පාන් වලට ගාල කන මාමයිට් වලින් වෙනස්ම රෙසිපි 7ක්

මාමයිට් ලෝලීන් එන්න මේ පැත්තට. පොඩි කාලෙ ඉඳන්ම ආස, අදටත් නැති කරගන්න බැරි මාමයිට් කන පිස්සුව තියන ඈයොන්ට මාමයිට් වලින් හදන කෑම වර්ග ටිකක් ගෙනාවා. හරිම ලේසි වගේම ක්‍රියේටිව් මේ වගේ රෙසිපි ඔයාලත් අනිවාර්යෙන්ම ට්‍රයි කරන්න. 

 

1. ක්‍රිස්පි මාමයිට් ස්ටික්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මාමයිට් 
  2. පාන්පිටි කෝප්ප 1
  3. බටර් ග්‍රෑම් 20
  4. ලුණු පින්ච් එකක්
  5. වතුර කෝප්ප 1/4

 

  • පාන්පිටි වලට බටර් හා ලුණු දාලා අනාගන්න. වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.  
  • ඊළඟට මේක තුනී කරලා දෙකට බෙදලා එක පැත්තකට මාමයිට් ගාගන්න. අනික් පැත්තෙන් වසාගන්න. 
  • දැන් මේක තීරු කපලා අතින් දෙපැත්ත රෝල්කරගන්න (මැකරෝනි වගේ). මේ ස්ටික්ස් ගැඹුරු තෙලේ බැදගන්න. 

 

2. මාමයිට් බත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පිසගත් බත් කෝප්ප 2
  2. තම්බාගත් චිකන් කෝප්ප 1/2
  3. තලාගත් ඉඟුරු, සුදුළූණු තේ හැඳි 2
  4. කෑලිමිරිස් තේ හැඳි 1/2
  5. බටර් ටිකක් 
  6. මාමයිට් මේස හැඳි 1
  7. චොප්කරගත් ලොකුළූණු ගෙඩියක්
  8. රම්පේ හා කරපිංචා 
  9. චොප්කරගත් අමුමිරිස් කරල් 2ක්

 

  • පෑන් එකක් ලිපේ තියලා බටර් ටික දාගන්න. මේකට ඉඟුරු, සුදුළූණු, රම්පෙ හා කරපිංචා ටික දාගන්න. ළූණු ටිකත් දාලා හොඳට තෙම්පරාදු කරගන්න. 
  • ඊළඟට චිකන් ටිකත් කෑලි කඩලා එකතු කරන්න. විනාඩි 3ක් විතර බැදෙන්න ඇරලා කෑලිමිරිස් ටික දාගන්න. 
  • මේකට අමුමිරිස් ටිකත් දාලා බැදෙනකොට මාමයිට් ටික එකතු කරන් හොඳට කලවම් කරගන්න. 
  • අන්තිමට බත් ටික දාලා කලවම් කරගන්න. මාමයිට් වල ලුණු රසය වැඩි නිසා ලුණු බලලා අවශ්‍ය නම් එකතු කරගන්න. 

 

3. මාමයිට් ටෝෆු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෑලි කපාගත් ටෝෆු ග්‍රෑම් 200

 

මාමයිට් ඩ්‍රසින් එකට 

 

  1. මාමයිට් තේ හැඳි 2
  2. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  3. සෝයාසෝස් මේස හැඳි 1
  4. මේපල් සිරප් මේස හැඳි 1
  5. තල තෙල් තේ හැඳි 1
  6. තල ඇට ටිකක්

 

  • ටෝෆු ටික ගැඹුරු තෙලේ බැදගන්න. ඩ්‍රසින් එකට අවශ්‍ය සියල්ලම දාලා කලවම් කරලා පේස්ට් එකක් හදාගන්න. 
  • දැන් බැදගත් ටෝෆු ටික මේකට දාලා කලවම් කරගන්න. උඩින් තල ඇට ටිකක් දාලා කෑමට ගන්න. 

 

4. මාමයිට් ඩ්‍රින්ක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මාමයිට් මේස හැඳි 1
  2. උණුවතුර කෝප්ප 1
  3. ලියාගත් රතුළූණු ගෙඩි 1
  4. කරපිංචා කොළ කීපයක්
  5. ගම්මිරිස් ඇට දෙක තුනක්
  6. ලුණු ටිකක් (අවශ්‍ය නම්)
  7. දෙහි යුෂ ටිකක් 

 

  • උණුවතුර වලට දෙහි හැර අනික් සියල්ලම දාලා කලවම් කරලා විනාඩියක් වහලා තියන්න. 
  • අන්තිමට දෙහි දාලා කලවම් කරගන්න.

 

5. චීසි මාමයිට් පීන්වීල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මාමයිට් 
  2. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1

 

ඩෝ එකට 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. බටර් මේස හැඳි 1
  3. ලුණු ටිකක් 
  4. අයිස් වතුර ටිකක් 

 

  • පාන්පිටි වලට බටර් හා ලුණු දාලා කලවම් කරන්න. මේකට අයිස් වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. ඩෝ එක තුනී කරලා ලොකු කොටුවක් හැඩේට කපාගන්න.  
  • ඊළඟට මේක උඩ මාමයිට් ගාලා මොසරැල්ලා චීස් අතුරගන්න. ස්විස් රෝල් එක වගේ අයිනෙ ඉඳන් රෝල් කරන් ඇවිත් පෙති කපාගන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් වගේ බේක් කරගන්න. 

 

6. මාමයිට් ග්ලේස්ඩ් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් චිකන් ග්‍රෑම් 200
  2. ලුණු හා ගම්මිරිස්කුඩු 
  3. කරි පව්ඩර් තේ හැඳි 1/2
  4. සීනි තේ හැඳි 1/2
  5. සෝයාසෝස් තේ හැඳි 1
  6. බිත්තර සුදුමද තේ හැඳි 2
  7. කෝන්ෆ්ලා මේස හැඳි 2
  8. පාන්පිටි කෝප්ප 1
  9. බැදීමට තෙල්
  10. තල ඇට ටිකක් 

 

සෝස් එකට 

 

  1. මාමයිට් මේස හැඳි 1ක්
  2. වතුර මේස හැඳි 4ක්
  3. සීනි තේ හැඳි 1ක්
  4. සෝයාසෝස් තේ හැඳි 2
  5. ඔයිස්ටර් සෝස් තේ හැඳි 2ක්

 

  • කපාගත් චිකන් වලට ලුණු, ගම්මිරිස්කුඩු, කරි පව්ඩර්, සීනි, සෝයාසෝස්, බිත්තර සුදුමද, කෝන්ෆ්ලා දාලා හොඳට කලවම් කරගන්න.  
  • චිකන් ටික පාන්පිටි වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. සෝස් එකට අදාළ සියල්ලම බෝල් එකක කලවම් කරගන්න. 
  • පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට හදාගත්තු සෝස් එක දාගන්න. රත් වෙලා නටනකොට බැදගත් චිකන් ටික දාගන්න. 
  • පොඩ්ඩක් හිඳෙන්න තියලා ලිප ඕෆ් කරගන්න. උඩින් තල ඇට ටිකක් ඉසගන්න. 

 

7. මාමයිට් ස්පැගති

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මාමයිට් මේස හැඳි 2
  2. ස්පැගති ග්‍රෑම් 500
  3. ලුණු හා ගම්මිරිස්කුඩු ටිකක් 
  4. බටර් ටිකක් 
  5. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1

 

  • වතුර භාජනයක් ලිපේ තියලා වතුර උතුරනකොට ලුණු හා ස්පැගෙති ටික දාලා තම්බගන්න. 
  • පෑන් එකකට බටර් ටිකක් දාලා චොප්කරගත් සුදුළූණු ටික දාගන්න. 
  • සුදුළූණු ටික ෆ්‍රයි වෙනකොට තම්බාගත් ස්පැගෙති ටික දාලා මාමයිට් එකතු කරන්න. කලවම් කරලා ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා කෑමට ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *