ධනාත්මක චින්තනය පිළිබඳව විවිධ අය පරස්පරව අදහස් දැක්වුවත් ඒ හරහා වැඩ ගත් පිරිස් ඕන තරම් ඉන්නවා. විශේෂයෙන්ම තම පෞද්ගලික දියුණුව වගේම ඒ හරහා සමාජයේ දියුණුව සඳහාත් මේ අය දායක වෙලා තියෙනවා. මේ නිසා අපි හිතුවා අපේ රටේ ප්‍රකට ධනාත්මක චින්තකයෝ කීපදෙනෙක් පිළිබඳව සටහනක් තබන්න. මේ ලයිස්තුවට ඇතුළත් වෙන්න ඕන තවත් ධනාත්මක චින්තකයෝ ඉන්නවා නම් ඒ අය ගැනත් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඇතැම් පාර්ශව ධනාත්මක චින්තනය කියන වචනයටත් විරෝධය දක්වන්න පුළුවන්. ඒ විරෝධයත් කමෙන්ට් වලට එකතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
1. චන්දන ගුණවර්ධන
ඇත්ත වශයෙන්ම මෙම සටහන තියන්න අපිට හිතුණේ පහුගිය මාසයේ පමණ අපට අහන්න ලැබුණු චන්දන ගුණවර්ධන මහත්මයාගේ හදිසි මරණය නිසා ඇතිවූ කම්පනය නිසයි. එතුමා ඇතැම් අවස්ථාවල පළකල අදහස් තරමක් දුරට ආන්දෝලනාත්මක වුණත් එතුමාගේ ලිපි ලේඛන සහ දේශන හරහා අපේ රටේ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට ධනාත්මක චින්තනය වගේම ආකල්ප වර්ධනය සමීප කර ගත්තා කියන එක අනිවාර්යෙන්ම පිළිගන්න වෙනවා. ඉතාමත්ම සිත්ගන්නාසුළු දේශන ශෛලියකින් ප්‍රේක්ෂකාගාරය තමන්ට නතු කරගන්න එතුමා සමත් වුණා. ජයවර්ධනපුර සරසවියෙන් සහ රුසියානු විශ්වවිද්‍යාලවලින් එතුමා උසස් අධ්‍යාපනය ලබා තිබූ අතර ඒ හරහා ලබා ගත් දැනුම නොමසුරු ලෙස එතුමා ජනතාව සමග බෙදා ගත්තා.
2. ලාල් ෆොන්සේකා
ලාල් ෆොන්සේකා මහතා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ කියන එක සමහරු දැන ගන්නේ මේ ලිපිය හරහා වෙන්න පුළුවන්. මොකද ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවලට එතුමාගේ මරණය ලොකු පුවතක් වුණේ නැහැ. කාලයක් දොරමඩලාව වැනි වැඩසටහන් වලට එතුමාව නැතුවම බැරි පුද්ගලයෙකු බවට පත්ව තිබුණා. ඵලදායීතාවය පිළිබඳව ප්‍රායෝගික උදාහරණ තුළින් ලංකාව වෙනස් කිරීමට එතුමා උත්සාහ කළා. සමස්තයක් වශයෙන් නොවුණත් කාර්යාල සහ පවුල් මට්ටමින් එතුමා හෙළි කළ මාර්ගයේ ගමන් ගන්නා පිරිස විශාල බව අපේ වැටහීමයි.
3. දයා රෝහණ අතුකෝරල
දයා රෝහණ අතුකෝරල මහත්මයා පෞරුෂ සංවර්ධනය සහ ධනාත්මක චින්තනය පිළිබඳව ලංකාවේ සිංහලෙන් කතා කරන්න පටන් ගත්ත පුරෝගාමියෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ශික්ෂා මන්දිර ප්‍රකාශන හරහා විවිධ විදේශීය කතුවරුන්ගේ කෘති සිංහලයට පරිවර්තනය කොට ප්‍රචාරය කිරීම එතුමා සිදු කළා. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් හරහා මේ දැනුම ලංකාවේ දුෂ්කර ප්‍රදේශවලට පවා ගෙන යෑමට ඉතා සාධනීය මෙහෙවරක් සිදු කරනු ලැබුවා.
4. සනත් ගමගේ
දරුවන්ගේ අධ්‍යාපනය සහ ආකල්ප සංවර්ධනය පිළිබඳව ජනප්‍රිය දේශකයකු වන සනත් ගමගේ මහතා ලිපි ලේඛන රචනා කිරීමෙන් නොනැවතී ප්‍රායෝගිකව කඳවුරු හරහා එම සංකල්ප යථාර්ථයක් කිරීමට කටයුතු කරන අයෙක්. විශේෂයෙන්ම සෑම දරුවෙකුටම ඉගෙන ගත හැකිය යන මතය සමාජගත කිරීමට එතුමා විශාල දායකත්වයක් ලබා දුන්නා. එතුමාගේ දේශන හරහා විශාල පිරිසක් සාර්ථකව තිබෙනවා.
5. මොහාන් පල්ලියගුරු
මෑතකදී එක්තරා වැඩසටහනක් සඳහා සහභාගී වී සිදු කළ ප්‍රකාශයක් නිසා සමාජ මාධ්‍ය ජාලාවල දැඩි විවේචනයට ලක් වූ මොහාන් පල්ලියගුරු කියන්නෙත් මෑත කාලයේ අපේ රටේ ධනාත්මක චින්තනය සංකල්පය සහ පෞරුෂ වර්ධනය සඳහා සාධනීය දායකත්වයක් ලබා දුන් අයෙක්. තමන්ටම ආවේණික ශෛලියකින් ආමන්ත්‍රණය කරන මොහාන් පල්ලියගුරු, ජනමාධ්‍ය හරහා තම දැනුම නොමිලේ බෙදා ගැනීමට දක්වන උනන්දුව අගය කළ යුතුයි.
6. කුමා ඉද්දමල්ලෙන
වෘත්තීමය කටයුතු වල නිරත වන පුද්ගලයන්ගේ පෞරුෂ සංවර්ධනය හරහා ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීමය දියුණුව, ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීම කුමා ඉද්දමල්ලෙන විසින් සිදු කරනු ලබනවා. ඔහු විසින් නායකත්ව පුහුණු වැඩසටහනක්ද පවත්වන අතර ඉන් ප්‍රතිඵල ලැබූ පිරිස අතිවිශාල බව කියවෙනවා.
7. මැණිකේ සුමනසේකර
මේ ක්ෂේත්රය තුළ කාන්තාවන්ගේ දායකත්වය තවමත් පවතින්නේ ඉතාමත් අල්ප වශයෙන්. එවැනි පසුබිමක මෙම ලිපිය සඳහා මැණිකේ සුමනසේකර මහත්මියගේ නම සඳහන් නොකළහොත් එය මහත් අඩුවක් වනවා. ඇය වැඩි වශයෙන් පාසල් සහ සිසු දරුවන්ගේ ආකල්ප සහ පෞරුෂ වර්ධනය පිළිබඳව කතා කරන අතර ඇය විසින් එම පිරිස් අළලා ග්රන්ථ කිහිපයක් ද රචනා කරනු ලැබ තිබෙනවා.
එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply