කිඹුලෙක්ට අහුවෙන්න ගියොත් බේරෙන්නේ මෙහෙමයි!

අහන්න ලැබෙන්න ඇතිනේ ලංකාවේ පළවෙනි වතාවට මුහුදේදී කිඹුලෙක්ගේ ප්‍රහාරයට ලක් වෙලා පහුගිය දවසක මනුස්සයෙක් මැරුණා කියලා. හැබැයි ලංකාවේ ගංගා ඇල දොළ වල නම් කිඹුල් ප්‍රහාර වලට ලක් වෙලා මැරුණු ප්‍රමාණය ඊට වැඩියි. හැබැයි වෙන රටවල් වලට සාපේක්ෂව බලනකොට නම්, ලංකාවේ එහෙමට කිඹුල් ප්‍රහාර වාර්තා වෙන්නෙ නෑ. 

කොහොම වුණත්, කිඹුල්ලු මිනිස්සුන්ට පහර දුන්නත් ඒකට ඉතින් කරන්න දේකුත් නෑ. මොකද, කිඹුලා කියන්නේම විලෝපික සතෙක්. අපි වගේම කිඹුලත් මේ ස්වභාවධර්මයේම නිර්මාණයක්. කිඹුල්ලුත් අපි වගේම මේ පරිසරයේ ඉන්න අවශ්‍යයි. ඒ වගේම, මිනිස්සුන්ගේම ක්‍රියාකාරකම් නිසා කිඹුල්ලුන්ගේ වාසස්ථාන වලට ප්‍රශ්න ඇති වීම නිසාත්, මිනිස්සුන් ගැවසෙන පරිසරයට කිඹුල්ලු පැමිණෙන එකත්, මිනිස්සු කිඹුල් ප්‍රහාර වලට ලක් වෙන එකත් සිද්ධ වෙන්න පුළුවන් කියලත් අපිට පරිසරය ගැන දන්න අයගෙන් අහන්න ලැබෙනවා. අන්න ඒ නිසා, අපි කරන්න ඕන කිඹුල්ලුන්ට උන්ගේ පරිසරයේ ඉන්න දීලා, අපි අපේ පරිසරයේ ඉන්න එක. ඒ ඇරෙන්න කිඹුලෙක් අපිට පහර දෙන තැනට මොකක් හරි නිසා වැඩ සිද්ධ වුණොත්, ඒකෙන් බේරෙන්න කරන්න ඕන දේවල් දැනගෙන ඉන්න එක. එහෙම නැතුව කිඹුල්ලුන්ව මරා දාන එක හරි, උන්ව අල්ලලා වෙන කොහේ හරි තැනකට ගිහින් දාන එක හරි නෙවෙයි වෙන්න ඕන. 

ආන්න ඒ නිසා අපි හිතුවා, කිඹුලෙක් පහර දුන්නොත් කරන්නේ මොනවද කියලා ටිප්ස් කීපයක් ලබාදෙන්න. කියන්න බැහැනේ, ජීවිතේ කොයි මොහොතකදී හරි මේ උපදෙස් ප්‍රයෝජනවත් වෙන්න පුළුවනිනේ!

 

1. කිඹුල්ලු හැසිරෙන තැන්

කිඹුල් ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න කරන්න තියෙන ප්‍රධානතම දේ තමයි, කිඹුල්ලු හැසිරෙන, කිඹුල්ලු ජීවත් වෙන ජලාශ, ගංගා වගේ තැන් වලට නොබැසීම. ඒ කියන්නේ, කොහොමත් ඉස්සර ඉඳලම ඔය අම්මලා තාත්තලා නැතිනම් වැඩිහිටියෝ අපිට දෙන උපදෙසක්නේ නොදන්නා ගඟේ ඇලේ දොලේ බහින්න එපැයි කියන එක. ආයෙ ට්‍රිප් එකක් යන්න ගියත් ඔය උපදේසේ දීලනේ යවන්නේ. එතකොට ඒ උපදේසේ වලංගු වෙනවා නොදන්නා දියකට බැස්සහම සිද්ධ වෙන්න පුළුවන් දිය වැල්, හැඩ පාර, වළවල්, දිය සුළි ඇතුළු නොයෙකුත් දියේ තියෙන අතුරු අන්තරාවන්ට වගේම කිඹුල්ලු වගේ දියේ ඉන්න සත්තුන්ගෙන් වෙන්න පුළුවන් ආන්තරාවන්ටත්. කොහොමත් කොහේ වතුරකට වුනත් බහින්න කලින්, ඒ අවට ඉන්න මිනිස්සුන්ගෙන් අහලා බලන එක හොඳ ක්‍රමයක්. මොකද, ඒ ප්‍රදේශයේ මිනිස්සු දන්නවනේ කොහේ හරි වතුරක කිඹුල්ලු ඉන්නවා නම්.

 

2. එකම තැනකින් වතුර

දැන් වතුරකට නොබැස්සත්, අපිට සමහර වෙලාවට ගංගා, ඇළ, දොළ, විල් වගේ ජලාශ පාවිච්චි කරන්න සිද්ධ වෙනවනේ. උදාහරණයක් විදියට, අපි කියමු කිඹුල්ලු ඉන්න විලකින් වතුර ගන්නවා කියලා. එතකොටත් කිඹුලෙක් පහර දෙන්න පුළුවන්ද? අනිවා ඔව්. අපි ගොදුරක් කියලා අවබෝධ වුණොත්, කිඹුලට අපිට පහර දෙන්න අවස්ථාවක් නිර්මාණය වෙලා තිබුණොත් පහර දෙන්න පුළුවන්. අන්න ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි, පුරුද්දක් විදියට ජලාශයේ එකම තැනකින් වතුර ගන්න, එකම තැනකට රෙදි හෝදන්න නොයන එක. ඒකට හේතුවක් තියෙනවා. කිඹුල්ලු බොහොම කපටි දඩයක්කාරයෝ. කවුරුහරි ජලාශයක එකම තැනකට නිරන්තරයෙන් එනවා නම්, කිඹුලෙක්ට ඒ පැටර්න් එක අඳුනගන්න පුළුවන්. එහෙම අඳුනගෙන රැකලා ඉන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමන් වතුර ආසන්නයට හරි යන රටාව වෙනස් කරන්න.

 

 

3. ෂුවර් නැති වතුරකට කිසිසේත්ම හවස් යාමේ හෝ රාත්‍රියේ බහින්න නොයන්න

සාමාන්‍යයෙන් කිඹුලෙක්ට ගොදුරක් අල්ලා ගන්න නැකත් බලන්න ඕන නැහැ තමයි. හැබැයි ඔය කිඹුලෝ සම්බන්ධයෙන් දන්න කියන අය කියන දෙයක් තමයි, රාත්‍රී කාලයේ නැතිනම් සවස් යාමයේ තමයි කිඹුලෝ සක්‍රීය​ව දඩයම් කරන්නේ කියලා. ඒ නිසා, කොහොමත් දන්නෙ නැති වතුරකට ඉර බහින ජාමෙට හරි රාත්‍රියට හරි නොබහින එක හොඳයි. කොහොමත් ඒ වෙලාවට මිනිස්සු වෙන අපේ පෙනීම දුර්වලයිනේ. ඒ නිසා, අපිට තියෙන අන්තරාය තවත් වැඩියි.

 

 

4. වතුරක් අයිනේ කෑම්පින්

ඔය කඳවුරු බඳින්න එහෙම කැමති උදවිය ඉන්නවනේ. එතකොට මනුස්ස වාසයෙන් දුරස්ථ, කැලෑබද ප්‍රදේශයක එහෙම නම්, වඩාත් හොඳ දේ තමයි ජලාශයක් අසබඩ කඳවුරු නොබැඳ ඉන්න එක. සාමාන්‍යයෙන් ලංකාවේ නම් එහෙමට වාර්තා වෙලා නැතත්, වෙන රටවල ජලාශ අසබඩ කඳවුරු බැඳපු සංචාරකයෝ රාත්‍රියේ කිඹුල්ලුන්ට ගොදුරු වෙලා තියෙන සිදුවීම් අහන්න ලැබිලා තියෙනවා. රාත්‍රියේ උන් දඩයම් කරන නිසා, කිඹුල්ලු තමන් ජීවත් වෙන ජලාශය අසබඩ කූඩාරමක් ඇතුළේ ඉන්න කෙනෙක්ව වුණත් දඩයම් කරන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතත්, රාත්‍රිය කියන්නේ නොයෙක් වනසත්‍තු වතුර බොන්න ජලාශයට එන වෙලාවනේ. අන්න ඒ නිසා, එහෙම තැන් මගඇරලා කූඩාරම් බඳින එක තමයි නුවණට හුරු කාරණාව.

අනික, ෂුවර් නැති ජලාශ අසබඩ වතුර අයිනෙන් ඇවිදගෙන යන එක පවා අන්තරායකර වෙන්න පුළුවන්.

 

5. කිඹුල්ලු එක්ක සෙල්ලම් එපා

දැන් ඔය වන අලියෙක්ව දැක්කත් ගිහින් වන අලියට පාට් දාලා දුවන් එන්න හදන, අලි මන්තර කියලා වන අලියව මෙල්ල කරන්න හදන වගේ ෂෝ දාන මිනිස්සු කොයි ලෝකෙත් ඉන්නවනේ. ආන්න ඒ නිසා, හොඳට මතක තියාගන්න තමන් සුරක්ෂිතයි කියලා හිතෙන්න පුළුවන් තැනක හිටියත්, කිඹුලෙක් වගේ සතෙක් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියලා. සමහරු ඉන්නවා, තමන් ගොඩ ඉන්න නිසා දිය අසබඩ ඉන්න කිඹුලෙක්ගෙන් හානියක් නැහැයි කියලා හිතන. ආන්න ඒක මෝඩ අදහසක්. කිඹුලෙක්ට අපි හිතනවට වඩා වේගයෙන් අපි ගාවට එන්න පුළුවන්. විශේෂයෙන්ම ලඟ ලඟ දුරකදී නම් අපි ගොඩ හිටියා, කිඹුලා දියේ හිටියා කියලා වෙනසක් වෙන එකක් නෑ. අනිත් එක, අපි ගොඩ හිටියත් මඩේ දුවන්න ගිහින් එරුණොත් එතනින්ම කතන්දරේ ඉවරයි. කිඹුලෙක්ට බැලූ බැල්මට තියෙන්නේ හරිම කොට කකුල් හින්දා, උන්ට වේගෙන් යන්න එන්න බෑ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි කිඹුලෙක්ට පැයට කිලෝමීටර් 11 ක වේගෙකින් ඇවිදගෙන යන්න පුළුවන්. ඒක එච්චර වේගයක් නෙවෙයි වගේද හිතෙන්නේ? හරි ගාණ සුළු කරමු. තත්පරේකට මීටර් 3 ක් පහසුවෙන් කවර් කරගන්න පුළුවන් ඒ කියන්නේ! ඒ වගේම, උන් දක්ෂ පීනන්නෝ. කිඹුලෙක්ට පැයට කිලෝමීටර් 30 ක වගේ වේගෙකින් පීනගෙන යන්න පුළුවන්. අන්න ඒ නිසා, වීරවික්‍රම කරන්න යන්න එපා කිඹුලෝ ඉන්න ඉසව්වක.

 

අනික් එක, ඔය කිඹුල්ලුන්ට කෑම දෙන්න අනං මනං වලට යන්නත් එපා. උන්ගේ කටට අතක් පයක් එහෙම අහුවුණෝත්, බොහොම පහසුවෙන් අත හෝ කකුල දෙකට වෙන් වෙන්න හපන්න උන්ට පුළුවන්. කිඹුලෙක් අපිට පිටුපාලා හිටියත්, උන්ට අපිට වඩා ඉතාම හොඳට සංවේදී ඉන්ද්‍රියන් වැඩ කරනවා. ආයෙ හපන්නම ඕන නෑ, හරියට බාවෙන් එකක් වැදුනත් බඩු තමයි. ඒ නිසා, කිඹුලෙක් වගේ ප්‍රචණ්ඩ සත්තුන්ව මග අරින එක තමයි නුවණට හුරුම දේ.

 

6. කිඹුලා අල්ලගත්තොත්?

කිඹුලෙක් අපිව අල්ලගත්තොත් අපිට බේරෙන්න ක්‍රමයක් තියෙනවද? ඇත්තටම ඒකට උත්තර දෙන්න ඉතාම අමාරුයි. මොකද, කිඹුලා කියන්නේ අතිශයින්ම දරුණු විලෝපිකයෙක් වීම සහ, කිඹුලෙක්ගේ ප්‍රමාණය සහ ශක්තිය එක්ක මනුස්සයෙක්ට කිසිසේත්ම සටන් කරන්න බැරි නිසා. කොහොම වුණත්, කිඹුලෙක් අපිව ගොඩදී අල්ලා ගත්තොත්, ඌ ඒ ක්ෂණයකින් කරන්නේ අපිව වතුරට ඇදගෙන යන එක. අන්න එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ශක්තිමත් ගහක හරි මුලක හරි මොකක හරි එල්ලිලා, වතුරට ඇදගෙන යන්න නොදී ඉන්න උත්සාහ කරන එක. ඒකෙන් අපිට තුවාල සිද්ධ වුණත්, අඩු ගාණේ ජීවිතේ බේරෙයිනේ.

 

අපි කියමුකෝ වතුරකදී කිඹුලෙක් අපිව අල්ලගත්තා කියලා. ඊලඟට කිඹුලා කරන්නේ අපිව පතුලට ඇදගෙන යන එක. එතකොට අපි කිඹුලගේ දත් වලින් සිද්ධ වෙන ප්‍රහාරයටත් වඩා දියේ ගිලිලා තමයි මැරෙන්නේ. මොකද කිඹුලෙක්ට පැයක් විතර වුණත් හුස්ම අල්ලගෙන ඉන්න අමාරුවක් නෑ වතුර යට. ඒ වගේම, කිඹුලෙක් ඩෙත් රෝල් කියලා හඳුන්වන්න පුළුවන් ක්‍රමයක් අනුගමනය කරනවා තමන්ගේ ගොදුර අඩපණ කරන්න. ඒ කියන්නේ, ගොදුර අල්ලාගෙන වතුරේ පෙරළෙනවා. අපිට කරන්න පුළුවන් දෙයක් තමයි, අපිත් ඒකට විරුද්ධව සටන් නොකර, එහෙම පෙරළෙන්න ඉඩ දීලා ඉඳීම. එහෙම නැතිනම් කිඹුල් කටට අහුවුණු අපේ අවයව බොහොම පහසුවෙන් කැඩිලා යන්න පුළුවන්. හැබැයි ඔය ඩෙත් රෝල් කියලා කියන කිඹුල් පෙරලීමට සෑහෙන්න මහන්සියක් යනවා. ඒ නිසා එහෙම කළාට පස්සේ කිඹුලා කෙටි වෙලාවකට මහන්සි වෙනවා. ආන්න ඒ වෙලාවට තමයි අපි ඌට පහර දෙන්න හොඳම වෙලාව.

 

කිඹුලෙක් අපිව අල්ලගෙන, අපිට වෙන කරන්නම දෙයක් නැහැයි කියන තැනට ආවොත්, අපි අතින් පයින් කිඹුලට ගැහුවට වැඩක් නෑ. කිඹුල් හම බොහොම ඝනකම්. උන්ගේ හනු ඇරවන්න උත්සාහ කළාට වැඩකුත් නෑ. උන්ගේ හනුවලට වර්ග අඟලකට රාත්තල් 5000 ක බලයක් යොදන්න පුළුවන්. ඒ කියන්නේ මිනිහෙක්ගේ හැපීමක් වගේ පණස් ගුණයක බලයක්. එතකොට කිඹුලා අපේ කොහෙන් හරි අල්ලා ගත්තහම ආයෙ අපිට ඇරගන්න ලැබෙන්නෙ නෑ. හැබැයි කිඹුලෙක්ගේ ඇස් උන්ට හානියක් කරන්න පුළුවන් සාර්ථකම තැනක් කියලා කිඹුල්ලු ගැන දන්න අය කියනවා. ඒ නිසා, වෙන කරන්නම දෙයක් නැති තැන කිඹුලාගේ ඇස් වලට ඇඟිලි වලින් අනින එකෙන්, උන්ගේ ග්‍රහණය ලිහිල් වෙලා, අපිට බේරෙන්න ඉඩක් ලැබෙයි කියලා තමයි අහන්න ලැබෙන්නේ. උගේ නහයට ඇන්නත් ඒ වගේම ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් කියලත් අහන්න ලැබෙනවා. යම් හෙයකින් අපේ අත කිඹුලාගේ කට ඇතුළේ නම්, කිඹුලාගේ උගුර දිහාට වෙන්න තියෙන පැසක් වගේ පේන්න තියෙන palatal valve එකට පහර දීමෙනුත්, උගේ ග්‍රහණය ලිහිල් කරගන්න පුළුවන් කියලත් කියනවා.

 

7. උදව් ඉල්ලන්න

කිඹුලෙක් අපිව අල්ලගත්තොත්, පුළුවන් තරම් හයියෙන් කෑ ගහලා කරලා උදව් ඉල්ලන එකෙනුත් යම් විදියකට වැඩක් වෙන්න පුළුවන්. මොකද, කිඹුලා කියන්නේ අනවශ්‍ය විදියේ අවදානමක් අරගෙන බඩ පුරෝගන්න ගොදුරක් අල්ල ගන්න සතෙක් නෙවෙයි. ඊට වඩා, තමන්ට අවම අවදානමක් උඩ ගොදුරක් දඩයම් කරගන්න තමයි කිඹුලෙක් උත්සාහ කරන්නේ. අන්න ඒ නිසා, තවත් මිනිස්සු ගොඩක් කිඹුලට අහුවෙලා ඉන්න අපේ සහායට එතනට ක්ෂණිකව ආවොත්, කිඹුලා අවදානමක් අරගෙන ඩැහැගත්තු ගොදුර තියාගන්න උත්සාහ කරනවට වඩා, ගොදුර අතඈරලා එතනින් ​බේරිලා යන්න හිතන්න ඉඩක් තියෙනවා. 

 

දැන් පැහැදිළියිනේ. කිඹුලෙක් අපිව අල්ලාගත්තට පස්සේ බේරෙන්න උත්සහ කරනවට වඩා ලේසිම දේ තමයි, කිඹුලෙක්ට අහුනොවී ඉන්න එක. අනික උන් කොයිතරම් ප්‍රචණ්ඩ විලෝපිකයෝ වුණත්, අපිට උන්ව මරා දාන්න අයිතියක් නෑ කියන එකත් මතක තියාගන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *