ඔබත් ලිංගික විලෝපිකයෙක් ද?

කවුද ඇත්තටම සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් නැතිනම් ලිංගික විලෝපිකයෙක් කියලා කියන්නේ? ඒක හිතන්න කලින්, අපි බලමු ප්‍රෙඩෙටර් කෙනෙක් නැතිනම් විලෝපිකයෙක් කියන්නේ කවුද කියලා. විලෝපිකයෙක් කියන්නේ තව සතෙක්ව ගොදුරු කරගන්න සතෙක්ටනේ. උදාහරණයක් විදියට ගත්තොත්, කොටියා කියන්නේ විලෝපිකයෙක්. ඉතින් මේ විලෝපිකයෙක් කරන්නේ කුරුමාණම් අල්ලලා සතෙක්ව ගොදුරු කරගන්න එක. සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් කියන්නෙත් එහෙම කෙනෙක්ට තමයි. සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් කුරුමාණම් අල්ලලා, තමන්ට ගොදුරු වෙන තත්ත්වයක ඉන්න කෙනෙක්ව ලිංගිකව අපයෝජනය කරනවා. හැබැයි මේක අපි හිතන විදියේ අර බලහත්කාරකමෙන් ලිංගික අපරාධයක් කිරීමක් ම නොවෙන්න පුළුවන්. රවට්ටලා ලිංගික කටයුතු වලට යොදාගැනීම, තමන්ගේ බලය පාවිච්චි කරලා ලිංගික කටයුතු වලට යොදාගැනීම වගේ දේවල් ගොඩක් වෙලාවට සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් කරන දේවල් විදියට තමයි සැලකෙන්නේ. ගොඩක් වෙලාවට වයසෙන් කුඩා, ලිංගික හැසිරීමකට සවිඥාණිකව කැමැත්ත දෙන්න තරම් වයසක නොවෙන කෙනෙව පොළඹවා ගන්න අයත් සෙක්ස් ප්‍රෙඩේටර්ස්ලා විදියට තමයි සැලකෙන්නේ.

 

දැන් තමනුත් ඇත්තටම සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක්ද කියලා කොහොමද දැනගන්නේ? ඒ ගැන අපි කතා කරමු.

 

1. තමන් මත යැපීමක් නිර්මාණය කිරීම

මේ තත්ත්වය හරි හැටි තේරුම් ගන්න ටිකක් කල් යනවා. අන්න ඒක තමයි මේ හැසිරීමේ භයානක කම. ඒ කියන්නේ සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් තව කෙනෙක් තමන් මත මානසිකව යැපෙන තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ පටන් ගැන්මෙදි මේ අය හරිම ආකර්ෂණීයයි. හරියට සැලකිලිමත් වෙනවා, හොයා බලනවා, තෑගි දෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම සම්බන්ධතාවය පවත්වා ගන්නවා. හැබැයි මේ හැම දෙයක්ම කරන්නේ වෙන කෙනෙක් ගැන තියෙන සැබෑ සැලකිල්ලක්, වුවමනාවක් නිසා නෙවෙයි. මෙතනදී සෙක්ස් ප්‍රෙඩෙටර්ට ඒකට ගොදුරු වෙන කෙනා ගැන සැබෑ සැලකිල්ලක් හරි ගරුත්වයක් හරි නෑ. සෙක්ස් ප්‍රෙඩෙටර්ට අවශ්‍ය වෙන්නේ සෙක්ස් කරන්න පොළඹවා ගැනීම විතරයි. දැන් මෙහෙම කරනකොට ඒකට ගොදුරු වෙන කෙනාට හිතෙනවා තමන් සහ සෙක්ස් ප්‍රෙඩෙටර් අතර විශේෂ බැඳීමක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ බැඳීම පවත්වා ගන්න සෙක්ස් කරන්න වුණත් පැකිළෙන්නෙ නෑ. හැබැයි තමන්ගේ වුවමනාව සපුරා ගත්තට පස්සේ සෙක්ස් ප්‍රෙඩෙටර් එතනින් අයින් වෙනවා.

 

2. සීමාවන් ඉක්මවීම

ඔය සමහරු ඉන්නවා, කෙනෙක් එක්ක ආශ්‍රය කරනකොට තියෙන ශාරීරික සහ මානසික සීමාවන් ඉක්මවලා කටයුතු කරන. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් එක්ක ලොකු සම්බන්ධතාවයක් නැති අවධියේදී වුණත්, සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් අනික් කෙනාව අනවශ්‍ය විදියට ස්පර්ෂ කරන්න එහෙම පෙළඹෙනවා. මේ කියන්නේ අතට අත දීමක්, පිටට තට්ටුවක් දැමීමක් වගේ මානුෂීය දේවල් ගැන නෙවෙයි. උදාහරණයක් විදියට, තමන් එක්ක ලොකු සම්බන්ධයක් නැති කෙනෙක්ගේ අත හෝ කකුල අනවශ්‍ය විදියට ස්පර්ෂ කරන්න පෙළඹෙන එක සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක්ගේ ලක්ෂණයක්. විශේෂයෙන්ම අනික් කෙනාගේ අවසරයකින් තොරව මේ සගේ ස්පර්ෂයන් කරනවා වගේම, ඒකට අකමැත්ත ප්‍රකාශ කළොත්, ඒක අනික් කෙනා සමාජයේ හැසිරෙන්නේ නැති නිසා, එයාගේ නොදැනුවත්කමේ ලක්ෂණයක් විදියට නම් කරන්නත් සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් පැකිළෙන්නේ නෑ. මානසික සීමාවන් ගත්තත් එහෙමයි. එහෙමට අඳුනන්නේ නැති කෙනෙක් එක්ක පෞද්ගලික ලිංගික කාරණා කතා කිරීම ඒ සීමාවන් පැන්නීමක් විදියට ගන්න පුළුවන්.

 

3. පහත් කර සැලකීම

සමහර මිනිස්සු ඉන්නවා අනික් මිනිස්සුන්ව පහත් කරලා සලකන. ඒක වැරදි වැඩක් වුණත්, අපිට දකින්න නොලැබෙන දෙයක් නෙවෙයි. හැබැයි සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් ඒ වගේ හැසිරීමක් තව එහාට අරගෙන යනවා. ඒ කියන්නේ සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් තව කෙනෙක්ගේ පෙනුම, හැකියාවන්, අඳින පළඳින විදිය ගැන පහත් කරලා කතා කිරීම, හිනා වීම ඔස්සේ ඒ කෙනාට තමන් ගැන තියෙන වටිනාකම හෑල්ලු කරලා නැති කරලා දානවා. ආන්න ඊට පස්සේ, සෙක්ස් ප්‍රෙඩෙටර් උත්සාහ කරනවා, තමන් එක්ක ලිංගික සම්බන්ධතාවයකට යෑම, ඒ කෙනාට තමන් ලබාදෙන වටිනාකමක් කියලා ඒත්තු ගන්වන්න. ඒ කියන්නේ තමන් එක්ක සෙක්ස් කරන එක, අර අනික් කෙනාගේ වටිනාකම වැඩි කිරීමක්, තමන් ඒක අනික් කෙනාට කරන අනුග්‍රහයක් කියලා ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. එතකොට අඩු ආත්ම සම්මානයකින් ඉන්න කෙනෙක් නොදැනුවත්වම ඒ වලට වැටෙනවා.

 

4. නිදහස් මනුස්සයෙක් වෙන්න

දැන් ඔය කාන්තාවට තියෙන අඩු තැන, කාන්තාව ලිංගිකව ස්වාධීන වීම වගේ කාරණා ඇත්තටම ලෝකේ පුළුල්ව කතාබහට ලක් කෙරෙන, පුළුල්ව කතා බහට ලක් විය යුතු මාතෘකා තමයි. හැබැයි සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් ඔය වගේ සංකල්ප තමන්ගේ වාසියට යොදාගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔය නව යෞවනය කියන්නේ රැඩිකල් අදහස් තියෙන, නිදහස හොයන කාලයක්නේ. අන්න ඒ වගේ කෙනෙක්ට වුණත්, එහෙම නැතිනම් නව යෞවනය පහුකරපු, හැබැයි නිදහසක් නැති ජීවිතයක් ගෙවපු වැඩිහිටි කෙනෙක්ට වුණත් ලිංගිකව ස්වාධීන වීම වගේ මාතෘකා බොහොම රසවත්. දැන් සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් කරන්නේ, ලිංගිකව ස්වාධීන වීම වගේ කාරණා උත්කර්ෂයට නංවලා, එහෙම කරන එකෙන් ඔයාට ස්වාධීන පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා තෙල බෙදන එක. දැන් ඔය තෙල බෙදීමෙන් පස්සේ සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් ඔෆර් කරන්න පුළුවන් තමන් එක්ක සෙක්ස් කරන්න එන්න කියලා.

 

5. දුක අහන අයියා, දුක අහන අක්කා

අපි මනුස්සයෝ විදියට එකිනෙකාට උදව් කරන්න ඕන. ඒක ඇත්ත. හැබැයි අපි ඒ උදව් කරන්නේ යටි අරමුණු මොනවහරි තියාගෙන නම්, ඇත්තටම ඒ උදව් කරන එකේ තේරුමක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු ඔන්න කෙනෙක් ඉන්නවා එයාගේ අවුරුදු ගාණක ලව් එක කැඩිලා. එහෙම නැතිනම් විවාහය නැති වෙලා. දැන් ඒ කෙනාට ලංවෙන මේ දුක අහන අයියෙක් නැතිනම් දුක අහන අක්කියෙක් කරන්නේ, එයා වෙනුවෙන් තමන් ඉන්නවා, එයාව බලාගන්න සහ එයා ගැන හොයලා බලන්න කවුරු නැතිවුණත් තමන් ඉන්නවා කියන හැඟීම ලබාදෙන එක. ඉතින් එහෙම අපි වෙනුවෙන් කෙනෙක් ඉන්න එකට අපි ඕනම කෙනෙක් ආසයිනේ. හැබයි ප්‍රශ්නේ මේකයි. එහෙම අපි වෙනුවෙන් ඉන්නවා කියන එකේ හිලව්වට කවුරුහරි අපෙන් සෙක්ස් ඉල්ලනවා නම්, අන්න ඒක ප්‍රශ්නයක්. අන්න ඒක තමයි සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක්ගේ හැසිරීම. දුක අහලා, දුක අහන එකේ හිලව්වට ඇඳට යමු කියන එක!

 

6. අපි බඳිමු

මෙන්න මේකත්, ගොඩක් වෙලාවට සෙක්ස් ප්‍රෙඩෙටර්ලා පාවිච්චි කරන නරක සහ භයානක උපක්‍රමයක්. විශේෂයෙන්ම ඔය විවාහ වෙනකල් ලිංගික හැසිරීමකට යන්නෙ නැහැ කියන මතයේ ඉන්න කෙනෙක්ව නම්මා ගන්න පාවිච්චි කරන කූට උපක්‍රමයක්. දැන් සමාජේ ඉන්න ගොඩක් අයට, විවාහය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. තමන්ගේ ජීවිතේ ලොකු දෙයක්. අන්න එතකොට, කෙනෙක් අපිව විවාහ කරගන්නවා කියලා කියන එකත් ලොකු දෙයක් විදියට ගණන් ගැනෙනවා. ඒ වගේම, බඳින්න ඉන්න කෙනා නිසා, එයා එක්ක මොනවා කළත් කමක් නැහැනේ කියන මනෝභාවය ඇතිවෙනවා. ඇත්තටම සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් කියන්න පුළුවන්, ඔයාව බඳින්න ඉන්නෙ මම නම්, ඇයි ඔයා මට සෙක්ස් කරන්න දෙන්නෙ නැත්තේ කියලා. එතකොට අනික් කෙනා හිතනවා, තමන්ට එහෙම සෙක්ස් කරන්න වුවමනාව නැතත්, තමන්ව බඳිනවා කියලා පොරොන්දු වුණු කෙනාව තියාගන්න නම් කරන්න තියෙන එකම දේ මේක කියලා. ඇත්තටම තමන්  එක්ක විවාහ වෙන්න ඉන්න කෙනෙක් එක්ක දෙන්නගෙම කැමැත්තෙන් සෙක්ස් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. හැබැයි ප්‍රශ්නේ මේකයි. සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් එහෙම විවාහ පොරොන්දු දීලා සෙක්ස් කළාට, ටික කාලෙකින්ම අතුරුදන් වෙන්න පුළුවන්.

 

7. සෙක්ස් පුරසාරම්

ඇත්තටම සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් අඳුනාගන්න පුළුවන් තවත් සෑහෙන්න ෂුවර් ලක්ෂණයක් තමයි, තමන්ගේ ලිංගික ක්‍රියාකාරකම් ගැන පුරසාරම් කීම. වෙන විදියකට කිව්වොත්, මම අච්චර අයත් එක්ක සෙක්ස් කරලා තියෙනවා, මම අහවලා එක්කත් සෙක්ස් කළා, මම අරයට සැප දුන්නේ මෙහෙමයි,  මගෙ කාපු කෙනෙක් ආයෙ පිට යන්නෙ නෑ වගේ ටෝක්ස් දෙන එක. මේ ටෝක්ස් බොරු වෙන්නත් පුළුවන් ඉතින්. හැබැයි මේ විදියේ සෙක්ස් පුරසාරම් වලින් සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් අඟවන්න ට්‍රයි කරන්නේ, තමන් එක්ක සෙක්ස් කරන එකෙන් හිතාගන්න බැරි ආශ්වාදයක් ඔයාටත් ලබාගන්න පුළුවන් කියලා, එහෙම නැතිනම් අනික් හැමෝමත් මාත් එක්ක සෙක්ස් කරලා තියෙන නිසා, ඔයත් මාත් එක්ක සෙක්ස් කළොත්, ඔයත් ස්පෙෂල් කියන එක තමයි. අන්න එහෙම සෙක්ස් පුරසාරම් දෙඩීම නිසාත් සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක්ව අඳුනාගන්න පුළුවන්.

 

දැන් මේ කියන්නේ කෙනෙක් තමන් හැබෑවටම ආකර්ෂණය වුණු කෙනෙක්ට සෙක්ෂුවලි ඇප්‍රෝච් කරන එක වැරදියි කියලද? නැහැ. හැබැයි ඒක කරන්න මහාත්ම ලීලාවක් තියෙනවා. කෙනෙක් තව කෙනෙක්ට ලිංගිකව විතරක් ආකර්ෂණය වෙන්න වුනත් පුළුවන්. හැබැයි සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් නොවෙන කෙනෙක්, ඒ බව කෙලින්ම කියනවා. රැවටිලි කරන්නෙ නැතුව, බොරුවට අනික් කෙනා ගැන කෙයාර් කරනවා කියලා පෙන්නන්නෙ නැතුව, අනික් කෙනාට දැනුවත් තීරණයක් ගන්න පුළුවන් විදියට කෙලින් කතා කරනවා. දේවල් නොසඟවා කියනවා. හැබැයි එහෙම අවංක භාවයක් හෝ අනික් කෙනා ගැන ගෞරවයක් හෝ නැතුව ලිංගික ආරාධනා කරන අය ඉන්නවා නම්, ඒ අය ගොඩක් දුරට සෙක්ස් ප්‍රෙඩෙටර් කෙනෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි!

 

Leave a Reply

Your email address will not be published.