ශරීර සෞඛ්‍යයට වැඩදායක කෝපි රෙසිපි කීපයක්!

කෝපි බොන්න අපි ගොඩක් දෙනෙක් ආසයිනේ. සමහරු තේ වලට ආස අය. හැබැයි කෝපි බොන්න අකමැති කෙනෙක් හිටියොත් ඒ කලාතුරකින් තමයි. හරි, කෝපි වල රසත්, එහි ඇති මනා ගුණයත්, බොන සුදනෝ මිසක්, නොබොන අනුවණ දනෝ නොදනිත් කියලා වැඩේ පටන් ගමුකෝ. සාමාන්‍යයෙන් අපි දන්න කෝපි හැදිල්ල සංකීර්ණ වැඩක් නෙවෙයි. කෝපි හදන කෝප්පෙට කෝපි කුඩු ටිකක් දැම්මා, ඒකට උතුරන වතුර ටිකක් දැම්මා, සීනි විතරක් හරි, සීනියි පිටියි දෙකම හරි තවත් කෝප්පෙකට දැම්මා, දාලා මික්ස් කළා, දැන් අර දියවුණු කෝපි ටික ක්‍රමයෙන් ඒක උඩට දාන ගමන් හොඳට හැඳි ගෑවා, පෙරලා අරගෙන බිව්වා. ඔච්චරනේ. ඇත්තටම ඔච්චරද? නෑ. මේක නෙවෙයි ඇත්තටම නියම රස තියෙන කෝපි එකක් හදාගන්න තියෙන විදිය. මීට වඩා සීරියස් කෝපි හදන විදි තියෙනවා. ඇත්තටම කෝපි හදන විදි නෙවෙයි, කෝපි පෙරණ (brew) විදි තමයි තියෙන්නේ. හරි, ඒ ගැන පසුවට කතා කරමු. ඊට වඩා කැමති නැද්ද, විවිධ ක්‍රම වලට කෝපි හදාගන්න පුළුවන් විධි කීපයක් දැනගන්න?

 

 

1. Coffee Smoothie with Banana and Oats

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කෝපි (ඉන්ස්ටන්ට් වුවත්, වෙනත් කෝපි වර්ගයක් වුණත් කමක් නැහැ)
  2. දියර කිරි
  3. ඕට්ස් (ක්වික් ඕට්ස් නම් වඩාත් පහසුයි)
  4. කෙසෙල් (රැයක් ශීතකරණයේ තබා ගත්තේ නම් වඩාත් පහසුයි)
  5. ග්‍රීක් යෝගට් (හොයාගන්න අපහසු නම් සාමාන්‍ය යෝගට් වුණත් කමක් නැහැ)
  6. මී පැණි (අවශ්‍ය නම් යොදාගත හැකියි)

 

  • මෙම අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම බ්ලෙන්ඩරයට දාමාගෙන, මෘදු මිශ්‍රණයක් වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් රස බලා, රස පදම අනුව ඉහත ද්‍රව්‍ය වලින් තවත් අවශ්‍ය දෙයක් මිශ්‍ර කර ගෙන අවසානයේ කෝප්පයට දමාගෙන රස විඳින්න.

 

 

2. Healthy Iced Coffee

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. අයිස් කැට කෝප්ප 1/2 ත් 1 ත් අතර
  2. කෝපි කෝප්ප 1/2 ක්
  3. සීනි අවශ්‍ය පදමට
  4. කිරි කෝප්ප 1/2 ක්
  5. වැනිලා සාරය තේ හැඳි 1 ක්

 

  • මුලින් උතුරන වතුරින්, කෝපි කෝප්ප භාගය සාදාගන්න. මෙය අවශ්‍ය නම් සීනි රහිතව, අඩු සීනි සමග හෝ අවශ්‍ය සීනි රස පදමට සාදාගන්නට පුළුවන්. විශේෂයෙන්ම ෆ්‍රෙන්ච් ප්‍රෙස් ක්‍රමයට හෝ පේපර් ෆිල්ටර් එකක් ආධාරයෙන් කෝපි එක සාදාගැනීමෙන් වැඩි කෝපි රසක් ලබාගන්නටත් හැකියි.
  • දැන් එය ශීත කරගන්න. ඊලඟට උස් වීදුරුවකට අයිස් දමා, ඒ මතට කෝපි, කිරි සහ වැනිලා සාරය වත් කරන්න. දැන් දිගු හැන්දකින් හොඳින් හැඳිගා කලවම් කරගන්න. අවශ්‍ය රස අනුව අනුපානයට ද්‍රව්‍ය මිශ්‍ර කරගන්න.

 

 

3. Keto Mocha

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. එස්ප්‍රෙසෝ
  2. උණු කර පෙණ නංවා ගත් කිරි
  3. පොල්තෙල්
  4. චොකලට් සිරප්, චොකලට් කුඩු හෝ වෙනත් රසගන්වනයක්

 

  • එස්ප්‍රෙසෝ ඔබට එස්ප්‍රෙසෝ කෝපි කුඩු පැකැට්ටුවක් භාවිතා කරලා හදාගන්නත් පුළුවන්. එහෙම නැතිනම් එස්ප්‍රෙසෝ මැෂින් එකක් තිබුණොත්, ඒකෙන් හදාගන්නත් පුළුවන්.
  • දැන් මුලින්ම චොකලට් සිරප්, චොකලට් කුඩු හෝ වෙනත් භාවිතා කරන රස ගන්වනය ලිපේ තබාගත් භාජනයක හොඳින් දියකරගන්න.
  • දැන් ඒකට එස්ප්‍රෙසෝ, පෙණ නංවා ගත් කිරි අවශ්‍ය ප්‍රමාණයට, පිරිසිදු පොල්තෙල් මද ප්‍රමාණයක් එකතු කර ගන්න.
  • දැන් මේ මිශ්‍රණය බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. දැන් එය වීදුරුවකට දමා පානය කරන්නට ගන්න.

 

 

4. Vietnamese Iced Coffee

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රස නොගැන්වූ පොල් කිරි මිලිලීටර් 160 ක් පමණ
  2. මී පැණි තේ හැඳි 2 ක්
  3. එස්ප්‍රෙසෝ ෂොට්ස් 2 ක් (මිලිලීටර් 60-80 ක් පමණ)

 

  • ක්ෂණික එස්ප්‍රෙසෝ කෝපි කුඩු භාවිතා කර, නැතිනම් එස්ප්‍රෙසෝ මැෂින් එකක් භාවිතා කර එස්ප්‍රෙසෝ එක හදාගන්නට පුළුවන්. එය සාදා පසෙකින් තබන්න.
  • දැන් පොඩි සෝස්පෑන් එකකට පොල් කිරි ටික දමා, නටන උෂ්ණත්වයට ගෙන එන්න. දැන් උෂ්ණත්වය අඩු කර, හැඳිගාමින් මිනිත්තු 20-25 ක් පමණ මද උෂ්ණත්වයේ තබාගන්න.
  • පොල් කිරි මුල් ප්‍රමාණයෙන් භාගයක් පමණ වුණු පසුව, උදුන වසා, ඊට මී පැණි එක්කර හොඳින් හැඳිගා මිශ්‍ර කරගන්න.
  • දැන් එය ශීතකරණයේ බහා, හොඳින් ශීතල වන තුරු තබාගන්න. දැන් උස් වීදුරුවකට අයිස් පුරවා, වීදුරුවේ අඟල් එකහමාරක් පමණ වන්නට සාදාගත් පොල්කිරි මිශ්‍රණය දමන්න.
  • දැන් ඒ මතට එස්ප්‍රෙසෝ ෂොට්ස් දෙක දමා වීදුරුව පුරවා ගන්න. දිගු හැන්දකින් හොඳින් මිශ්‍ර කොට රසවිඳින්න.

 

 

5. Bulletproof Coffee

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කළු කෝපි
  2. ලුණු එක් නොකළ බටර්
  3. පොල්තෙල්

 

  • පළමුව බටර් සහ පොල්තෙල් මයික්‍රොවේව් උදුනක බහා, නැතිනම් සෝස්පෑන් එකක මඳ උෂ්ණත්වයෙන් යුතු උදුනක තබා දියකරගන්නට අවශ්‍යයි.
  • පොල්තෙල් සමග බටර් දියවුණු පසුව, ඒ දෙක හොඳින් මිශ්‍ර කර, බ්ලෙන්ඩරයට දමාගන්න. දැන් ඊටම සාදා ගත් කළු කෝපි එකද එකතු කර, මිශ්‍රණය මෘදු වන තුරු හොඳින් මිනිත්තුවක් පමණ බ්ලෙන්ඩ් කරගන්න.

 

 

6. Golden Turmeric Latte

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. රස නොගැන්වූ ආමන්ඩ් කිරි කෝප්ප 2/3 ක්
  2. මී පැණි තේ හැඳි 1 ක්
  3. කහ කුඩු තේ හැදි 3/4 ක්
  4. කුරුඳු කුඩු තේ හැඳි 1/8 ක්
  5. ඉඟුරු කුඩු තේ හැඳි 1/8 ක්
  6. ගම්මිරිස් තේ හැඳි 1/8 ක්
  7. තද කළු කෝපි කෝප්ප 1/8 ක්

 

  • වැඩිපුර කෝපි දමා පෙරා ගෙන සෑදූ තද රස ඇති කෝපි එකක් නැතිනම් එස්ප්‍රෙසෝ එකක් මුලින් හදාගන්නට අවශ්‍යයි.
  • දැන් කුඩා ප්‍රමාණයේ සෝස්පෑන් එකකට ආමන්ඩ් කිරි, මී පැණි, කහ, කුරුඳු, ඉඟුරු සහ ගම්මිරිස් එකතු කරගෙන, මධ්‍යම ප්‍රමාණයේ උෂ්ණත්වයේ තබා, හොඳින් හැඳි ගාමින් කිරි පෙණ ගැන්වෙන තුරු රත් කරගන්න.
  • කෝපි කෝප්පයකට සාදාගත් තද රස කෝපි එක දමාගෙන, ඒ මතට පෙණ නංවා ගත් ආමන්ඩ් කිරි මිශ්‍රණය දමාගන්න. ඒ මතට කුරුඳු කුඩු ස්වල්පයක් ඉසගන්න.

 

7. Dalgona Coffee

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. ඉන්ස්ටන්ට් කෝපි මේස හැඳි 2 ක්
  2. සීනි මේස හැඳි 2 ක්
  3. උණු වතුර මේස හැඳි 2 ක්

 

  • මික්සින් බෝල් එකකට ඉන්ස්ටන්ට් කෝපි, සීනි සහ උණු වතුර දමාගන්න.
  • දැන් ඉලෙක්ට්‍රික් මික්සර් එකක් භාවිතයෙන්, අඩු වේගයකින් පටන් අරගෙන ක්‍රමයෙන් වැඩි වන වේගයෙන් මිශ්‍රණය උකු සහ මෘදු වන තුරු මිශ්‍ර කරගන්න. මෙයට මිනිත්තු කිහිපයක් ගත වනු ඇත.
  • දැන් වීදුරුවකට අයිස් කැට කිහිපයක් දමා, වීදුරුවෙන් තුනෙන් දෙකක් පමණ වන තුරු ශීත කළ දියර කිරි දමා, ඒ මතට සාදාගත් දල්ගෝනා කෝපි ක්‍රීම් එක දමාගන්න. එක් වරක් හෝ දෙවරක් පමණ හැන්දකින් මිශ්‍ර කර බීමට ගන්න.

 

 

 

දැන් ඔය වගේ බොන්න පුළුවන් කෝපි විතරද? නෑ තව එව්වා තියෙනවා. හැබැයි ඒවා ගැන අපි ඉදිරියට කතා කරමු!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *