර ඔහුගේ ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. එසේම සැබෑ ජීවිතයේ දී පරිපූර්ණ රසවතෙක් වූ ඔහු චිත්‍රපටවලත් හාස්‍යෝත්පාදක චරිත ගණනාවක් නිරූපණය කළා. පර්ත් නුවර පැවති සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට ගිය ඔහු එහිදී ඇති වූ හෘදයාබාධයක් නිසා මියගියේ සියළු දෙනාම කම්පනයට පත් කරමින්.

3. ඩැනියෙල් මුතුමාල (Daniel Muthumala)

ඩැනියෙල්ගේ සිනමා ජීවිතය තුළ ඔහුට සම්බන්ධ වෙන්න ලැබුණේ චිත්‍රපටි දෙකකට පමණයි. නමුත් ඊට පෙර ඔහු දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක් වුණා. හැබැයි සිනමාවේ ඔහු සිදු කළ එක රංගනයක් නිසා ඔහු අපේ රටේ සිනමා ඉතිහාසය තුළ අමරණීය වුණා. ඒ තමයි “බක්මහ දීගේ” චිත්‍රපටියේ මුදලිතුමාගේ චරිතය. ඉන්පසුව “තිලක සහ තිලකා” චිත්‍රපටයෙහි රංගනයෙන් දායකත්වය ලබා දීපු ඩැනියෙල් මුතුමාල, සිය පවුලේ සාමාජිකයන් සමග නවසීලන්තයේ පදිංචියට ගියා. 2017 වසරේදී නවසීලන්තයේ දී මිය යන විට ඔහුට වයස අවුරුදු අසූ හතක්.

4. නීලා වික්‍රමසිංහ (Neela Wickramasinghe)

නීලා වික්‍රමසිංහගේ මරණයෙන් ඇතිවූ කම්පනයෙන් තවමත් අපේ රටේ රසිකයෝ බොහෝ දෙනෙක් මිදිලා නැහැ. ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල්වරිය ලෙස පත්වීම් ලබා ගිය ඇය නව ධූරයේ වැඩ රාජකාරි ආරම්භ කර සතියක් ගත වීමටත් පෙර ජීවිතයෙන් සමුගත්තා. දැනට ලැබී තිබෙන ආරංචිවලට අනුව ආහාර විෂවීමක් සමඟ ඇතිවුණු හෘදයාබාධයක් තමයි ඇගේ මරණයට හේතු වෙලා තියෙන්නේ.

5. ජී. ඩී. එල්. පෙරේරා (Gonaduwa Handunge Don Leelachandra Perera)

ජී. ඩී. එල්. පෙරේරා

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිදු වූ ජී. ඩී. එල්. පෙරේරාගේ සමුගැනීම අපේ මාධ්‍ය වලට එතරම් ලොකු ප්‍රවෘත්තියක් බවට පත් වුණේ නැහැ. ලෝකය පුරා පැතිර ගිය කොරෝනා වසංගතය ඊට එක හේතුවක් වුණා. කොහොම නමුත් ලංකාවේ සිනමාව ගැන කතා කරද්දී ජී. ඩී. එල්. පෙරේරා කියන නම අපට අමතක කරන්න බැහැ. “සාමා”, “රෝමියෝ ජුලියට් කතාවක්”, “හොරා පොලිස්”, “ඉගිලෙන කුරුල්ලෝ”, “Peter of the Elephants” යන චිත්‍රපටි වල අධ්‍යක්ෂකවරයා වූයේ ඔහුයි. දීර්ඝ කාලයක් තිස්සේ මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ඔහු මිය ගියේ ද එරට තුළදීයි.

6. ෆ්ලොරීඩා ජයලත් (Florida Jayalath)

ෆ්ලොරීඩා ජයලත්

සිංහල සිනමාවේ පළමු සුපිරි තාරකාව වූයේ ඇයයි. ඇය රඟපෑ “සුජාතා” චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තැබීමට සමත් වුණා. එසේම එකල රුක්මණී දේවිය සමඟ කරට කර තරඟ වැදීමට ඇය සමත් වුණා. පසුව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ පළමු නිළිය වීමේ වාර්තාව ද ඇයට හිමි වුණා. ජීවිතයේ සන්ධ්‍යා සමයේදී ඇය සිය දියණියන් සමඟ ඕස්ට්‍රේලියාවේ කාලය ගත කළා. කාලයට සාපේක්ෂව නිහඬ ජීවිතයක් ගත කළ ඇය මිය ගියේ ද ඔස්ට්‍රේලියාවේදීයි.

7. ශාන්ති ලේඛා< (Shanthi Lekha)/h2>
ශාන්ති ලේඛා

“සුජාතා” චිත්‍රපටයෙන් තමන්ගේ සිනමා ගමන ආරම්භ කරපු ශාන්ති ලේඛා පෙම්වතියගේ පටන් මවගේ දක්වා විවිධ පරාසයක චරිත සඳහා රංගනයෙන් දායක වුණා. තම ජීවිතයේ අවසාන සමයේදී ඇයට ගත කිරීමට සිදුවූයේ රෝද පුටුවට සීමා වූ ජීවිතයක්. ඊට හේතුව වූයේ වෛද්‍යවරයෙක් විසින් ලබාදෙන ලද එන්නතකින් ඇතිවුණු සංකූලතාවයක්. සිය බාල පුතු සමග ප්‍රංශයේ ජීවත් වූ ඇය නිවාඩුවක් ලද විගස ලංකාවට පැමිණ තමා සහෝදර කලාකරුවන් සමග ප්‍රීතිමත්ව කල් ගත කිරීමට ප්‍රිය කළා. කෙසේ නමුත් 2009 වසරේ දී ඇය ප්‍රංශයේ රෝහලකදී අවසන් සුසුම් හෙළුවා.

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර්  කරන්න අමතක කරන්න එපා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *