ලෝකයේ දූෂිත දර්ශකයේ ඉහළින්ම ඉන්න රටවල්

දූෂණය කියන දේ අද ලෝකයේ නැති තැනක් නැති තරම්. ඒ තරමට දූෂණය කියන දේ සමාජයේ හැම ස්ථරයකම පැතිරිලා තියෙන දෙයක්. ඒ කියන්නේ ගෝලීය වශයෙන් පැතිරිලා තියෙන දෙයක්. ලංකාවේ වුණත් නොයෙකුත් ක්ෂේත්‍ර ගැන කල්පනා කරලා බැලුවම අපිටම තේරෙනවනේ කොච්චර දූෂණ ලංකාව ඇතුළේ සිද්ද වෙනවද කියලා. ලංකාව වගේම තුන්වැනි ලෝකයේ රටවල් වල ගොඩක් දුරට මේ දූෂණය කියන දේ පැතිරිලා තියෙනවා. විශේෂයෙන් දේශපාලනය කියන දේ එක්ක තමයි ගොඩක් දුරට මේ මහා පරිමාණ දූෂණ කියන දේ ගැට ගැහිලා තියෙන්නේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ දියුණු රටවල් වල දූෂණය නෑ කියලා. ලෝකයේ දියුණුම රටවල් වලත් දූෂණය තියෙනවා. හැබැයි සාපේක්ෂව අඩුයි. ඉතින් අපි කල්පනා කළා දේශපාලනය එක්ක දූෂණය බද්ධ වෙලා තියෙන හින්දා සහ අපේ රටටත් මේ ගැටළුව බලපාලා තියෙන හින්දා Corruption Perceptions Index එක අනුව ලෝකයේ වඩාත් ම දූෂිත රටවල් ගැන පොඩි හොයා බැලීමක් කරන්න. මේ දර්ශකයෙන් පෙන්නුම් කරන්නේ රාජ්‍ය අංශයේ දූෂණය පිළිබඳ තක්සේරුවක්. ඒ වගේම මේ දර්ශකය සකස් කරන්නේ Transparency International කියන ආයතනය. මේ ආයතනය 1995 ඉඳලා මේ දර්ශකය පිළියෙළ කරනවා. අපි අද 2020 වසරේ මේ දර්ශකය පදනම් කරගෙනයි පහළින් තියෙන රටවල් සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ Corruption Perceptions Index අනුව දූෂණය වැඩිම රටවල් 7. ඊට කලින් කියන්න ඕනේ මේ දර්ශකය අනුව රාජ්‍ය අංශයේ දූෂණය අඩුම රටවල් විදිහට නම් වෙලා තියෙන්නේ නවසීලන්තය සහ ඩෙන්මාර්කය. ඒකත් ඔළුවේ තියාගෙන අපි යමු කතාවට.

1. සෝමාලියාව

සෝමාලියාව කියන නම අහපු ගමන් අපිට මතක් වෙන්නේ ඉතාම දුප්පත් රටක්. අපි අතරේ කතාවකුත් තියෙන්නේ ‘සෝමාලියාවට පාන් දැම්මා වගේ’ කියල. ඉතින් ඒ වගේ කතාවක් හැදෙන්නත් මේ රටේ අඩු ආර්ථික තත්ත්වය බලපාන්න ඇතිය කියල අපිට හිතන්න පුළුවන්. සෝමාලියාව රාජ්‍ය අංශයේ පවතින දූෂණය අතින් ඉහළින්ම ඉන්න රට බවට පත් වෙන්නේ ඒ රටේ දූෂණය වැළැක්වීමට නොයෙකුත් ආකාරයේ නීති රීති, දැනුවත් කිරීම් වගේ ගොඩක් පියවර අරන් තියෙන තත්ත්වයකයි. විශේෂයෙන් රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය, අක්‍රීය ආයතන ව්‍යුහය වගේ දේවල් මේ දූෂණ ඉහ වහා යන්න හොඳ පිටිවහලක් ලබා දීල තියෙනවා. ඒ වගේම නීතිමය රාමුවේ අකාර්යක්ෂමතාව තවත් හේතුවක් සෝමාලියාවට මේ තත්ත්වය උදාවෙන්න. ඒ වගේම භාෂණයේ නිදහස බොහෝ දුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විතරක් සීමා වෙච්ච දෙයක් සෝමාලියාවේ. මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ භයානකම රටවල් වලින් එකක් විදිහටත් සෝමාලියාව සැලකෙනවා.

2. දකුණු සුඩානය

මිලියන 11ක විතර ජනගහණයක් ඉන්න දකුණු සුඩානය රාජ්‍ය අංශයේ දූෂණය අතින් දෙවෙනි ස්ථානයේ තමයි රැඳී ඉන්නේ. දකුණු සුඩානය 2011 අවුරුද්දේ සුඩාන ජනරජයෙන් නිදහස් වෙලා ස්වෛරී රාජ්‍යයක් විදිහට පිහිටුවනු ලැබුවා. එහෙම වෙලා වැඩි කලක් යන්න කලින්ම රට ඇතුළේ සිවිල් යුද්ධයක් ඇති වුණා දේශපාලන ගැටළුවක් නිසා. ඉතින් අද වෙද්දී රටේ දූෂණය ඉහ වහා ගිය තත්ත්වයකට පත්වෙලා තියෙනවා දකුණු සුඩානයේ. විශේෂයෙන් ආයෝජනය සඳහා කිසිසේත්ම සුදුසු නැති රටක් බවටත් පත්වෙලා තියෙනවා දකුණු සුඩානය. ඒකට හේතුව විදිහට රාජ්‍ය අංශයේ දූෂණය සහ නීතියේ අකාර්යක්ෂමතාව මූලිකව බලපාලා තියෙනවා. ඒ වගේම තවම දකුණු සුඩානය කිසිම ජාත්‍යන්තර දූෂණ පිටුදැකීමේ සම්මුතියකට අත්සන් කරලා නෑ.

3. සිරියාව

මේ වෙද්දී ඉරානය රුසියාව සහ චීනයේ ණය වලින් යැපෙන ආර්ථිකයක් හිමි රටක් විදිහට තමයි සිරියාව නම් කරන්න වෙන්නේ. Corruption Perceptions Index ඒකට අනුව 2019 ට වඩා 2020 තවත් ස්ථානයක් පරිහානිය පැත්තට යන්න සිද්ද වෙච්ච රාජ්‍යයක් තමයි සිරියාව. අල්ලස් ගැනීම්, බලය අනිසි ලෙස භාවිතා කිරීම්, මහජන මුදල් වංචා කිරීම්, වගේ දේවල් වලින් ගොඩක් වැඩි රටක් තමයි සිරියාව. ඉතින් මේ වගේ විෂමාචාර වැඩි වෙන්න දේශපාලන සාධක ගොඩක් දුරට බලපෑමක් කරලා තියෙනවා. මේ ගැන කරපු පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා මේ තත්ත්වය උදාවෙන්න අකාර්යක්ෂම පරිපාලන යාන්ත්‍රණය, අවුල්සහගත නීති පද්ධතිය, නීතිය සම්බන්ධව නොදැනුවත්භාවය සහ විශේෂයෙන් දිළිඳුකම බලපාලා තියෙනවා කියල.

4. යේමනය

ගල්ෆ් කලාපයේ දූෂිතම රාජ්‍යය විදිහටයි යේමනය හඳුන්වන්නේ. ඉතා ඉහළ උපත් අනුපාතයක්, ඉතා ඉහළ ළමා මන්ද පෝෂණ අනුපාතයක් තියෙන මැද පෙරදිග දුප්පත්ම රට වෙන්නේ යේමනය. ඉතින් දුප්පත්කම වැඩි වීමත් දේශපාලන දූෂණ ඉහළ යාමත් නිසා මේ රට 2020 අවුරුද්දේ Corruption Perceptions Index එකේ රටවල් 180කින් 176 වෙනි ස්ථානයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් ඥාති සංග්‍රහය, මැතිවරණ වංචා, අල්ලස් වගේ දේවල් මහා පරිමාණයෙන් සිද්ධ වෙන රටක් තමයි යේමනය.

5. වෙනිසියුලාව

Corruption Perceptions Index එකේ රටවල් 180කින් 175 වෙනි ස්ථානය ලබා ගෙන තියෙන්නේ වෙනිසියුලාවයි. 2014 කරපු මත විමසීමකින් හෙළි වෙලා තියෙනවා ඒ රටේ ජනතාවගෙන් 75% ක් වෙනිසියුලානු රජයේ දූෂණය පැතිරී තියෙන බව විශ්වාස කරනවා කියල. ඉතින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් වල ප්‍රධාන සටන් පාඨයක් වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණාව. විශේෂයෙන්ම දූෂණය වඩාත්ම බලපෑමක් කරලා තියෙන ක්ෂේත්‍ර විදිහට දේශපාලන පක්ෂ, අධිකරණය, පාර්ලිමේන්තුව, සහ පොලීසිය නම් කරන්න පුළුවන්. ඒ වගේම හියුගෝ චාවේස් බලයට එන්න මෙන්න මේ දූෂණය පිටුදැකීම කියන දේ පාවිච්චි කළත් බලය ලබාගත්තට පස්සේ ඔහුත් ඒ දූෂණයේම කොටස්කරුවෙක් වුණා.

6. සුඩානය

සුඩානය කියන්නේ මුස්ලිම් ෂරියා නීතිය ක්‍රියාත්මක වුණු රටක්. ඒත් 2019 අල් බෂීර් පාලනය පෙරලා දැම්මට පස්සේ ෂරියා නීතිය ගැන කෙලින්ම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා නෑ වගේම ඇදහිල්ල අත හැරීමේ නීතිය, ප්‍රසිද්ධියේ කස පහර දීම, මත්පැන් තහනම වගේ නීති ඉවත් කරන්න කටයුතු කළා. කොහොම වුණත් 2020 Corruption Perceptions Index එකට අනුව ලෝකයේ රටවල් 180 කින් 174 වෙනි තැනට පත් වෙන්න සුඩානයට සිද්ද වුණා. රටේ හැම අංශයකම වගේ පැතිරිලා තියෙන දූෂණය රටේ දියුණුවට ලොකු බාධාවක් වෙලා තියෙනවා. 2011දී කරපු සමීක්ෂණයකට සහභාගී වුණු සුඩාන වැසියන්ගෙන් හැම හතර දෙනෙකුගෙන් එක් අයෙකුටම අල්ලස් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ සේවාවන් ලබාගන්න.

7. ලිබියාව

ලිබියාව කියන්නේ ලෝකයේ විශාලම රටවල් වලින් 16 වෙනි තැන තියෙන රට. හැමෝම දන්නා මුවම්මර් ගඩාෆි කියන්නෙ ලිබියානු රාජ්‍යය දීර්ඝ කාලයක් පාලනය කරපු නායකයා. සමහර අයට අනුව ඔහු ලිබියාව දියුණුවට පත් කරපු නායකයෙක් වගේම සමහරුන්ට අනුව නම් ඔහු දරුණු ඒකාධිපතියෙක්. කොහොම වුණත් ලිබියාව Corruption Perceptions Index එකේ 2020 අවුරුද්දේ නම් ලබාගෙන තිබුණේ රටවල් 180 අතරින් 173 වෙනි ස්ථානයයි. රටේ හැම අංශයකම දූෂණය පැතිරිලා තියෙන රටක් තමයි ලිබියාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *