මුරුංගස්යායේ ඤාණිස්සර හාමුදුරුවෝ

පහුගිය නොවැම්බර් මාසයේදී මුරුංගස්යායේ ඤාණිස්සර හාමුදුරුවෝ නොසිතූ විරූ මොහොතක අප අතරින් වෙන්ව ගියා. කෙසේ නමුත් රටේ පැවති තත්ත්වය අනුව උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව නිසි මාධ්‍ය අවධානයක් ලැබුණද කියන එක සැකයක්. උන්වහන්සේ තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් වැය කළේ ප්‍රංශයේ ධර්මදූත සේවාව හරහා ලැබුණු ආධාර උපකාර භාවිතා කරමින් ලංකාවේ දායක දායිකාවන් වෙනුවෙන් සේවයක් කිරීම සඳහායි. මේ නිසාම අපේ රටේ ගිහියන් වෙනුවෙන් වැඩිම දන් දීපු භික්ෂූන් වහන්සේ විදිහට ඇතැම් අය උන් වහන්සේව හඳුන්වනවා. උන් වහන්සේට කළගුණ දැකීම විදිහට අපි මේ කෙටි සටහන තබන්න හිතුවා. මේ කෙටි සටහන සකස් කිරීමේදී උන්වහන්සේගේ ‍කල්‍යාණ මිත්‍ර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී බණ්ඩාර තිලකවර්ධන මහතාගේ සටහන් උපයෝගී කරගත් බව අප කෘතඥතා පූර්වකව සඳහන් කරනවා.

 

 

1.ප්‍රංශයට පැමිණීම

සිය ජීවිතයේ කිසිම දිනයක විදෙස් රටක ධර්මදූත සේවාවේ යෙදීමට උන්වහන්සේ තුළ අදහසක් නොතිබුණු අතර ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන හිමියන්ගේ ඉල්ලීම පරිදි උන්වහන්සේ ප්‍රංශයට වැඩම කළා. පසුකාලයක උන් වහන්සේට වියට්නාම් පන්සලක නේවාසිකව සිටීමට අවස්ථාව ලැබුණු අතර එම දායක දායිකාවන්ගේ දැඩි ඉල්ලීම පරිදි උන්වහන්සේ එහි භාරකාරීත්වය දැරීමට තීරණය කළා.

 

2.පෙර භවයේ නෑදෑයෝ

උන්වහන්සේගේ සියළුම සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය ලබා දුන්නේ ප්‍රංශයේ වාසය කරන වියට්නාම සහ කාම්බෝජ ප්‍රධාන දායක පිරිසයි. වතාවක් එම පන්සලෙහි නවාතැන් ගෙන සිටි බෙල්ලන ඤාණවිමල මහා නායක හිමියන් පවසා ඇත්තේ මේ පිරිස ඥාණීස්සර හිමියන්ගේ පෙර භවයේ ඥාතීන් බවය

 

3.වෛද්‍ය සිසුන්ට ලබාදුන් ශිෂ්‍යත්ව

අපි දන්නවා අපේ රටේ මොනවා හරි පොඩි දෙයක් දුන්නත් විශාල උත්සවයක් තියලා රටටම අඬබෙර ගහලා තමයි ඒ දේ දෙන්නේ. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය සිසුන් ගණනාවකට ශිෂ්‍යත්ව පිරිනැමුව මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමියන්ගේ සිරිත ඊට වඩා වෙනස් එකක් වුණා. උන්වහන්සේ ශිෂ්‍යත්වය ලබාදී හැකි ඉක්මනින් එම දරුවන්ව පිටත් කර යැවූ අතර ශිෂ්‍යත්වයට අමතරව ගමන් ගාස්තු සඳහා තවත් අමතර මුදලක් ද ලබා දීමට කටයුතු කළා. එසේම උන්වහන්සේ අවධාරණය කළේ තමන් වහන්සේට ස්තූති යැයි කියා ලිපියක් වත් ලිවීම අනවශ්‍ය බවත්, තමන් වහන්සේට කළ හැකි එකම ගරුකිරීම වන්නේ දුප්පත් අසරණ රෝගීන් සඳහා උපරිම සේවාවක් ලබාදීම බවයි.

 

4.දේශපාලනඥයා නැති විවෘත කිරීම

උන්වහන්සේ විසින් අපේ රටේ ජනතාවට විවිධ අවස්ථාවල නිවාස, රෝහල් ප්‍රතිසංස්කරණය කිරීම්, වෛද්‍ය නේවාසිකාගාර ඉදිකිරීම් ආදී දේවල් වලින් සහයෝගය පළ කළා. අපේ රටේ පන්සල්වල තියෙන අවාසනාවන්ත තත්ත්වයක් තමයි තමන්ගේ දායකයන්ගේ මුදලින් ඉදිවන විවිධ කොටස් විවෘත කිරීම සඳහා දේශපාලනඥයන්ට ආරාධනා කිරීම. නමුත් මුරුංගාගස්යායේ ඤාණිස්සර හාමුදුරුවෝ මේ ක්‍රමයටත් වෙනස් ක්‍රමයක් අනුගමනය කළේ. උන්වහන්සේ ඒ සියළුම විවෘත කිරීම සඳහා මහා සංඝරත්නයට ආරාධනා කළ අතර ඇතැම් අවස්ථාවල තමන් වහන්සේට හිතවත් ගිහියන්ව සහභාගී කර ගනු ලැබුවා

 

 

5.මිද්දෙණියේ රෝහල

උන්වහන්සේ විසින් මිද්දෙණිය රෝහල සම්පූර්ණයෙන් සංවර්ධනය කළ අතර කොරෝනා සමයේදී කොරෝනා රෝගය වැළඳුණු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා එම රෝහල වෙන් කිරීමට කටයුතු කළා. විශේෂත්වය වූයේ එහි ප්‍රතිකාර ලබන සෑම රෝගියකු සඳහාම රුපියල් 5000 ක ප්‍රදානයක් උන්වහන්සේ විසින් සිදු කිරීමයි. එසේම කාර්ය මණ්ඩලය සඳහා ද මූල්‍යමය සහ අනිකුත් ප්‍රදානයන් ලබාදුන් උන්වහන්සේ ඉල්ලා සිටියේ හැකි උපරිමයෙන්ම රෝගීන් බලා ගන්නා ලෙසයි.

 

6. ගමට උන්වහන්සේත් සැලකූ ආකාරය

මිද්දෙණිය ප්‍රදේශයේ ජීවත්වන වැඩිහිටියන් සඳහා වාර්ෂිකව රෙදිපිළි සහ මුදල් පරිත්‍යාග සිදු කළ උන්වහන්සේ අසරණ පුද්ගලයෙකු හෝ භික්ෂූන් වහන්සේ නමක් මිය ගිය විට අවසන් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වන අරමුදලක් ද ඇති කළා. එපමණක් නොව ළමයින්ගේ සහ තරුණ පරපුරේ ශරීර සුවතාවය සඳහා මන්තීරු සහිත උද්‍යානයක් සකස් කළ උන්වහන්සේ එතෙක් මිද්දෙණිය ප්‍රදේශයට අඩුවක්ව පැවති ආදාහනාගාරයක් ද ඉදි කළා.

 

7.අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය

සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේ දී භික්ෂූන් වහන්සේලාට ගුරු පත්වීම් ලබා දීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් වූ අතර ඊට විරුද්ධව ශිෂ්‍ය අවදියේ සිටි මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමියන් සටනක් දියත් කළා. එහිදී උන්වහන්සේ විසින් විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා සහභාගි කරගනිමින් සංගමයක් සකස් කරගත් අතර වර්තමානය වන විට විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය බවට පත්ව තිබෙන්නේ එම සංගමයයි.

 

මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමියන් ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය ශාක්ෂාත් කර ගනීවා.

 

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් පළ කරන ගමන් සුපුරුදු පරිදි මෙම ලිපිය ෂෙයාර් කරන මෙන් ඉල්ලා සිටිමි. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *