පුරාතන නිදි රටා සහ නින්ද ගැන අපූරු කතා

නින්ද කියන්නේ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට සෘජුව බලපාන දෙයක්. වර්තමාන කලබලකාරී ජීවන රටාව එක්ක නින්ද බොහෝ දෙනෙක්ට අහිමි වෙන දෙයක් වෙලා තියෙනවා. නින්ද ක්‍රමවත් කරගැනීමෙන් අපේ කාර්යක්ෂමතාවය, නිර්මාණශීලීත්වය වැඩි කරගන්න පුළුවන් බව සොයාගෙන තියෙනවා. ඒ වගේම නිදි නැතිව වැඩ කරන්නට යෑම අපේ කායික වගේම මානසික සෞඛ්‍යයත් පහළට ඇදලා දානවා. ඉතින් නින්ද ගැන තියෙන ඉතිහාසගත දේවල් ටිකක් අපි බලමු.

 

 

1. නින්ද අවශ්‍ය වෙන්නේ ඇයි?

නින්ද අවශ්‍ය වෙන්නේ ඇයි කියන එකට විද්‍යාඥයින් සාධක ගොඩක් ඉදිරිපත් කරනවා. අපේ සිරුරට, මොළයට දවසේ ක්‍රියාකාරකම් අවසානයේ විවේකයක් අවශ්‍ය වෙනවා. ඒ විවේකය නින්දෙන් ලබා දෙනවා. කුඩා දරුවන්ගේ මොළයේ වර්ධන කටයුතු බොහොමයක් මේ නින්ද පවතින කාලයේ සිදුවන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම සාමාන්‍ය අවස්ථාවන්ට වඩා නිදි වෙලාවට සිරුරේ ශක්තිය අඩුවෙන් තමයි වැය වෙන්නේ. අපේ ශක්තිය ඉතිරි කරගන්න ක්‍රමයක් විදිහටත් නින්ද දැක්වෙනවා.

 

 

2. දඩයම් යුගයේ නින්ද

 

දඩයම් යුගයේ නින්ද මොන වගේද කියල අධ්‍යනය කරන්න අද තියෙන එකම පහසුකම තමයි තවමත් මිනිසුන් අතර ගෝත්‍රිකයින් ලෙස ජීවත් වෙන කණ්ඩායම්. ඔවුන් පිළිබඳ කරන ලද අධ්‍යනයකට අනුව කළුවර වැටීමෙන් පැය තුන හමාරකට පසුව ඔවුන් සාමාන්‍යයෙන් නින්දට යන බවත්, පැය 6.25 ක පමණ නින්දක් ලබාගන්නා බවත් සොයාගෙන තියෙනවා. ඒ වගේම ඔවුන් ග්‍රීෂ්ම කාලයට වඩා ශීතල ඇති කාලවල වැඩිපුර නිදාගන්නා බවත් අනාවරණය කරගෙන තියෙනවා. මධ්‍යතන යුගවලදී මිනිසුන් අතරමැද අවදි වී නිදාගත්තා වුණත් දඩයම් යුගයේදී මිනිසුන් දැන් ආකාරයෙන් දිගටම නිදාගෙන තිබෙන බව අනාවරණය වෙලා තියෙනවා.

 

 

3. විදුලිය සහ නින්ද

විදුලිය සොයාගැනීම නින්ද කෙරේ කෙලින්ම බලපාන සාධකයක් වුණා. අපි මිනිස්සු විදිහට පුරාතනයේ පුරුදු වෙලා හිටියේ ඉර හැරෙන කොට, ඒ කිව්වේ ඉර බැහැලා කළුවර වෙනකොට නිදා ගන්න. ඒත් 1800 ගණන් වල විදුලි බලය ඒමත් එක්ක දවල් වගේම එළිය තියෙන රාත්‍රී කාලයක් අපිට විදුලිය නිසා ලබාගන්න පුළුවන් වුණා. දැන් නම් කම්පියුටර් ස්ක්‍රීන්, ෆෝන් ආදිය තියෙන නිසා ඒවායෙන් එන ආලෝකයත් අපි ඉන්නේ දිවා කාලයේ කියලා රෑට අපේ ඇස් රවටනවා. ඒ අනුව විදුලිය සොයැගැනීමත්, ඉලෙක්ට්‍රොනික සහ ස්මාට් උපාං​ග අතට පැමිණීමත් අපේ නින්ද කෙරේ සෘජුවම බලපෑවා.

 

 

4. චීන සහ ඉන්දියානුවන්ගේ නින්ද

 

චීන ජාතිකයින් දැනටත් දවල්ට කාලා ටිකක් ඇලවෙනවා පැයක් පැය බාගයක් විතර. මැදපෙරදිග කලාපයේ රැකියා කරන අය එළියට පහලියට බහිනකොට කොහොමත් උදේ පාන්දර සහ හැන්දෑවේ තමයි එළියේ වැඩ කරන්නේ. මොකද දවල්ට එළියේ තියෙන උණුසුම දරාගන්න බැහැ. ඒ ආකාරයට එක් එක් කලාපයට ආවේණික නිදාගැනීමේ රටාවන් එකල තිබිලා තියෙනවා. චීන ජාතිකයින්ගේ මේ දවල්ට කාලා කරන හදිසි නිදාගැනීම නිසා සවස් කාලයේ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩිවෙන බව සොයාගෙන තියෙනවා.

 

 

5. ඩාවින්චිගේ නින්ද

 

ලියනාඩෝ ඩාවින්චි ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් සහ විද්‍යාඥයෙක්. ඩාවින්චි පමණක් නොවෙයි, නිකොලා ටෙස්ලා, වින්ස්ටන් චර්චිල්, තෝමස් අල්වා එඩිසන්, තෝමස් ජෙෆර්සන් වගේ බොහෝ ​දෙනෙක්ගේ නිදාගන්නා රටාව සාමාන්‍ය අයට වඩා වෙනස්. ඩාවින්චි නම් පැය කිහිපයක් වැඩ කරලා පැය බාගයක් විතර නිදාගෙන ඇහැරෙන ක්‍රමයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එය වර්තමානයේ ප්‍රායෝගිකව අපහසු වුවත් සමහර විට ඩාවින්චි ජීවත් වූ කාලයේ එතරම්ම ලොකු අවුලක් වෙන්නට නැතුව ඇති.

 

 

6. පුරාණ ග්‍රීක නින්ද

 

පැරණි පොත පත පරිවර්​තනය කරද්දී දෙවනි නින්ද සහ ප​ළමු නින්ද කියා නිදි වර්ග දෙකක් නිතර හමු වෙනවා. ඒ කාලේ සාහිත්‍ය කෘති හැදෑරුවට පස්සේ මිනිස්සු රෑට කොටස් දෙකකට නිදාගෙන හිටි බව අනාවරණය වෙනවා. මුල් අර්ධයේදී ඉර අවරට යනකොටම නිදාගන්නවා. ඉන් පස්සේ පැය හතරක් විතර නිදාගෙන මහ රෑ නැගිටලා කනවා බොනවා, කතා බහ කරනවා, පෙම් කරනවා, ආයේ පැයක් දෙකක් විතර අවදියෙන් ඉ​ඳලා නිදා ගන්නවා. මේ ආකාරයට රැය කොටස් දෙකකට බෙදාගෙන නිදාගන්න එක, එක දිගට පැය අටක් නිදාගන්නවාට වඩා සාර්ථක බවක් තමයි පැවසෙන්නේ.

 

 

7. නිදාගන්න සහ අවදිවෙන්න හොඳම විදිහ මොකක්ද?

 

අද කාලයේ මෘදුකාංග ඉංජිනේරුවන් එහෙම නිදාගන්නවා අඩුයි. ඒ අයගේ රැකියා ස්වභාවය අනුව රාත්‍රී වැඩ කිරීම සාමාන්‍ය දෙයක්. මේ පසුගිය ශතවර්ශයේ මැද ලියවුණු කතා ආදියට අනුව උදෙන්ම නැගිටීම හොඳ පුරුද්දක් ලෙස දැක්වෙනවා. කුමාරතුංග මුනිදාස ලියූ සිරිමත් කවි පන්තියේ හොඳ සිරිමතුත් පාන්දරින් නැගිටලා පාඩම් කරනවා. ඒත් තවදුරටත් උදෙන් නැගිටීම හොඳයිද? රෑට නිදිමැරීම හොඳයිද? දිගටම නිදාගැනීම හොඳයිද? ආදී දේවල් ගැන ස්ථාවර අදහස් නැහැ. ලෝකයේ සාර්ථක පුද්ගලයින් අතර පවා සාමාන්‍ය විදිහට නිදාගන්නා අය සහ විවිධ රටාවලට නිදාගන්නා අය ආදී විවිධ මාදිලියේ අය ඉන්නවා.

 

කෙසේ වෙතත් නින්ද කියන්නේ හැම කාලයකදිම මිනිස්සුන් වින්ද දෙයක්. අදටත් නින්ද අපිට අත්‍යාවශ්‍යයි. කුමන හෝ ක්‍රමයකට දවසේ නිදාගත යුතු කාලය නිදාගැනීමත්, එය පුරුද්දක් විදිහට දිගටම පවත්වාගෙන යෑමත් අපේ සෞඛ්‍යයට වඩාත් වැදගත් වේවි. 19 වන සියවසේ ලියවුණු කවිපොත් වල තිබුණු පළියට දරුවන් මහපාන්දර නැගිට්ටවලා පාඩම් කරන්න බලකරන එකත් මේ කාලෙදි නම් එච්චර හොඳ දෙයක් විදිහට දකින්න අමාරුයි. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *