අද අපි කතා කරන්න හිතුවේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල විදිහට පිළිගන්න විශ්ව විද්‍යාල කිහිපයක් ගැන. ලංකාවේ කොයිහැටි වුණත් ලෝකයේ අනෙක් රටවල් අධ්‍යාපනය කියන විෂයට විශේෂ ස්ථානයක් ලබා දෙනවා. මොකද ඕනෑම රටක මානව ප්රාග්ධනය දියුණු කරන්නේ අධ්‍යාපනය හරහා. ඉතින් යම් රටක හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා කියන්නේ ඒ රටේ දියුණු මානව ප්‍රාග්ධනයක් ඇති වෙනවා කියන එක. ලංකාව ගැන කතා කළොත්, නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පැවතුනත් අධ්‍යාපනයේ සම අවස්ථා හැම දෙනාටම සාධාරණව ලැබෙන්නේ නෑ. ඒ නිසා අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ මැදිහත් වීමක් දකින්නට ලැබෙනවා. ඒ වගේම ලංකාවේ රජයේ පාසල් පද්ධතියේ පළවෙනි ශ්‍රේණියේ ඉඳන් සාමාන්‍ය පෙළ දක්වාත්, සාමාන්‍ය පෙළ සමත් සිසුන් උසස් පෙළ දක්වාත් අධ්‍යාපනය ලබනවා. ඉන් පස්සේ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. හැබැයි ඒ තරඟයෙන් සමත් වෙන බොහොම සුළු පිරිසකට තමයි රජයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවෙන්නේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්තා වලට අනුව 2019/20 අවුරුද්දේ විශ්ව විද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් සිසුන් 92,379ක් අයදුම් කරලා තියෙනවා. හැබැයි ඒ සඳහා තෝරාගෙන තියෙන්නේ ශිෂ්‍යයෝ 45,000ක් විතරයි. ඒ වගේ තත්ත්වයක් ලංකාවේ තියෙන නිසා ගොඩක් ශිෂ්‍යයෝ පුද්ගලික අංශයේ සහ විදේශ විශ්ව විද්‍යාල සඳහා වැඩි යොමු වීමක් තියෙනවා. ඒ කොහොම වුණත් ලෝකයේ එක එක රටවල් තමන්ගේ රටේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර ප්රමිතීන් වලට අනුව පවත්වාගෙන යන්න උත්සහ කරනවා. ඉතින් ඒ විදිහට ඉහළම ප්‍රමිතියක් ඇතුව ලෝකයේම පිළිගැනීම ලබාගත්තු ඉහළම තත්ත්වයේ පවතින විශ්ව විද්‍යාල ගැනයි අපි අද කතා කරන්නේ. ඉතින් ලෝකය පුරා තියෙන විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් කරන එක එක ආයතන තියෙනවා. ඉතින් එක එක ක්‍රම වලට තමයි ඒ ශ්‍රේණිගත කිරීම් කරන්නේ සහ යොදාගන්න නිර්ණායක වුණත් එක එක විදිහයි. හැබැයි පොදුවේ අධ්‍යාපනයේ තත්ත්වය, ආදි ශිෂ්‍යයන්ගේ රැකියා තත්ත්වයන්, අධ්‍යයන පීඨවල ගුණාත්මකභාවය සහ පර්යේෂණ කියන කාරණා තමයි සැලකිල්ලට ගන්නේ. ඉතින් ඒ කරුණු වලට එක එක ප්‍රමාණ වලින් බර තැබීම කරලා තමයි මේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කරන්නේ.
1. හාවර්ඩ් විශ්ව විද්‍යාලය (Harvard University)
හාවර්ඩ් විශ්ව විද්‍යාලය කියන්නේ ලෝකය පුරාම ගොඩක්ම ප්‍රසිද්ධ ඉහළම ශ්‍රේණියේ විශ්ව විද්‍යාලයක්. හාවර්ඩ් විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මේ විශ්ව විද්‍යාලය ආරම්භ වෙලා තියෙන්නේ මීට අවුරුදු 386 කට කලින්. ඒ කියන්නේ 1636 අවුරුද්දේ. විශේෂම කාරණාව වෙන්නේ දැනට එක්සත් ජනපද ජනාධිපතිවරු 8 දෙනෙක් මේ විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් වෙනවා. ඒ වගේම දැනට ජීවතුන් අතර ඉන්න බිලියනපතියන් 188 දෙනෙක් සහ නොබෙල් ත්‍යාගලාභීන් 79 දෙනෙකුත් ඒ අතර ඉන්නවා. ඉතින් හැම අවුරුද්දකම වගේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය විදිහට සඳහන් වෙන්නේ ලෝක ප්‍රකට හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. ඒ වගේම හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමත් ලේසි වැඩක් නෙමෙයි. ඊටත් අමතරව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පුස්තකාලය ලෝකයේ ලොකුම පුස්තකාල අතර තියෙන ඉතාම විශාල පුස්තකාලයක්.
2. මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාලය (Massachusetts Institute of Technology)
‘Mind and Hand’ කියන තේමා පාඨය මූලික කරගත්තු මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාලයත් පිහිටලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ලෝකයේ තාක්ෂණික නවෝත්පාදන, තාක්ෂණික පර්යේෂණ බොහොමයකට මූලික වුණු විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගැනෙන ආයතනයක් තමයි මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාලය එහෙම නැත්නම් MIT කියන්නේ. මේ විද්‍යාලය ආරම්භ වෙලා තියෙන්නේ 1861 අවුරුද්දේ. විශේෂයෙන් ලෝක ප්‍රසිද්ධ ඩ්‍රොප් බොක්ස්, එච් පී, ඉන්ටෙල්, වගේ විශාල සමාගම් වල නිර්මාතෘවරු මැසචුසෙට්ස් විද්‍යාලයේ ශිෂ්‍යයෝ කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. මැසචුසෙට්ස් විද්‍යාලයට 2025 උපාධි වැඩසටහන් වලට අයදුම්පත්‍ර 33,000කට අධික ප්‍රමාණයක් ලැබිල තියෙනවා. හැබැයි ඒකෙන් ඇතුළත් කරගෙන තියෙන්නේ සිසුන් 1,365ක් විතරයි. ඒ කියන්නේ 4%ක් විතර ප්‍රමාණයක්. ඉතින් තේරුම් ගන්න පුළුවන්නේ මේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න කොච්චර අමාරුද කියලා. මේ විශ්ව විද්‍යාලය ගැන කතා කරද්දී අමතක කරන්න බැරි කාරණාවක් තියෙනවා. ඒ තමයි මැසචුසෙට්ස් තාක්ෂණ විද්‍යාලය ලෝකයේ දෙවෙනි හොඳම විශ්ව විද්‍යාලය කියල පිළිගැනෙනවා කියන එක. ඒ වගේම එක්සත් ජනපදයේ දෙවෙනි හොඳම විශ්ව විද්‍යාලය විදිහටත් එය පිළිගැනෙනවා.
3. ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලය (Stanford University)
ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන විශ්ව විද්‍යාල වලින් ඉහළින්ම තියෙන විශ්ව විද්‍යාල දෙක ගැන තමයි අපි කලින් කතා කළේ. ඉතින් ඇමරිකාවේ තුන්වන ස්ථානයේ තියෙන විශ්ව විද්‍යාලය තමයි ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලය. මේ විශ්ව විද්‍යාලය ආරම්භ වෙලා තියෙන්නේ 1885 අවුරුද්දේ. ඒ අමාසා ලේලන්ඩ් ස්ටැන්ෆෝර්ඩ් මහත්මයා සහ ඔහුගේ බිරිඳ ජේන් එලිසබෙත් ලැත්රොප් ස්ටැන්ෆෝර්ඩ් මහත්මියගේ ධන පරිත්‍යාගයෙන්. ඔවුන් දෙදෙනාගේ එකම දරුවා ටයිපොයිඩ් උණ හේතුවෙන් මිය යාම නිසා ඔහු සිහිපත් වීම සඳහා තමයි මේ විශ්ව විද්‍යාලය ආරම්භ කරන්නේ. ඉතින් මේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ලැබෙන අයදුම්පත්‍ර වලින් 5%කට විතර තමයි ස්ටැන්ෆෝර්ඩ් ප්‍රවේශය හිමි වෙන්නේ. ඒ වගේම මේ විශ්ව විද්‍යාලය පර්යේෂණ සඳහා වැඩි නැඹුරුවක් ඇති ප්‍රධාන විශ්ව විද්‍යාලයක් බවට ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා.
4. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය (University of Cambridge)
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය එංගලන්තයේ තියෙන විශ්ව විද්‍යාල වලින් ප්‍රථම ස්ථානයේ තියෙන විශ්ව විද්‍යාලය. ඒ වගේම ලෝකයේ පැරණිම විශ්ව විද්‍යාල වලින් එකක්. මේ විශ්ව විද්‍යාලය බිහි වුණේ මීට අවුරුදු 813කට කලින්. එදා පෞරාණික නගරයක් වෙච්ච කේම්බ්‍රිජ් අද වෙද්දි නවීන තාක්ෂණය එක්ක දියුණුවට පත් වෙලා යුරෝපයේ ටෙක් හබ් එක බවට පරිවර්තනය වෙලා තියෙනවා, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය නිසා. ඒ වගේම මේ පරිශ්‍රයේ තියෙන සිනමාරූපී භාවය නිසා බොහෝ කලා නිර්මාණ වලට මේ විශ්ව විද්‍යාලයේ නොයෙක් තැන් පසුබිම් වශයෙන් භාවිතා කරලා තියෙනවා.
5. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය (University of Oxford)
ලෝකයේ ඉතාම ජනප්‍රිය සහ හොඳම විශ්ව විද්‍යාල අතර තියෙන තවත් එක විශ්ව විද්‍යාලයක් තමයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා එහෙම මේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා තියෙනවා. මේ විශ්ව විද්‍යාලය පිහිටා තියෙන්නෙ එංගලන්තයේ. එංගලන්තයේ දෙවෙනි තැන තියෙන විශ්ව විද්‍යාලය වෙන්නේ ඔක්ස්ෆර්ඩ්. ඊටත් අමතරව ඔක්ස්ෆර්ඩ් කියන්නේ ඉංග්‍රීසි කතා කරන විශ්ව විද්‍යාල අතර පැරණිම විශ්ව විද්‍යාලය. “සමිඳානෝ මාගේ ආලෝකයයි” කියන තේමා පාඨය තමයි ඔක්ස්ෆර්ඩ් තේමා පාඨය. මේ විශ්ව විද්‍යාලය බිහි වෙලා තියෙන්නෙ මීට අවුරුදු 926කට කලින්. 2019 අවුරුද්දේ සිසුන් 24,000කට අධික සිසුන් පිරිසක් මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා තියෙනවා. අවුන්ග් සාං සුකී, ටෝනි බ්ලෙයාර්, රෝවන් ඇටිකින්සන්, ඉම්රාන් ඛාන් වගේ ඉතා සුවිශේෂී චරිත ගොඩක් මේ විශ්ව විද්‍යාලයේ ආදි සිසුන් වෙනවා.
6. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය (Princeton University)
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයත් පිහිටා තියෙන්නෙ ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ. මේ ලැයිස්තුවේ තියෙන අනිත් හැම විශ්ව විද්‍යාලයකම වගේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේත් ප්‍රවේශය ඉතාමත් තරඟකාරීයි. ඒ කියන්නේ ලැබෙන අයදුම්පත් අතරින් 6%ක ඇතුළත් කරගැනීමේ ප්‍රතිශතයක් තමයි තියෙන්නෙ. ඇමරිකාවේ තියෙන හතරවෙනි පැරණිම උසස් අධ්‍යාපන ආයතනය වෙන්නෙ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය. මේ විශ්ව විද්‍යාලය බිහි වෙලා තියෙන්නෙ 1746 අවුරුද්දේ. පුද්ගලික විශ්ව විද්‍යාලයක් විදිහට ක්‍රියාත්මක වෙන ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සිසුන් 8,000කට අධික පිරිසක් අධ්‍යාපනය ලබනවා. බැරක් ඔබාමාගෙ බිරිඳ වන මිශෙල් ඔබාමාත් ප්‍රින්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවියක්.
7. කොළොම්බියා විශ්ව විද්‍යාලය (Columbia University)
අපි මේ කතා කරපු විශ්ව විද්‍යාල වලින් වැඩි ප්‍රමාණයක් පිහිටා තියෙන්නේ ඇමරිකාවේ. ඉතින් කොළොම්බියා විශ්ව විද්‍යාලයත් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. මූලාරම්භය 1754 දී තමයි වෙලා තියෙන්නෙ. ඒ කාලේ භාවිතා කරලා තියෙන්නෙ King’s College කියන නමයි. පස්සේ තමයි කොළොම්බියා විශ්ව විද්‍යාලය විදිහට නම වෙනස් වෙලා තියෙන්නෙ. සිසුන් 33,000කට අධික සිසුන් පිරිසක් මේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.
Leave a Reply