ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 4 කොට​ස

 

මේ ලිපි පෙළ ගැන ආයේ අමුතුවෙන් හඳුන්වා දීමක් අවශ්‍ය නැති නිසා අපි කෙලින්ම ඇමරිකාවේ තවත් ප්‍රාන්ත කීපයක් ගැන තොරතුරු දැනගන්න යමු. මේ ලිපි මාලාවේ පැරණි ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්.

 

 

ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු

ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 2 කොට​ස

ඇමරිකාවේ ප්‍රාන්ත ගැන විස්තර දැනගනිමු – 3 කොට​ස

 

 

1. මිචිගන් (Michigan)

කැනඩාව ආසන්නයේ උතුරුදිග ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා තිබෙන මෙම ජනපදය සඳහා නම ලැබී තිබෙන්නේ එය මායිම්ව පවතින විශාල විල් පද්ධතිය නිසයි. මහා විල යන අර්ථය ලබාදෙන දේශීය ජනවර්ගයක භාෂාවක මූලයකින් මෙම නම ප්‍රභවය වූ බව සඳහන් වනවා. එසේම සමස්ත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ම අර්ධද්වීප දෙකක් පවතින එකම ප්‍රාන්තය වන්නේ ද මිචිගන් ප්‍රාන්තයයි. මෙම ප්‍රාන්තයේ සීමා පිළිබඳව කැනඩාව සමග ඇමරිකා එක්සත් ජනපදය ගැටුම් ඇති කර ගත් අතර පසුව එය සමනයකට පත් වුණා. වර්තමානයේ විවිධාංගීකරණයට ලක්වූ ආර්ථිකයකට මිචිගන් ප්‍රාන්තය හිමිකම් කියන අතර වාහන නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට එය පත්ව තිබෙනවා.

 

2. මිනෙසොටා (Minnesota)

“විල් දස දහසේ භූමිය” යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම ප්‍රාන්තය තුළ විල් දාහතර දහසක් පමණ පවතින බවට ගණන් බලා තිබෙනවා. මිලියන හයක පමණ ජනගහණයක් මෙම ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත් වන අතර විශේෂත්වය වන්නේ නිවුන් නගර ලෙස හැඳින්වෙන මිනෙපොලිස් සහ ශාන්ත පෝල් යන නගරාශ්‍රිතව ඉන් හරි අඩක්ම පමණ ජීවත් වීමයි. අතීතයේ දී සංක්‍රමණිකයන්ගෙන් විවිධාංගීකරණයට ලක්වූ මෙම ප්‍රාන්තය වර්තමානය වන විට වැඩි වශයෙන් ම අප්‍රිකානු සංක්‍රමණිකයන් පදිංචියට ප්‍රිය කරන ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. මේ අනුව අතීතයේ දී මෙහි ආර්ථිකය වැඩි වශයෙන් කෘෂිකර්මයට නැඹුරුවක් පැවතියත් වර්තමානය වන විට මූල්‍ය ක්ෂේත්‍රය ආදී සේවා ක්ෂේත්‍ර සඳහා නැඹුරු වෙමින් පවතිනවා.

 

3. මිසිසිපි (Mississippi)

මෙම ප්‍රාන්තයේ බටහිර සීමාව නිර්ණය කරන්නේ මිසිසිපි ගංගාවයි. එම නිසා මෙම ප්‍රාන්තය එම ගංගාව නමින් නම් කරනු ලැබුවා. අතීතයේදී කපු කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම ප්‍රාන්තය පැවැති අතර එම නිසාම අප්‍රිකානු වහල් ජාතිකයන මෙම ප්‍රාන්තය තුළ වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වුණා. වර්තමානය වන විටත් සමස්ත ඇමරිකා එක්සත් ජනපදය තුළ වැඩිම අප්‍රිකානු සංක්‍රමණිකයන්ගෙන් පැවත එන ජනගහණයක් පවතින ප්‍රාන්තය වන්නේද මෙයයි. අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව බොහෝ මානව දර්ශක අතින් පහළ ස්ථානයක මෙම ප්‍රාන්තය පවතින අතර එය මෙම ප්‍රාන්තයේ අතීත උරුමයේ එක් ප්‍රතිඵලයක් ලෙස විචාරකයන් සඳහන් කරනවා.

 

4. මිසූරි (Missouri)

ස්වකීය ප්‍රාන්තය හරහා ගමන් කරන . මිසූරි නදිය පාදක කොට ගෙන මෙම ප්‍රාන්තය නම් කිරීමට ප්‍රාන්ත වාසීන් තීරණය කරනු ලැබුවා. අතීතයේ දී මෙම ප්‍රදේශ ආශ්‍රිතව දේශීය ජනතාවගේ සභ්‍යත්වයක් ගොඩනැගී තිබුණත් යුරෝපීය සංක්‍රමණයක් සමග ප්‍රංශය විසින් මෙම ප්‍රදේශ අත්පත් කරගනු ලැබුවා. පසුව ප්‍රංශ රජය සුප්‍රකට ලුසියානා විකිණීම හරහා ඇමරිකා එක්සත් ජනපදයට මෙම ප්‍රදේශය පවරනු ලැබුවා. ඉන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර දිග ව්‍යාප්තියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට මෙම ප්‍රාන්තය පත්වුණා. වර්තමානය වන විට ලෝකයේ ප්‍රධාන පෙළේ බියර් සහ වයින් නිෂ්පාදකයකු බවට මෙම ප්‍රාන්තය පත්ව තිබෙනවා. එසේම මෙම ප්‍රාන්තය ඉහළ සංස්කෘතික විවිධත්වයකින් යුතු ප්‍රාන්තයක් ද වනවා.

 

5. මොන්ටානා (Montana)

වර්තමානය වන විට වාර්ෂිකව මිලියන 13 කට පමණ ආසන්න සංචාරකයන් පිරිසක් මෙම ප්‍රාන්තය කරා ඇදී එන්නේ එහි තිබෙන ස්වභාවික උද්‍යාන නැරඹීම සඳහායි. කෙසේ නමුත් මෙම ප්‍රාන්තයේ ආර්ථිකයේ වැඩි කොටසක් සඳහා තවමත් දායකත්වය ලබාදෙන්නේ කෘෂිකර්මයයි. මෙම ප්‍රාන්තය අතීතයේදී එය දේශීය ජන වර්ගවල භූමියක පැවතුණු අතර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සාහසික ක්‍රියා මාර්ග අනුගමනය කරමින් මෙම ප්‍රදේශය ප්‍රාන්තයක් බවට පත් කර ගත්තා. උදාහරණයක් ලෙස මෙම ප්‍රදේශ ආශ්‍රිතව වාසය කළ මිලියන ගණනාවක් වන බයිසන් ගවයන් සමූල ඝාතනය කිරීමට ඔවුන් තීරණය කළේ දේශීය ජනතාවගේ ආහාර මූලයක් නැතිකොට ඒ හරහා ඔවුන් දුර්වල කිරීමටයි.

 

6. නෙබ්‍රස්කා (Nebraska)

මධ්‍යම ඇමරිකාව තුළ පිහිටා තිබෙන මෙම ප්‍රාන්තය ඇමරිකානු සිවිල් යුද්ධයෙන් වර්ෂ දෙකකට පමණ පසුව ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළත් කරගනු ලැබුවා. මේ නිසාම එම ප්‍රදේශවල වාසය කළ දේශීය ජන වර්ග වලට විශාල ගැටළු වලට මුහුණ දීමට සිදුවුණා. වර්තමානය දක්වාම තම අයිතීන් දිනා ගැනීම සඳහා ඔවුන් නොනවතින අරගලයක නිරතව සිටිනවා. කෘෂිකර්මාන්තය සහ මස් වර්ග සැකසීම මෙම ප්‍රාන්තයේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනවා.

 

7. නෙවාඩා (Nevada)

මෙම ප්‍රාන්තය සඳහා වැඩි අවධානයක් යොමු වුණේ ඒ ආශ්‍රිතව රන් සහ රිදී ඉල්ලම් මතු වීමත් සමඟයි. මේ නිසාම රිදී ප්‍රාන්තය යන අන්වර්ථ නාමයෙන්ද මෙම ප්‍රාන්තය හඳුන්වනු ලබනවා. අතීතයේදී මෙක්සිකෝවේ කොටසක්ව පැවති මෙම ප්‍රදේශය ඇමරිකා එක්සත් ජනපදය විසින් පසුව ඈඳා ගනු ලැබුවා. අනෙකුත් ප්‍රාන්ත වලට සාපේක්ෂව මෙම ප්‍රාන්තයේ නීති ලිහිල් ස්වභාවයක් ගන්නා අතර උදාහරණයක් ලෙස ගණිකා සේවය නීති ගත කළ පළමු සහ එකම ප්‍රාන්තය වන්නේද මෙම ප්‍රාන්තයයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *