ආර්ථිකව වැටී ඇති ලෙබනනයේ දැන් තත්ත්වය

ආර්ථික අර්බුදයක් කියන්නේ මොකක්ද කියන එක ගැන සාමාන්‍ය ජනතාවට ලොකු බරක් පතලක් නැති වුණත් එහි බලපෑම නම් එවැනි අර්බුද තියෙන රටක ජනතාවට සෘජුවම දැනෙනවා. කලකට පෙර ලංකාවෙන් ගෘහ සේවිකාවන් පවා ගිය ලෙබනනය නැමැති රට අද බොහොම දුක්ඛිත තත්ත්වයකට වැටිලා. දේශපාලන අස්ථාවරත්වය වගේම රටේ ජනතාව සැපයුම් නැති කමින් සහ මුදල් හිඟ කමින් දැඩිව පීඩා විඳිනවා. 

 

1. ඩොලර් එකවුන්ට් වලට වුණ සන්තෑසිය 

ලෙබනනයේ බැංකුවල තිබුණ මිනිස්සුන්ගේ යූ එස් ඩොලර් සල්ලි කරගන්න බැරිව ඒ රටේ ජනතාව ගොඩක් අපහසුතාවන්ට ලක් වුණා. කොටින්ම කිව්වොත් එය කරගන්න බැහැ. ඉතින් මෑතකදී සිට ලෙබනන රජය එසේ මුදල් මාරු කරන අයට වැඩිපුර ගෙවනවා කියලා රාවයක් යවනවා. ඒත් ඇත්තටම එහෙම වැඩිපුර ගන්න කියලා ගියපු ජනතාවට මිලිටරි කණ්ඩායම් වලින් ලැබුණේ දරුණු ප්‍රතිචාරයක්. කීයකට හරි කමක් නැහැ දැන් නම් මාරුකරගෙන යනවා කියලා ආපු ජනතාව බහුතරයකට හිස් අතින් ආයෙම හැරිලා යන්නට සිද්ද වුණා. 

 

 

2. මුදල් වල අගය පහළට යෑම 

ලෙබනන් වල ඩොලර් එකකට ආණ්ඩුවේ රේට් එක තියෙන්නේ ලෙබනීස් පවුම් 3900 සිට 8000 දක්වා අගයක්. ඒත් ඇත්තම ගාණ පවුම් 23,000ක් හෝ ඊට වැඩි අගයක්. ඒ කිව්වේ බැංකු හරහා ගනුදෙනු කළොත් ලැබෙන ගාණ කලින් කිව්ව ගාණ. බ්ලැක් මාකට් නම් 23,000ක්. මේ නිසා ලෙබනනයේ මුදලුත් අර වෙනිසියුලාවේ සල්ලි වගේ පොඩි දෙයක් මිලදී ගන්නත් විශාල කොළ මිටි අරගෙන යන්නට ඕනා. ලෙබනන රටේ මිනිසකුගේ අවම මාසික වේතනය දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 22.50ක්. ඒත් අදාළ විද්වතුන් පවසන විදිහට තිබෙන තත්ත්වය අනුව ලෙබනනයේ ඇති හැකි හැමෝම දැන් ලොකු පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ. 

 

 

3. බීරුට් හි පුපුරායාම 

ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ නොවුණාට ලොකු පරිමාණ ප්‍රහාරයක් ලෙබනනයෙත් වුණා. එයින් වුණු දේශපාලන බලපෑමත් මේ අද තත්ත්වයට එක හේතුවක් වෙලා තියෙනවා. 2020 අගෝස්තු වලදි බීරුට් වරායෙදි හිටිවනම පුපුරණ ද්‍රව්‍ය නැවක් පුපුරා ගියා. එයට වැරදිකරුවන් සොයාගෙන යද්දී කොමිසම් පත් කෙරුණා. ඒත් රජයේ ඉහළම තැන්වල නම් මේ පුපුරණ ද්‍රව්‍ය නැව වරායේ ගාල් කිරීම හා සම්බන්ධව ඇදිලා යද්දි ඒ කොමිසම් වල ක්‍රියාකාරීත්වය නවතිනවා. ඉතින් මේ විදිහට ඇදෙනකොට ජනතාව පාරට බැහැලා ඒ දේශපාලන කඳවුර එලවලා දානවා. ඔය විදහිට ඇතිවුණ දේශපාලන අස්ථාවර භාවයත් මේ තත්ත්වයට හේතු වුණා. 

 

 

4. කොවිඩ් තත්ත්වය 

ලෙබනනයෙත් ටුවරිසම් වලින් ලැබුණ ආදායම් කොටසක් තිබුණා. ඒ වගේම ලෝකයේම ආර්ථිකය කොවිඩ් කාලේ යම් පසුබෑමක තිබුණා. ඉතින් එතකොටත් වැටෙමින් තිබුණ ලෙබනනයට ඒ තත්ත්වය සැරට බලපෑවා. ඉතින් ලෙබනන පාලකයින්ට අයි එම් එෆ් එකෙන් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන වලින් මූල්‍ය දායකත්වයක් ලබාගන්නත් ඉඩකඩක් ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි ලෙබනන පාලකයින්ට විශ්වාසදායී විදිහට තමන්ගෙ වාර්තා ඉදිරිපත් කරන්න බැරි වුණ එක. 

 

 

5. ඇත්ත ප්‍රතිසංස්කරණ වලට තිබුණ බාධා 

ලෙබනන් වල මේ තත්ත්වය ඇතිවෙන්නේ 2019 දී. ඒ සිට මේ දක්වා ලෙබනනය තුළ රජය මගින් නියම කරන විනිමය අනුපාතිකය සහ ඇත්තටම තියෙන විනිමය අනුපාතිකය අතර වෙනසක් තියෙනවා. ඒ විදිහට රජයේ මිලට පිටින් ඩොලර් මාරුවෙන සහ මිලදී ගන්නා තැන් නැතිකරන්නත් රජය අපොහොසත් වන්නේ ඒ වෙළඳපොළේ හිමිකාරීත්වයත් රජයේ හිතවතුන්ටම තියෙන නිසා. මේ නිසා ලෙබනනයට ලැබෙන අන්තර්ජාතික ඩොලර් සැපයුම් සැළකිය යුතු ලෙස නැවතිලා තියෙන්නේ. ඒ වගේම අනෙක් පසින් හාඩ් කරන්සි එහෙම නැතිනම් කොළ විදිහට ඩොලර් රටට ආපු සංචාරක කර්මාන්තයත් කොවිඩ් වලින් පසුව නැවත යථා තත්ත්වයට ඇවිත් නැහැ. 

 

 

6. නත්තල අපහසු වුණු හැටි 

ලෙබනනයේ සියයට හැත්තෑ හතරක් පමණ ජනතාව දැඩි දරිද්‍රතාවයකින් පෙළෙනවා. ඒ නිසා ඔවුන්ට නත්තල සුබදායී එකක් වුණේ නහැ. රාජ්‍ය නොවන සංවිධානයක් මෙවර 35,000ක් පමණ වන ලෙබනන ජාතික දෙමාපියන්ට සහ දරුවන්ට තෑගි දෙන්නට සූදානම් වෙලා තිබුණා. ඒත් ඒ තෑගි බෙදන තැන්වලට එන්න බස් වියදමවත් සොයාගන්නට බැරි දෙමාපියන් සිටි බවට වාර්තා වෙනවා. ඒ වගේම මේ තෑගි බෝග බෙදන සංවිධානයට පෙර වගේ තොග ගණන් තෑගි ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා තෑගි ලබන අයට “ඔබ කැමති දේම ලැබෙන එකක් නැහැ ඒත් ඒ හැම එකකම ප්‍රාර්ථනාව එලෙසම තියනවා” කියන පණිවිඩයත් යවන්න ඔවුන් ක්‍රියාකරලා තිබුණා. 

 

 

7. එහි ඵලවිපාක 

ආර්ථික අර්බුදයක පලවිපාක වලින් ගැලවෙන්න ඒ රටේ ජීවත්වෙන පෝසත්ම අයෙක්ට වුණත් අපහසුයි. ඉන්ධන වලට දැඩි පෝලිම් තියෙනවා, පානීය ජලය සපයාගන්නට අපහසුයි, ඒ වගේම දිනපතා පැය ගණන් විදුලිය නැති වෙනවා. මහජන සෞඛ්‍ය පද්ධති සහ සෞඛ්‍ය සැපයුම් කඩාවැටීමට ලක් වෙනවා. මේ හැම දේම තියෙද්දි අපිට දුක කියන්න ෆේස්බුක් යන්න ලැබෙන්නෙත් නැහැ. මන්ද පිටරටින් බඩු ගෙන ඒම සීමා වෙද්දි අන්තර්ජාල සම්බන්ධතා සහ ඒ සේවාවන් වලත් ලොකු ලොකු බිඳවැටීම් එන්න අවදානමක් තියෙනවා. 

 

මේ තරම් දෙයක් වෙලත් ලෙබනන රජය විසින් මහජනයාට විශ්වාසය තියන්න පුළුවන් විසඳුමකට යන පාටක් නැහැ. ඔවුන් තම තම කණ්ඩායමේ බලය රැකගන්න කරන උත්සාහයන් විනා සම්පූර්ණ මූල්‍ය පද්ධතිය රටේ ආර්ථිකය ගැන සිතා තීන්දු තීරණ ගන්න බවක් පේන්නට නැහැ. ඒ නිසා ලෙබනනය තුළ ජීවත්වෙන මිනිස්සු නොයෙකුත් දුක් වලින් පීඩා විඳිනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *