පසුගිය සතියක අපි පළකරපු මෙම ලිපියේ පළමු කොටස සඳහා ඔබගෙන් ඉහළ ප්‍රතිචාර ලැබිලා තිබුණු නිසා හැකි ඉක්මනින් එහි දෙවැනි කොටසක් ලියන්න අපි තීරණය කළා. එහෙනම් කියවන්න පටන් ගමු.
1. දරුවන්ගෙන් ඈත් වුණු දෙමව්පියන්
එළිසබත් රැජින සහ පිලිප් කුමරු හට සිය දරුවන්ගේ කුඩා කාලය තුළ දී ඔවුන් සමග වැඩි වශයෙන් කාලයක් ගත කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. උදාහරණයක් ලෙස ඔවුන් මෝල්ටාවේ ගත කළ කාලය තුළ චාල්ස් කුමරු සහ ඈන් කුමරිය වැඩි වශයෙන් කාලය ගත කළේ සිය සීයා සහ මිත්තණිය ඇසුරෙහි මහා බ්‍රිතාන්‍යයේයි. ඉන්පසුව එළිසබත් කුමරිය රජකමට පත් වීමෙන් අනතුරුව උපත ලැබූ ඇන්ඩෘ කුමරුට සහ එඩ්වඩ් කුමරුටද මාපිය සෙනෙහස නිසි පරිදි ලැබුණේ නැහැ. ඒ එළිසබත් රැජින සහ පිලිප් කුමරු තම රාජකාරි වැඩ කටයුතු සමඟ කාර්යබහුල වීම නිසයි. මේ නිසාම එම රාජකීය දරුවන් හතර දෙනාම පාහේ පෞද්ගලික මට්ටමෙන් තම ළමා කාලය මව් පිය සෙනෙහස අහිමි වූ කාලයක් ලෙස සඳහන් කරනවා
2. පිලිප් කුමරුගේ අසතුට
හයවැනි ජෝර්ජ් රජුගේ හදිසි මරණය නිසා එළිසබත් කුමරියට සහ පිලිප් කුමරුට තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගැනීමට සිදු වුණා. එයින් පිලිප් කුමරු දැඩි බලපෑමට ලක් වූ අතර ඔහු එතෙක් ගෙන ගිය නාවික හමුදාවේ ජීවිතය අවසන් කිරීමට ඔහුට සිදු වුණා. එසේම ඔවුන් දෙදෙනා බ්‍රිතාන්‍ය තුළ ජීවත්වීම සඳහා ක්ලැරන්ස් හවුස් මන්දිරය ප්‍රතිසංස්කරණය කොට භාවිතා කිරීමට සැලසුම් කර තිබුණත් එම සැලසුම් සියල්ල අවලංගු කරමින් බකිංහැම් මාළිගයේ පදිංචියට යෑමට ඔවුන්ට සිදු වුණා
3. වාසගමේ ආරවුල
පිලිප් කුමරු ජර්මන් සම්භවයක් සහිත පවුලකින් පැවත ආ අතර ඔවුන්ගේ වාසගම වූ මවුන්ට්බැටන් යන්න භාවිතා කිරීම බ්‍රිතාන්‍යය තුළ අප්‍රසාදයට හේතු වනු ඇති බව රජ පවුලේ සාමාජිකයන් විශ්වාස කළා. මෙම මතයම එවකට අගමැති ධූරය දැරූ වින්ස්ටන් චර්චිල් විසින්ද දැරූ අතර එහි ප්‍රතිඵලය වූයේ එම බලපෑම මත එළිසබත් රැජින තම පවුලේ වාසගම ලෙස වින්ඩ්සර් නාමයම භාවිතා කිරීමට තීරණය කිරීමයි. තම දරුවන්ට තම වාසගම ලබාදීමට ඇති අයිතිය අහිමි වීම පිළිබඳව පිලිප් කුමරු දැඩිලෙස කණගාටුවට පත් වුණා.
4. සුරතල් නම
දැනට ලැබී තිබෙන වාර්තා වලට අනුව පිලිප් කුමරු විසින් එළිසබත් රැජින සඳහා සොසේජස් යන සුරතල් නාමය භාවිතා කර තිබෙනවා. පැවසෙන පරිදි සාමාන්‍යයෙන් එළිසබත් රැජින සිනා වීමට එතරම් දක්ෂ අයෙක් නෙමෙයි. එම නිසා ඇගේ මුහුණේ පවතින සිනා රහිත ස්වභාවය හාස්‍යයට ලක් කිරීම සඳහා පිලිප් කුමරු විසින් මෙම නම භාවිතා කොට තිබෙනවා. වතාවක් අත්වැරදීමකින් පිරිසක් ඉදිරියේ මෙම නම පිලිප් කුමරු විසින් භාවිතා කිරීමෙන් අනතුරුව තමයි මේ පිළිබඳව අනෙකුත් අය දැනගෙන තිබෙන්නේ.
5. පිලිප් කුමරු පිළිබඳව පැතිර ගිය විවිධ කතා
අවස්ථා ගණනාවකදීම පිලිප් කුමරු විසින් අනියම් සබඳතා පවත්වාගෙන ගිය බවට පුවත්පත් මඟින් විවිධ වාර්තා පළ වුණා. එක්තරා අවස්ථාවක පිලිප් කුමරුගේ රුවට සමාන ඡායාරූපයක් පුවත් මැවීමට සමත් වුණා. කෙසේ නමුත් රජ පවුල සහ එළිසබත් රැජින ඒ පිළිබඳව අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්. මෙම සියළු පුවත් පිලිප් කුමරු ප්‍රතික්ෂේප කළ අතර ඔහු පැවසුවේ තමන් විසින් එළිසබත් රැජින විවාහ කර ගත් දිනයේ පටන් රජයේ රහස් පරීක්ෂකයන් තමන් පසුපස දිවා රෑ නොබලා පරික්ෂාවෙන් සිටින බවයි.
6. අතිනත පටලා නොසිටීම
රජ පවුලේ දෙවැනි පෙළ සාමාජිකයන් තම සහකරුවන් හෝ සහකාරියන් සමඟ අතිනත පටලා ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූප සුලභයි. නමුත් පුදුමයකට මෙන් එළිසබත් රැජින සහ පිලිප් කුමරු අතිනත පටලා ගෙන ගමන් කරන කිසිදු ඡායාරූපයක් නැහැ. මේ පිළිබඳව විමසීමේදී පැහැදිළි වී ඇත්තේ ඔවුන් දෙදෙනාගේ තරුණ අවදියේදී පෙම්වතුන්, පෙම්වතියන් ප්‍රසිද්ධ ස්ථානවල එලෙස අතිනත පටලා ගමන් කිරීම සමාජය අනුමත නොකළ බවයි. එනිසායි ඔවුන් දෙදෙනා අතිනත පටලා සිටිනු කාටවත් දැකගන්නට නොහැකි වී තිබෙන්නේ.
7. එකිනෙකාව ඉවසීම
තම පනස් වන විවාහ සංවත්සර අවස්ථාවේදී විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් පිලිප් කුමරු පවසා සිටියේ තම විවාහ ජීවිතයේ සාර්ථකත්වයේ රහස වන්නේ එකිනෙකාව ඉවසා සිටීමට තමන් දෙපළට පැවැති හැකියාව බවයි.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply