2021 වසරේ තිරගත කළ ඔබ නැරඹිය යුතුම සිනමා නිර්මාණ 7ක්

ඉතින් හරිම ඉක්මනින් 2021 වසරත් ගෙවිලා ගියානේ. කොරෝනා වසංගතය අතරතුර වුණත් මේ 2021 වසරේත් ගොඩක් සිනමා නිර්මාණ බිහිවුණා. මේ කියන්න යන්නේ ඒ අතරින් ඔබ නැරඹිය යුතුම සිනමාපට 7ක් ගැනයි… 

 

1. Titane 

මේක ගොඩක් ජනප්‍රිය වුණු නිර්මාණයක්.  2021 වසරේ කෑන්ස් සම්මාන උලෙළේදී පිදෙන වටිනාම සම්මානය වන Palme d’Or සම්මානය දිනාගත්තෙත් මේ සිනමා නිර්මාණයම තමයි. මේක ප්‍රංශ සිනමාපටයක්. Stripper වෘත්තියේ නියැලෙන අමුතු ගති සිරිත් සහිත තරුණියක් තමයි මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ. ඇය ඉතාම භයානක තැනැත්තියක්ද වනවා. වැඩි විස්තර කියනවට වඩා චිත්‍රපටය නරඹලාම රස විඳින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ලිංගිකත්වය මුසුව බොහොම ප්‍රචණ්ඩකාරී සිදුවීම් සමගින් දිගහැරෙන අමුතුම විදිහේ සිනමා අත්දැකීමක් වේවි මේක. 

 

2. House of Gucci 

මේකත් 2021 වසරේ නොවැම්බරයේදී තිරගත කිරීම අරඹන ලද, ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. මේකට පාදක වෙන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය විලාසිතා සන්නාමයක් වුණු Gucci ව්‍යාපාරයේ හිමිකරුවන් වන Gucci පවුල කැළඹූ සිදුවීම් දාමයක්. එම කැළඹීම්වලට ප්‍රධානම හේතුව වන්නේ විවාහ සම්බන්ධයක් හරහා Gucci පවුලට එකතු වන පැට්‍රීසියා නම් කාන්තාවක්. ජනප්‍රිය ගායිකාවක් වන ලේඩි ගගා තමයි පැට්‍රීසියා චරිතයට රංගනයෙන් දායක වී තිබෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයත් අනිවාර්යයෙන් නරඹන්න අමතක කරන්න එපා. 

 

3. Spencer

 මේක ගැන නම් ඔයාල ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. තිරගත වෙන්න කලිනුත් ලොකු කතාබහකට ලක් වුණු නිර්මාණයක් වුණා මේ සිනමාපටය. ඒකට හේතුව මේ සිනමාපටයට පාදක වී තිබෙන්නේ ඩයනා කුමරියගේ ජීවිතය තුල එක් කාල පරාසයක් වීම. ඩයනා සහ චාල්ස් විවාහයේ අඳුරු කාලපරිච්ඡේදයක් තුළ දිගහැරෙන සංවේදී කතා පුවතක් වන මෙහි ඩයනා කුමරියගේ චරිතයට පණ පොවන්නේ සුප්‍රකට නිළි ක්‍රිස්ටන් ස්ටුවර්ට්. 

 

4. Drive My Car 

මේක ජපන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ හරුකි මුරකමි රචනා කරපු මේ නමින්ම තියෙන කෙටිකතාවක්. ඒ වගේමයි මේ චිත්‍රපටය කෑන්ස් සම්මානයකුත් ජයග්‍රහණය කරන්න සමත් වුණා. තම බිරිඳගේ මරණයෙන් අනතුරුව තනිකඩ ජීවිතයක් ගතකරන මැදිවියේ නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඔහුගේ රියැදුරු හැටියට සේවයට පැමිණෙන වයස විසි ගණනක තරුණියක් සමග දිගහැරෙන අපූරු සබඳතාවයක් පිළිබඳවයි මේ චිත්‍රපටයෙන් අපට පෙන්වන්නේ. ජීවිතය ගැන, බැඳීම් ගැන අපූරු කතාවක් අන්‍තර්ගත වුණු විශිෂ්ට ගණයේ නිර්මාණයක් හැටියට අපිට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 

 

5. Dhamaka 

මෙහෙම ලිස්ට් එකක් හදද්දි හින්දි සිනමාව කොහොම අමතක කරන්නද? මේක ත්‍රාසය සහ කුතුහලය මුසුවූ කතාවක් රැගත් සිනමා නිර්මාණයක්. ජනප්‍රිය කොරියානු චිත්‍රපටයක් වුණු Terror Live චිත්‍රපටයෙන් තරමක ආභාෂයක් ලබපු බවකුත් පේන්න තියනවා. ගුවන්විදුලි නිවේදකයෙක්ට දුරකථන ඇමතුමක් හරහා ලැබෙන අද්භූත උපදෙස් මාලාවක් නිසා සිදුවන දැවැන්ත කැළඹීමකින් තමයි මේ චිත්‍රපට කතාව සමන්විත වන්නේ. හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් චිත්‍රපටයක් හැටියට අපි මේක රෙකමදාරු කරනවා. 

 

6. Great Indian Kitchen 

වර්තමානයේ ගොඩක් අය මලයාලම් නිර්මාණ බලන්න පෙළඹිලා තියෙනවා. විශේෂයෙන්ම ඒ නිර්මාණ තුළ තියෙන යථාර්ථවාදී ගතිය වගේම අපෙන් මගහැරුණු සොබාදහම හා මුසුවුණු ජීවන රටාව මලයාලම් සිනමාව විසින් ස්පර්ෂ කිරීම නිසාත් ලංකාව තුළ ක්‍රම ක්‍රමයෙන් මලයාලම් සිනමා රසිකයන්ගේ වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. අපි මේ කියන සිනමා නිර්මාණයට පාදක වෙන්නේ යෝජිත විවාහයකින් එක වහලක් යටට ව​න යුවලකගේ එදිනෙදා ජීවිතය. විශේෂයෙන්ම ආසියාතික බිරිඳකට අදටත් බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන සංවේදී තත්ත්වයක් තමයි මේ සිනමාපටයෙන් ස්පර්ෂ කර තිබෙන්නේ. 

 

7. Dune 

මේක නම් ඉතින් ගොඩක් අය අනිවාර්යයෙන්ම බලන්න ඇති. මේ අවුරුද්දේ ආපු, ඉතාමත් ජනප්‍රිය වුණු Sci-fi චිත්‍රපටයක් තමයි මේක. Dune කියන ජනප්‍රිය පොත් මාලාවෙහි පළමු පොත ඇසුරින් තමයි මේ නිර්මාණය බිහිවෙන්නේ. පොතට හොඳ සාධාරණයක් ඉටු කළ සිනමාපටයක් කියලා අපට මේ නිර්මාණය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේකේ Cinematography ගොඩක් ඉහළින් තියෙනවා. අනාගත විශ්වයේ වටිනා සම්පත් සඳහා ග්‍රහලෝක අතර ඇතිවන අරගලයක් තමයි මෙහි ප්‍රධාන කතා තේමාව. තව චිත්‍රපට කිහිපයක් සඳහා ඉඩහසර සලසමින් නිමකර ඇති සාර්ථක සිනමා නිර්මාණයක් හැටියට අපට Dune හඳුන්වන්න පුළුවන්. 

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *