දැන් කාලේ අපි ගොඩක් දෙනෙක් තාමත් ඔන්ලයින් වැඩ කරන එකට, එහෙම නැතිනම් වර්කින් ෆ්‍රොම් හෝම් ක්‍රමේට හුරුවෙලා නෙ ඉන්නේ. එක අතකට ඉතින් ඒක සෑහෙන්න හොඳයි. මොකද මගට යන කාලය, බස් වල කෝච්චි වල තෙරපිලා යන, එහෙම නැතිනම් වාහනයක් එලවගෙන යන මහන්සිය නෑ. ගෙදර ඉන්නත් වැඩිපුර වෙලාවක් ලැබෙනවා. එතකොට ගෙදර ඉඳන් වැඩ කරන සිස්ටම් එකේ අවුල් නැද්ද? එහෙමම කියන්නත් බෑ ඉතින්. මොකද දැන් හිටු කියලා කරන්ට් කපන විදිය එහෙම බලනකොට, වර්කින් ෆ්‍රොම් හෝම් සිස්ටම් එකත් වාත වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. හැබැයි අපි මේ කියන්නේ ඒ ගැන නෙවෙයි, වර්කින් ෆ්‍රොම් හෝම් කියලා ගෙදර ඉඳන් වැඩ කරනකොට, ඔන්ලයින් මීටින් එකක, ඔන්ලයින් වැඩක එහෙම ඉන්නකොට, එතකොට ඔෆිස් කෝල් එකක එහෙම ඉන්නකොට ගෙදරදී අපිට දහසකුත් එකක් කරදර බාධා කිරීම් වලටත් මුහුණ දෙන්න වෙනවා. එහෙම අත්දැකීම් නැති කෙනෙක් ඉන්නවා නං, ඒ කෙනා ජීවිතේට වර්කින් ෆ්‍රොම් හෝම් කරල නැති කෙනෙක් වෙන්න ඕන. හරි, ඉතින් කොහොමද ඔය බාධාවන් වළක්වා ගෙන සාර්ථකව ගෙදර ඉඳන් වැඩ කරන්නේ? ආන්න ඒකට උපකාරී වෙන ටිප්ස් කීපයක් තමයි මේ.
1. කලින්ම ගෙදර අයව දැනුවත් කරමුද?
මේක තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕන පළවෙනි කාරණාව. ගෙදර ඉඳන් වැඩ කරනවා නම්, ගෙදර ඉඳන් ඔෆිස් මීටින් ගන්නවා නම්, ඊට කලින් ගෙදර මිනිස්සු එක්කත් මීටින් එකක් ගන්න. එහෙම මීටින් එකක් අරගෙන, ගෙදර අයට තමන්ගේ රැකියාවේ ස්වභාවය, රැකියාවේ කාර්යභාරය, රැකියාවේ වගකීම ගැන පැහැදිලි චිත්‍රයක් ලබාදෙන්න ඕන. තමන් ගෙදර ඉඳන් වැඩ කරනවා කියන්නේ හදිසියට අම්මා කිව්වහම පාන් ගේන්න කඩේට යන්න, හදිසියකට තාත්තගේ ෆෝන් එකේ අවුල් හදලා දෙන්න, හදිසියට නංගිට ගණන් කියලා දෙන්න, හදිසියේ දෙනියායේ නැන්දා ආවහම ඉස්සරහට ඇවිත් කතා කරන්න පුළුවන් විදියේ එකක් නෙවෙයි, කොටින්ම ගෙදර නිකම් ඉන්නවා කියන එක නෙවෙයි කියලා ගෙදර අයව දැනුවත් කරන්න ඕන. මොකද, ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කළත්, ගොඩක් වෙලාවට ගෙදර මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ අපි ගෙදර ඉන්නවා කියන එක තමයි. අන්න ඒ නිසා, ගෙදර ඉඳන් වැඩ කරන වෙලාවට එක එක වැඩ වලට කතා කරන්න එපා කියන එක පැහැදිලි කරලා දෙන්න ඕන.
2. ෂෙඩ්යුල් එකක් හදාගමුද?
සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් වැඩ කරනකොට ගෙදර මිනිස්සු ගොඩක් වෙලාවට අපිට ඇවිත් කතා කරන්නේ, “ලොකු පුතා දවල්ට කන්න”, “දූ තේ බොන්න” වගේ සීන් වලට තමයි. දැන් ඔෆිස් ගියොත් නං ලන්ච් අවර් එකට තමයි කන්න යන්නේ. එහෙම නැතිනම් වැඩ අඩු වුණහම. හැබැයි ඉතින් ගෙදර ඉන්නකොට අම්මලට තාත්තලට එව්වා අදාළ නෑනේ. දවල්ට ඉව්වද, අපි මීටිමක හිටියත් නැතත් කුස්සියේ ඉඳන් ලොස් ඇන්ජලීස් වලට ඇහෙන්න කෑ ගහනවා කෑම කන්න එන්න කියලා. ආයෙ කොයි තරම් හදිසි වැඩක හිටියත්, තේ හැදුවහම, තේ බොන්න කියාගෙන කතා කරගෙන කාමරේට ඇවිත් තේ එක තියලා යනවා. ඔන්න ඕකට කරන්න පුළුවන් දෙයක් තමයි, ගෙදර ඉඳන් වැඩ කරනකොට ෂෙඩ්යුල් එකක් හදාගෙන, ගෙදර අයටත් ඒක ෂෙයාර් කරලා තියන එක. හැබැයි වැඩ වැඩියි කියලා දවල් කෑම එක හවස පහට කාලා හරියන්නෙ නෑ. පුළුවන් තරම් කලින් කන්න ඕන. එහෙම නැතිනම් ඉතින් පැය බාගෙන් බාගෙට අපිට වෝනින් එන්න පටන් ගන්නවා. වැඩක් කරගන්න වෙන්නෙත් නෑ.
කෑමට විතරක් නෙවෙයි, ගෙදර ඉඳන් වැඩ කරනකොට වැඩ කරන්න සහ ෆ්‍රී වෙන්න හරි ෂෙඩ්යුල් එකක් හදාගන්න එකෙන්, ගෙදර මිනිස්සුන්ගෙන් වැඩ කරනකොට එන බාධාවන් සෑහෙන්න වළක්වා ගන්න පුළුවන්.
3. ඉන්/අවුට් සයින් බෝඩ් එකක් හයි කරමුද?
මෙන්න මේක ඉතාම හොඳ ක්‍රමයක්, ගෙදරට පිටින් එන බාධා කිරීම් වළක්වා ගන්න. අර දොස්තරලා, ලෝයර්ලා එහෙම හයි කරලා තියෙන්නේ, නම තියෙනවා, ඉන් සහ අවුට් කියලා තියෙනවා. අපිට ඕක ඕන නම් වර්කින්, ෆ්‍රී කියලා හදාගන්නත් පුළුවන්. අන්න එතකොට, අපි වැඩ කරන්න පටන් ගත්තහම වර්කින් කියන එක පේන්න බෝඩ් එක හදනවා. එතකොට එන මනුස්සයෙක් “මහත්තයා මහත්තයා” කියලා පැය ගණන් ගේට්ටුව ගාව කෑ ගහන්න අවශ්‍ය වෙන්නෙ නෑ. බෝඩ් එකේ වර්කින් නං, ඒ කියන්නේ මහත්තයා වර්කින්. ඒ නිසා මහත්තයට ඇණේ වෙන්න හොඳ නෑ කියලා යයි. ඒ කියන්නේ එහෙම සෙන්ස් එකක් තියෙන මනුස්සයෙක් නං. එහෙම සෙන්ස් එකක් නැති මනුස්සයෙක් ආවොත් කරන්න පුළුවන් දේ අන්තිමට කතා කරමු.
4. ලියුම් පෙට්ටියක් හයි කරමුද?
ගොඩක් වෙලාවට වර්කින් ෆ්‍රොම් හෝම් සීන් එකේදී, ගෙදර වෙන කවුරුවත් නැතිනම් අපිට දිනපතාම බාධා කරන කෙනෙක් තමයි පියුම් මහත්තයා. තාමත් අපිට ලියුම් එහෙම තැපෑලෙන් එනවනේ. හැබැයි ඔය ප්‍රශ්නේ සියේට අනූපහක් විසඳෙනවා ගෙදර ගේට්ටුවේ ලියුම් පෙට්ටියක් හයි කළොත්. එතකොට ආයෙ ලියුම් මහත්තයටත් බෙල් එක ගහ ගහා ගේ ගාව වාත වෙන්න දෙයක් නෑ. ලියුම් පෙට්ටියට ලියුම් දැම්මා ගියා. ඒක වර්කින් ෆ්‍රොම් හෝම් වුණත් නොවුණත් හැමෝටම පහසුවක්. හැබැයි ඉතින් සියේට සීයක්ම ඕක විසඳුමක් නෙවෙයි. ඇයි? සමහර ලියුම්, පාර්සල් එහෙම තියෙනවනේ අපි අත්සන් කරලා ගන්න ඕන. අන්න එව්වා ඉතින් එහෙම ලියුම් පෙට්ටියට දාලා යන්නෙ නෑ. ඒවා ගන්න නම් යන්න වෙනවා.
5. යාළුමිත්රයන්ට කලින්ම වෙලාවක් දෙමුද?
අපි වර්කින් ෆ්‍රොම් හෝම් කරනකොට බාධා සිද්ධ වෙන තව ක්‍රමයක් තමයි යාළුමිත්‍රයෝ සහ නෑදෑහිතවත්තු. ඒකෙන් සුපිරිම කරදරේ වෙන්නේ අනාරාධනයෙන්, කලින් නොදන්වා ගෙදරට එන උන්දැලගෙන්. ඒක ඉතින් වළක්වන්න ක්‍රමයක් නෑ. ගෙදර වෙන කවුරුහරි ඉන්නවා නම්, අපිට තියෙන්නේ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් කතා කරලා, අපි ඔෆිස් වැඩ බව පැහැදිලි කරලා ආයෙමත් කාමරේට යන්න. ගෙදර කවුරුත් නැතිනම් තත්ත්වේ බරපතළයි. එහෙම වෙලාවටත් ඉතින් තේ එකක් එහෙම හදල දීලා අපිට වැඩට යන්න සිද්ධ වෙනවා. මීටින් එකක එහෙම නම් ඉන්නේ, ඒ අයට පොඩ්ඩක් මීටින් එක ඉවර වෙනකල් වාඩිවෙලා ඉන්න කියන්නවත් වෙනවා. ඒ ඇරෙන්න ගෙදරට එන නෑදෑ හිතමිත්‍රාදීන් ගෙන් ඔෆිස් වැඩට බාධා නොවෙන්න හොඳම දේ තමයි, අපේ ඔෆිස් වැඩ හරියට ෂෙඩ්යුල් කරගෙන, අපිට වැඩ නෑ කියලා ෂුවර් වෙලාවකට විතරක් ඒ අයට එන්න කියන එක.
6. බාධා නැති ඔෆිස් රූම් එකක් තියාගමුද?
ඇත්තටම ගෙදර ඉඳන් වැඩ කරනවා නම්, අනිවාර්යයෙන් අපි හිතන්න ඕන මූලිකම කාරණාව මේකයි. බාධා කිරීම් නැතුව වැඩ කරන්න පුළුවන් ඔෆිස් රූම් එකක් නැතිනම් ඔෆිස් ස්පේස් එකක්. ඔෆිස් එක විදියට රූම් එකක් තියාගන්න පුළුවන් නම් ඉතින් ආයෙ පහසුයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එතකොට දොර වහලා තියන්න විතරයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔය ගෙදර ඇතුළේ සුරතල් සත්තු එහෙම හදනවා නම්, ඒ සත්තු කොයි වෙලෙත් අපි ගාවට එනවා නම්, ඔය දොර වහලා තියාගන්න සීන් එක වැදගත්. සුරතල් සත්තු සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, ගෙදර පොඩි දරුවෝ එහෙම ඉන්නවා නම්, එතකොටත් වහන්න පුළුවන් දොරක් තියෙන ඔෆිස් රූම් එකක් තියෙන එක වැදගත්. එහෙම වෙන් කරගන්න ඔෆිස් රූම් එකක් නැතිනම්, අඩු ගාණේ ප්‍රයිවසි තියෙන තමන්ගේ නිදන කාමරේ හරි ඒකට යොදාගන්න වෙනවා. එහෙමත් බැරි නම්, ගෙදර අනවශ්‍ය බාධා කිරීම් වලින් තොර මුල්ලක් හරි ඒකට සෙට් කරගන්න වෙනවා.
මේ අනවශ්‍ය බාධාවන්ගෙන් තොර ඔෆිස් රූම් එකක්, ඔෆිස් ස්පේස් එකක් කියන එක තෝරගන්නකොට අති වැදගත් වෙන තව කාරණයක් තියෙනවා. ඒ තමයි පාරේ සද්ද බද්ද, අල්ලපු ගෙවල් වල සද්ද බද්ද වගේ දේවලින් හැකිතාක් දුරස් වුණු තැනක් තෝරගන්න එක. නැත්නම් ඉතින් මීටින් එකක කතා කරනකොට එක්කෝ අයිස්ක්‍රීම් වෑන් එකේ මියුසික් එක, චූන් පාන් මියුසික් එක, මාළු ගන්ඩෝ, කිරි කිරි මී කිරි, පිහිය මුවාත් කතුර මුවාත්, ගස් අතු බඳිනවා, පොල් කඩනවා වගේ එක එක බාධා කිරීම් තමයි මීටින් එකේ ඉන්න අනික් අයට අහගෙන ඉන්න වෙන්නේ!
7. බැරිම නම්, එක්ස්කියුස් කරලා යමුද?
අපි උඩින් කිව්වනේ ඉන් අවුට් බෝඩ් එකක් හයි කරලත්, බැරි වුණොත් මොකද කරන්නෙ කියන එක? ඇත්තටම ඔය ගම්පළාතක එහෙම නං ඔය ඉන් අවුට් සීන් හරියන්නෙ නෑ. ආයෙ එන මනුස්සයා “ගෙදර කවුරුත් නැද්දෝ” කිය කියා කෑ ගහ ගහ ඔතන ඉන්නවා. අපි මීටින් එකක කතා කරන කටහඬ ඇහුණොත් කොහොමත් යන්නෙ නෑ. ඇයි ඒ කියන්නේ ගෙදර මිනිස්සු ඉන්නවා කියන එකනේ. දැන් අපි ඇරෙන්න ගෙදර වෙන කවුරුහරි ඉන්නවා නං ඕක ලොකු ගැටළුවක් වෙන්නෙ නෑ. හැබැයි එහෙමත් නැතිනම්, අපි මීටින් එකක හරි කෝල් එකක හරි ඉන්නකොට එහෙම කවුරුත් ඇවිත් දිගින් දිගටම කතා කරනවා නං කරන්න තියෙන්නේ, කෝල් එකට හරි මීටින් එකට හරි එක්ස්කියුස් කරලා යන එක තමයි. එහෙම ගිහින්, ආපු කෙනාගෙන් ආපු කාරණාව අහලා, ඒක හැකි ඉක්මනින් විසඳලා, තමන් ඉන්නේ වැඩක කියලා ආයෙමත් එන්නයි තියෙන්නේ. එහෙම නැතුව ආපු කෙනා ගමේම ඕප කියන්න තියාගත්තොත්, හිත රිද්දන්න බැරි නිසා අහන් ඉන්නෙ නැතුව, එයාටත් එක්ස්කියුස් කරලා එන්න තමයි තියෙන්නේ.
Leave a Reply