ලෝකයේ මිනිස්සු කියන්නේ ජෛව විද්‍යාත්මකව එකම සත්ව කාණ්ඩයක්. ඒත් මිනිස්සු අතර කලාපයෙන් කලාපයට විවිධ වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් අතර බාහිරට පේන උස වෙනස්කම විශේෂ තැනක් ගන්නවා. ක්‍රිකට් ගහන රටවල් වලින් නම් බටහිර ඉන්දීය කොදෙව් රටේ අය උස මහත උදවිය. බංග්ලාදේශයේ අය තරමක් කෙසඟ මිටි අය. ඒ වගේ ලෝකයම ගත්තම නෙදර්ලන්තයේ සහ ලැට්වියාවෙ තමයි ලෝකයේ වැඩිම උස තියෙන මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙම වෙන්නේ ඇයි කියන එකට හේතු කිහිපයක් අපි ඉදිරිපත් කරන්නට හිතුවා.
1. අඩුවෙන් මිශ්‍ර වීම
ලංකාව, දකුණු ඉන්දියාව, ඉන්දුනීසියාව කලක් පුරාණ නෙදර්ලන්තයේ යටත්විජිත වුණා. ඒත් ඒ රටවල ජනතාව එක්ක එකල ලන්දේසි (මෙකල නෙදර්ලන්ත) ජාතිකයින් මිශ්‍ර වුණේ අඩුවෙන්. ස්වදේශිකයින් සමග ලිංගික සබඳතා තිබීම ආවාහ විවාහ ආදිය එකල නෙදර්ලන්ත යටත් විජිත වල සැලකුණේ වරදක් විදිහට. එංගලන්තය ගතහොත් අද විවිධ ආකාරයේ හැඩහුරුකම තිබෙන එක්සත් රාජධානි පුරවැසියන් සිටිනවා. ආසියාතික, අප්‍රිකානු සහ යුරෝපීය ජාතිකයින්ගේ එකතුවක් එහි දකින්න පුළුවන්. ඒත් නෙදර්ලන්තය තවමත් එතරම් මිශ්‍ර වී නැහැ.
2. හොඳ කෑම බීම
නෙදර්ලන්තය අතීතයේ පටන්ම ආර්ථික ශක්තිය අතින් ඉසුරුමත් රටක්. සාගත, ආර්ථික අර්බුද නෙදර්ලන්තයේ සාමාන්‍ය ජනතාවට බලපෑවේ නැතිම තරම්. ඒ වගේම නෙදර්ලන්ත ජාතිකයින්ගේ සාමාන්‍ය ආහාර වේල ප්‍රෝටීන බහුල මස් සහ කිරි වලින් සමන්විත එකක් වෙනවා. මාළු සහ බත් වැඩිපුර බුදින ජපාන ජාතිකයින් පසුකලෙක මස්, බිත්තර, කිරි වැඩිපුර බුදින හවායි හි පදිංචි වුණා. දැන් මේ හවායි වල ඉන්න ජපාන ජාතිකයින් වෙනත් ජපාන ජාතිකයින්ට වඩා උසයි. ඒ අනුව උස යාම කෙරේ ආහාර රටාවත් බලපාන බවට මත පළවෙනවා. ලංකාවෙත් දෙමාපියන් දෙපළම ලාංකික වුවත් ඔවුන්ට වඩා සනීපෙට උසට, මහතට හැදුන දරුවන් විදෙස් වල ජීවත්වන පවුල්වල සුලභව දකින්නට පුළුවන්.
3. උස වැඩි අයට වැඩි තැන
ප්‍රජනනය කොට දරුවන් හැදීමේදීත් උස අයටම ප්‍රමුඛතාවයක් ලැබීමෙනුත් උස පරපුර වැඩිවෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ අනුව උස ගැහැනුන්ට සහ පිරිමින්ට වඩාත් ඉක්මනින් ප්‍රජනන අවස්ථා හිමි වෙනවා. අඩු වයසෙන්ම විවාහ අවස්ථා හමුවෙන ඔවුන් ඉක්මනින්ම නිරෝගී දරුවන් බිහි කරනවා. මේ උස පිරිස් වලට ශතවර්ශ ගණනාවක් පුරා ලිංගික ආකර්ෂණය ලැබීම උස අය වැඩිවෙන්නට තවත් එක හේතුවක්. කරන ලද පරීක්ෂණ වලදී වඩාත් උස අය වඩාත් දරුවන් බිහිකරන බව නෙදර්ලන්තයෙන් සොයාගන තිබුණා.
4. කරදර අඩු ජීවන රටාව
උස යෑම කෙරේ වගේම අපේ සාමාන්‍ය සෞඛ්‍යය කෙරෙත් මානසික නිදහස සෘජුව බලපානවා. සාමාන්‍යයෙන් කලක පටන් සංවර්ධිත සහ මානව කේන්ද්‍රී වැඩ පිළිවෙළ රැසක් තිබෙන නෙදර්ලන්ත ජාතිකයින් සතුටින් සිටින ජාතියක් ලෙසත් ලැයිස්තුවල ඉදිරියෙන් ඉන්නවා. ඒ අනුව මානසික අතින් ස්ථාවර තත්ත්වයක රටක් විදිහට තිබීම නෙදර්ලන්ත ජාතිකයින් සෞඛ්‍ය සම්පන්න නිරෝගී උස ජාතියක් වන්නට හේතු වුණා.
5. මස් සහ කිරි ආහාරයට ගැනීම
චීස් සහ කිරි නිෂ්පාදනය කිරීම සහ පරිභෝජනය කිරීම යන අංශ දෙකෙන්ම නෙදර්ලන්ත ජාතිකයින් ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම මස් වර්ග ආහාරයට ගැනීමත් ඔවුන්ගේ වැඩියි. මේ වැඩි කිරි භාවිතය උස යෑම කෙරේ බලපාන බවට මතයක් විද්‍යාඥයින් අතර තියෙනවා. එහෙත් එය සනාථ කරලා නම් නැහැ. ඒ වගේම ඔවුන් ජීවත් වන සෞම්‍ය කලාපීය ජනතාව සාමාන්‍යයෙන් කොහොමටත් ඝර්ම කලාපයේ වාසය කරන ජනතාවට වඩා උසයි. ඒ අනුව ඒ දේශගුණික තත්ත්වයනුත් උස කෙරේ යම් බලපෑමක් තිබෙනවා.
6. මෑත කාලයේ උස යෑම
1800 ගණන් වල මුල ලංකාවට ලන්දේසීන් ලෙස පැමිණි පුරාණ නෙදර්ලන්ත ජාතිකයින් අද දකින නෙදර්ලන්ත ජාතිකයින් තරම් උස නැහැ. ඔවුන් අතර උස පරතරය සෙන්ටිමීටර විස්සක්. එනම් ආසන්නව අඟල් 8-10කින් වසර දෙසීයක් තුළ නෙදර්ලන්ත ජාතිකයින්ගේ උස වැඩිවෙලා තියෙනවා. දැනට ලෝකයේ උසම ජනතාවක් විදිහට හැඳින්වෙන නෙදර්ලන්ත පිරිමියෙක් සෙන්ටිමීටර 182.5ක් උසයි. නෙදර්ලන්ත ගැහැනියක් සෙන්ටිමීටර 168.7ක් උසයි. අමරිකානුවන් සැලකූ කල සාමාන්‍ය ඇමරිකානු පිරිමියෙක් සෙන්ටිමීටර 177.1ක් උසයි. ගැහැනු අය සෙන්ටිමීටර 163.5ක් උසයි. ඒ අනුව ඇමෙරිකානුවන්ට වඩා නෙදර්ලන්ත ජාතිකයින් උසින් අඟල් දෙකක්, සෙන්ටිමීටර පහක් පමණ වෙනසක් තියෙනවා. අවසාන වසර 200 තුළ ආහාර රටාව සහ ආහාර සුලභ වීම තුලින් පෝෂණය නිසි පරිදි ලැබීම ඔවුන්ගේ උස යෑමට හේතු වන්නට ඇති බව සැලකෙනවා.
7. උසස් සමාජ තත්ත්වය
ඇමරිකානුවන් ගතහොත් වසර දෙසීයක කාලයක් තුළ ඇමරිකානුවන්ගේ මධ්‍යන්‍ය උස වැඩි වෙලා තියෙන්නේ සෙන්ටිමීටර 6-7කින් පමණයි. එහෙත් නෙදර්ලන්ත ජාතිකයන් සෙන්ටිමීටර 20කට වැඩියෙන් උස ගිහින් තියෙනවා. නෙදර්ලන්ත රට තුළ තිබෙන සුබසාධන වැඩපිළිවෙළ, සෞඛ්‍ය ආරක්ෂණ වැඩ පිළිවෙළ, යහපත් මානසික මට්ටම ආදී හේතූන් ඔවුන් වැඩිපුර උස යන්නට හේතු වෙන්නට ඇති. ඒ වගේම නෙදර්ලන්ත ජාතිකයින්ට උස යෑමට සම්බන්ධ ජානමය පසුබිම වැඩිපුර සක්‍රීය වීමත් උස යෑමට තවත් හේතුවක් විදිහට දැක්වෙනවා.
වර්තමාන නෙදර්ලන්තය යනු නෙදර්ලන්ත ජාතිකයින් විසින්ම හදාගත් රටක්. මොකද එම රට මුහුදු මට්ටමට වඩා පහල පිහිටා තිබෙන නිසා ඉංජිනේරුමය කුසලතා වලින් වතුර බැස්සවීම්, බැමි ඉදිකිරීම් ආදිය නොවුණා නම් නෙදර්ලන්තය කියා දැන් තිබෙන භූමි භාගය ඔවුන් සතුව නැහැ. ඒ වගේම නෙදර්ලන්තයේ දැන් ජීවත් වෙන ජනතාවට පරම්පරා දහයකට විතර කලින් ඒ කිව්වේ අත්තා මුත්තා, නත්තා පනත්තා කාලයේ ඉඳලා නෙදර්ලන්තය කියන්නේ මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක්. ඉතින් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවා වගේ නෙදර්ලන්ත ජනතාවත් ඒ විදිහටම උසැති නිරෝගී ජාතියක් වෙලා තියෙනවා.
Leave a Reply