ඔස්කාර් සම්මාන දිනාගත් සුපිරිම විදේශීය සිනමා නිර්මාණ හතක් බලමුද?

සෑම වසරකම හොඳම හොලිවුඩ් සිනමාපට අගයන අතරේ වෙනත් භාෂාවලින් නිර්මාණය කරන ලද හොඳම විදේශීය සිනමාපට අගය කිරීමද ඔස්කාර්, එහෙමත් නැත්නම් ඇකඩමි සම්මාන උළෙලේදී සිදු වනවා. අද අපි මේ ලිපියෙන් ගෙන එන්නේ හොඳම විදෙස් සිනමාපටයට හිමි ඇකඩමි සම්මානය දිනූ විශිෂ්ටතම සිනමාපට 7ක් පිළිබඳ තොරතුරුයි.

 

1. Parasite 

මේක ගැන නම් ආයේ ඉතින් අමුතුවෙන් විස්තර කියන්න ඕනේත් නැහැනේ. ගොඩක් අය බලලා තියෙන වගේම ඔස්කාර් ඉතිහාසය තුළ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්ත පළමු හා එකම විදේශීය නිර්මාණය වෙන්නෙ මේක. ඉතින් සමහර අයට අනුව නම් පැරසයිට් කියන්නේ ඕවර්රේටඩ් නිර්මාණයක්. තවත් සමහරුන්ට නම් බලපු සුපිරිම නිර්මාණයක්. ඒ කොහොම වුණත් පැරසයිට් කියන්නේ අපි හැමෝම වගේ අනිවාර්යයෙන් නැරඹිය යුතුම නිර්මාණයක් විදියට නම් කරන්න පුළුවන්. ඒකට හේතු මොනවද කියලා අපි වෙනම ලිපියකුත් ලියලා තියනවා. ඒ. ලිපිය පහල ලින්ක් එකෙන් කියවන්න. 

 

ඔස්කාර් සිනමා උළෙල කැළඹූ පැරසයිට් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් වන්නේ ඇයි?

 

 

2. Roma 

මේකත් සුපිරිම නිර්මාණයක්. ගොඩක් අය බලලත් ඇති. ඒ වගේමයි හැමෝටම හරියන විදියෙම එකකුත් නෙමෙයි මේ චිත්‍රපටය. සමහර අයට කම්මැලි වෙන්නත් පුළුවන් ඉතින්. මොකද මේකේ දෙබස් හරිම අඩුයි. ඒ වගෙමයි මෑත කාලයේ නිර්මාණයක් වුණාට මේක කළු සුදු චිත්‍රපටයක්. බිඳුණු සම්බන්ධතා සමග ගනුදෙනු කරන කාන්තාවන් දෙදෙනෙකුගේ ජීවිත හරහා ගලායන මේ මෙක්සිකානු සිනමාපටය ඉවසීමකින් නැරඹුවොත් අපූරු සිනමා අත්දැකීමක් වේවි.

 

3. Separation 

ගොඩක් අය ඉරානයේ යථාර්ථවාදී සිනමා කර්මාන්තය හඳුනගත්ත චිත්‍රපටය විදියට අපිට මේ සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ඉරාන සිනමාව තුළ තියෙන ඒ යථාර්ථවාදී ගතිය ගොඩක් දුරට මොන සිනමාකර්මාන්තයකවත් නෑ කියලත් සමහරු මත පළ කරනවා.

මේක බිඳී විසිරෙන්නට ආසන්න පවුලක් කේන්ද්‍ර කරගත් කතාවක්. ඔවුන්ගේ ජීවිතවල හැල හැප්පීම් සමග ප්‍රේක්ෂකයාගේ සිතුවිලි විවිධ පැතිකඩ ඔස්සේ ගලායන්න සලස්වන්න මෙහි අධ්‍යක්ෂක අස්ගර් ෆර්හාඩි සමත් වනවා. මේ චිත්‍රපටය ඔබව ෆර්හාඩිගේ අනෙකුත් සිනමා නිර්මාණ ලුහුබැඳ යන්නත් පොළඹවාවි කියල අපි සිතනවා. 

 

4. Amour 

ප්‍රංශ සිනමාව කියන්නේ මොනතරම් කලාත්මක සිනමා කර්මාන්තයක්ද කියලා අමුතුවෙන් අඳුන්නලා දෙන්න ඕනේ නෑනේ. Amour කියන්නේ ආදරේට ප්‍රංශ භාෂාවෙන් කියන වචනය. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ වෙනස්ම ආකෘතියේ චිත්‍රපට නිර්මාණය කිරීම නිසා ප්‍රසිද්ධියට පත් අධ්‍යක්‍ෂවරයෙක් වන මයිකල් හැනකේ විසින්. වියපත්ව, මරණාසන්නව සිටින තමන්ගේ ආදරණීය බිරිඳ සමග කල්ගත කරන සැමියෙක්ගේ ජීවිතය තමයි මෙම චිත්‍රපටය මගින් ස්පර්ෂ කරන්නේ. බොහොම සංවේදී සිනමා අත්දැකීමක් වෙනවා නිසැකයි මෙයත්. 

 

5. Departures

 මේක අපේ රටේත් ගොඩක් කතාබහට ලක්වුණු නිර්මාණයක්. විශේෂයෙන්ම මේ නිර්මාණය ගොඩක් සංවේදීයි. ඒ නිසා ගොඩක් අයගේ හදවතට කතාකරපු ජපන් සිනමා නිර්මාණයක් බවට මෙය පත්වුණා. අවමංගල්‍ය උත්සව සඳහා මළසිරුරු සකස් කිරීමට යොමුවන විවාහක තරුණයෙක් තමයි මෙහි ප්‍රධාන චරිතය. සිනමාපටයේදී අපට මුණගැසෙන ජීවත් වන අය සහ මියගිය උදවිය සමග ලොකු ජීවිත දර්ශනයක් මවන්න මෙහිදී සිනමාකරුවා සමත්ව තිබෙනවා. ඒ වගේමයි මේ චිත්‍රපටයේ සංගීතය ගැනත් විශේෂයෙන් නොකිව්වොත් අඩුවක්. ඒ තරම් විශිෂ්ටයි මේ සිනමා නිර්මාණයේ සංගීතය. 

 

6. Ida 

මේක පෝලන්ත නිර්මාණයක්. අපි කලින් කතා කරපු Roma වගේ මේකත් කළු සුදු නිර්මාණයක්. ඒ වගේමයි මේකත් හරිම නිහඬ, දෙබස් අඩු සිනමා නිර්මාණයක්. විශේෂයෙන්ම මේකට පාදක වෙන්නේ දෙවන ලෝක යුද්ධය සමයයි. ඒ කාලයේ පූජකවරය ලබනා අනාථ ගැහැනු ළමයෙක් වටා තමයි මේ සිනමාපටයේ කතාව දිවෙන්නේ. ඉතින් මෙයත් ඉවසීමෙන් යුතුව නැරඹුවොත් ඔබගේ රසවින්දනය පුළුල් කරවාවි. 

 

7. Rashomon 

අපි කලින් කතාකරපු සිනමාපට ඔක්කොම ටිකක් මෑත දශකවල ආපු සිනමා නිර්මාණ. අපි දැන් කතා කරන්න යන්නේ ඊට සාපේක්ෂව සෑහෙන්න පරණ නිර්මාණයක් ගැන. ඒ වුණාට මේක අතිශයින්ම ජනප්‍රිය සිනමා නිර්මාණයක් වගේම ලෝක සිනමා ඉතිහාසයේ සුවිශේෂීම සිනමාපටයක් විදියට හඳුන්වන්න පුළුවන්. එකම සිද්ධියක් පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් නැවත නැවත දිගහැරීමක් තමයි මේ චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නේ. ලෝකයේ බිහිවුණ ශ්‍රේෂ්ඨතම සිනමාකරුවෙක් ලෙසින් සැලකෙන අකිර කුරසෝවා තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ.

 

 

ඉතින් මේ නිර්මාණ නරඹලා තියනවා නම් ඒ ගැන ඔබේ අදහස් දක්වන්නටත්, යාළුවො එක්ක මේ තොරතුරු බෙදාගන්නත් අමතක කරන්න එපා එහෙනම්… 

 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *