සියදිවි හානිකර ගැනීම නීතියෙන් වරදක්. ඒත් එය ඇතැම් රටවල වරදක් නෙමෙයි. ඉතින් මේ සියදිවි හානිකරගැනීම් වැඩිපුර පහුගිය කාලේ වාර්තා වුණා. ඒත් ජනගහණයට සාපේක්ෂව සියදිවි හානි කරගැනීමේ ප්‍රතිශතය 90 දශකයේ තරම් දැන් ඉහළ නැහැ. ඉතින් සියදිවි හානිකරගැනීම් සම්බන්ධයෙන් තියෙන දත්ත මොනවද? සියදිවි හානිකරගැනීම් වළක්වාගන්නේ කොහොමද කියලා අපි ටිකක් අවධානය යොමු කරමු.
1. වළක්වා ගත නොහැකි තත්ත්වයන්
ඔස්ට්‍රියාවේ මාරාන්තික ලෙස රෝගාතුර වී හෝ සදාකාලික බෙලහීන තත්ත්වයට පත් වූ වැඩිහිටියන්ට පාලිත තත්ත්වය යටතේ සිය දිවි නසාගැනීම තෝරාගන්නට 2022 ජනවාරි පළමු වෙනිදා සිට ඉඩ ලැබුණා. එය දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රියාවේ අධිකරණ තීන්දුවක් ලෙස ලැබුණ එකක්. මෙය සරල ලෙස පෙනුනත් එම ක්‍රියාවලිය සිදුවන්නේ දැඩි වෛද්‍ය විශේෂඥ අධීක්ෂණයකින් පසුවයි. මෙම තත්ත්වය ස්විට්සර්ලන්තයේද තියෙනවා. සියදිවි නසාගැනීම අප රට තුළ අපරාධයක් වුවත් ස්පාඤ්ඤය, බෙල්ජියම, නෙදර්ලන්තය වැනි යුරෝපීය රටවල් කිහිපයකම සියදිවි නසාගැනීම අපරාධයක් විදිහට සැලකෙන්නේත් නැහැ.
2. සියදිවි හානි කරගැනීමේ සංඛ්‍යාමය දත්ත
සෑම තත්පර 40කට වරක් ලොව කොතැනක හෝ කිසිවෙකු සියදිවි නසාගන්න බවට දත්ත වාර්තා වෙනවා. එනම් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 8කට වඩා සියදිවි හානිකරගැනීම නිසා මිය යනවා. 16-25 අතර යොවුන් වයසේ මරණ වලට බලපාන දෙවැනි ප්‍රධානම හේතුව ලෙස සියදිවි නසාගැනීම දැක්වෙනවා. සියදිවි හානිකරගැනීම් වලින් වැඩිපුරම මියයන්නේ පිරිමින් බවද අනාවරණය වී තිබෙනවා. 1995 දී ලොව වැඩිම සියදිවි හානිකරගැනීමේ මරණ අනුපාතිකය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් වුණා. නමුත් දැන් අප සිටින්නේ 29 වැනි ස්ථානයේයි.
3. ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග
1995-2015 කාලයේ ලංකාවේ සිය දිවි හානිකරගැනීමේ ප්‍රතිශතය සියයට 70කින් අඩු වී තිබෙනවා. 1995 ට පෙර තිබු කෘෂි රසායන අතරින් මිනිසාට අහිතකර කෘෂි රසායන තහනම් කිරීම එසේ එම මරණ සංඛ්‍යාව අඩු වීමට එක් හේතුවක් බවට පිළිගැනෙනවා. එකල සියදිවි හානි කරගැනීමට රජරට සහ ගොවිබිම් ආශ්‍රිතව බොහෝවිට යොදාගත්තේ “වහ බීල මළා” යන වදනයි. එසේම මානසික සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති වූ දියුණුව, අන්තරායාකාර මත්ද්‍රව්‍ය පාවිච්චිය පාලනය කිරීම සහ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුකිරීම ආදී සාධක නිසා සියදිවි හානිකරගන්නා ප්‍රමාණය අඩුකරගන්නට හැකි වී ඇති බව සැලකෙනවා.
4. පිරිමි වැඩිපුර දිවි නසා ගන්නේ ඇයි?
මැත කාලීන දත්ත සලකා බැලුවොත් 2018 වසරේ ලංකාවේ සියදිවි නසාගැනීම් 3281ක් සහ 2019 වසරේ සියදිවි නසාගැනීම් 3135ක් වාර්තා වී තිබෙනවා. ඒ මරණ අතරින් පිරිමි අය 80%ක් තරම් ඉහළ ප්‍රතිශතයක් සියදිවි හානි කරගන්නට පෙළඹී ඇති බවට වාර්තා වෙනවා. අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය කියන විදිහට පිරිමින්ගේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම, දරුවන්ගේ බර වැඩිපුර ගැහැනුන්ට යොමු වීම, කාන්තාවන්ට පිහිට වෙන්නට පිරිස වැඩි වීම, පිරිමින් තමුන්ගේ ප්‍රශ්න කීමට ලැජ්ජා වීම, ප්‍රශ්න වලට විසඳුමක් ලෙස වැඩිපුර මතට යොමු වීම ආදී හේතු නිසා පිරිමි අය වැඩිපුර සියදිවි නසාගැනීමට පෙළඹෙනවා.
5. අවදානම් සාධක
සියදිවි නසාගත් හෝ නසාගන්නට තැත් කළ සාමාජිකයන් සිටින පවුල් පරම්පරාවල පුද්ගලයින්ට සියදිවි හානි කරගන්න හිතෙන අවස්ථා වැඩි බය කියවෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය, මත් පැන් මගිනුත් කෙනෙක් අපේක්ෂාභංගත්වයට පත් කරලා සියදිවි හානිකරගන්න තත්ත්වයට ළඟා කරවනවා. සියදිවි නසාගැනීමට මූලික වෙන ඇතැම් මානසික රෝග වළක්වා ගන්නට දිගු කාලයක් ප්‍රතිකාර ගන්නට අවශ්‍ය වෙනවා. එහෙත් මානසික රෝග ගැන තියෙන අමුතු බිය නිසා සමහර අය මානසික රෝග වලට නිසි අයුරින් ප්‍රතිකාර ගන්නේ නැහැ.
6. සමාජ සහ පෞරුෂත්වය සම්බන්ධ ගැටළු
දරුවන් කුඩා කල තවත් යාළුවන් සමග වැඩිපුර සම්බන්ධතා තියෙනවාට දෙමාපියන් වැඩිය කැමති නැහැ. එහෙත් වැඩිය සම්බන්ධතා නැතිව, දරුවන්ට තනිවන්නට ඉඩ දී ඔවුන්ව ඇති දැඩි කිරීම හොඳ දෙමාපිය ලක්ෂණයක් නෙමෙයි. සමාජ සම්බන්ධතා සහ කුශලතා අඩු අයත් ඉක්මනින් සමාජීය ජීවිතය ගැන කළකිරී ඉක්මනින් දිවි නසාගැනීමට පෙළඹෙනවා. ඒ වගේම හීන වූ පෞරුෂ ලක්ෂණ ඇති අයව නිතරම විහිළුවට ගන්නේ නැතිව ඔවුන්ට පෞරුෂය වැඩිදියුණු කරගෙන ඉදිරියට එන්නට උදව් කිරීමත් සියදිවි නසාගන්න එක අඩුකරගන්නට අපිට කරන්න පුළුවන් දෙයක්.
7. පිටින් පෙනෙන දේවල්
කෙනෙක් සාමාන්‍ය චර්යාවෙන් පිට පැනලා ඉක්මනින් කෝප වෙන, ආවේගකාරී වෙන හෝ වැඩිදුර කල්පනා කරන චර්යාවකට යොමු වෙනවා නම් සමීපතමයින්ට එය ඉක්මනින් දැනෙනවා. විෂාදය ආදී මානසික රෝගවලට ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගැන අවධානයෙන් සිටීමද වැදගත් කාරණයක්. එසේම කුමන සමාජයක වුවත් වයස්ගත වැඩිහිටියන් සියදිවි නසාගන්නට පෙළඹෙන අවස්ථා වැඩියි. ඔවුන්ට තිබෙන රෝගාබාධ, මානසික සුවය නොමැති වීම, දරුවන්ගෙන් සැලකුම් නොලැබීම, පාළුව, කාන්සිය ආදී තත්ත්වයන් සියදිවි නසාගැනීමට ඔවුන් වැඩිපුර පොළඹවනවා.
අනෙක් අයට සංවේදී වෙලා, ප්‍රශ්න වලට සවන්දීලා සියදිවි හානිකරගන්න තියෙන අවස්ථා අඩු කරගන්න පුළුවන්. ඒත් ඔබ දන්නා හඳුනන අයගේ පැහැදිළි වෙනසක් නිතර කළකිරීමේ හෝ සියදිවි හානි කරගැනීමේ උත්සාහයන් ගැන ඉඟියක් ලැබෙනවා නම්, ඔහු සමග ගොස් පළපුරුදු මානසික වෛද්‍යවරයෙක් හමුවීම වඩාත් වැදගත් වෙනවා. එවිට එම තත්ත්වය ගැන වඩාත් හොඳට ප්‍රවේශ වෙලා අවශ්‍ය කරන ප්‍රතිකාර මාර්ග වලට ඔහු ඔබව යොමු කරාවි.
Leave a Reply